මළුව වත්ත විහාරය සඟ සතු කෙරේ..!

(ජයකාන්ත ලියනගේ) විදේශීය ආක‍්‍රමණ වලින් සම්පූර්ණයෙන්ම විනාශ වී ගිය අනුරාධපුර යුගයට අයත් බව කියන අහුන්ගල්ල ගල්වෙහෙර ඓතිහාසික වාලූකතිත්ත විහාරය හෙවත් මඵව වත්ත පුරාණ විහාරස්ථානය ප‍්‍රදේශයේ දානපතියකු…
(ජයකාන්ත ලියනගේ)
විදේශීය ආක‍්‍රමණ වලින් සම්පූර්ණයෙන්ම විනාශ වී ගිය අනුරාධපුර යුගයට අයත් බව කියන අහුන්ගල්ල ගල්වෙහෙර ඓතිහාසික වාලූකතිත්ත විහාරය හෙවත් මඵව වත්ත පුරාණ විහාරස්ථානය ප‍්‍රදේශයේ දානපතියකු විසින් අලූතෙන් අංග සම්පූර්ණයෙන්ම ඉදිකොට සග සතු කොට පූජා කිරීම පසුගියදා සිදුවිය.
දේවානම් පියතිස්ස රජ සමයේ ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ ගෙන් ලබා ගත් දෙතිස් ඵල බෝධීන් වහන්සේලා අතරින් දෙතිස් වන බෝධීන් වහන්සේ මෙම ස්ථානයේ රෝපණය කළ බව කියති. සිංහල බෝධිවංශයේ දුමින්දා ගමන පරිච්ජේදයේ සදහන් වන පරිදි එම බෝධීන් වහන්සේ ඇඹලව රහත් ගල්වෙහෙර නම් ස්ථානයේ රෝපිත කළබව ද එසේ සදහන් වේ.
දැන්වීම
මාගම පාලනය කළ කතරගම දස බෑ රජදරුවන් විසින් භීම මණ්ඩලය හෙවත් වැලිතොට ප‍්‍රදේශයේ වූ ගල්වෙහෙර මඵව වත්ත රජමහා විහාරය ඉදි කළ බවද ඉතිහාසයේ සදහන් වේ.
දඹදෙණි යුගයේ රජකම් කළ ෂඞ් භාෂා පරමේශ්වර දෙවන පැරකුම් රජ සමයේ දකුණු ලක පාලනය කළ දේව පතිරාජ ඇමතිවරයා විසින් මෙම විහාරස්ථානය සංවර්ධනය කළ බවද කියති.
එදා රහතන් වහන්සේලා වැඩසිටි හෙයින් ඇඹලව රහත් ගල්වෙහෙර යනුවෙන් හැදින්වූ බවද සදහන් වේ. විදේශීය පර සතුරු උවදුරු වලින් මීට වසර පන්සියයකට පමණ ඉහතදී සම්පූර්ණයෙන්ම විනාශ වූ මෙම විහාරය කැලෑවෙන් වැසී ගොස් තිබිණි.
ප‍්‍රදේශවාසීන්ගේ සහ ශාස්ත‍්‍රපති පණ්ඩිත කොස්ගොඩ මහින්ද හිමියන්ගේ ඉල්ලීම පරිදි ප‍්‍රදේශයේ ප‍්‍රකට ව්‍යාරිකයකු මෙන්ම, හිටපු බළපිටිය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී වරයකදු වන දේශබන්දු කරුණාදාස කුමාරසිංහ මහතාගේ ධන පරිත්‍යාගයෙන් හා තවත් අයගේ සහයෙන් මෙම විහාරස්ථානය අංග සම්පූර්ණ විහාරස්ථානයක් ලෙසින් ඉදිකර තිබේ.
කරුණාදාස කුමාරසිංහ මහතා විසින් අවශ්‍ය පිරිවැය දරා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලවා කරවන ලද කැණීම් වලදී අනුරාධපුර මධ්‍ය කාලීන යුගයට අයත් බව කියන පැරණි බෝධි ඝරයක්ද හමුවී ඇති අතර එයද මෙම විහාරස්ථානයේ ඓතිහාසික තත්ත්වය තහවුරු වීමට ප‍්‍රබල හේතුවක් වී තිබේ.
කරුණාදාස කුමාරසිංහ මහතා විසින් මෙම විහාරස්ථානය සංඝාවාස, දාන ශාලාව, ධර්ම ශාලාව, චෛත්‍ය රාජයාණන් වහන්සේ, බුදු පිළිම වහන්සේ, හා දේව මන්දිර ඇතුඵ අංගෝපාංග වලින් යුතුව නැවත ගොඩනංවා තිබේ. අනාගත පරපුරේ දැන ගැනීම පිණිස මෙම විහාරස්ථානය සංවර්ධනය කරන ලද දේව පතිරාජ ඇමතිවරයාගේ පිළිරුවක්ද විහාර භූමියේ ඉදිකර තිබේ.
මෙම විහාරස්ථානයේ සංවර්ධනය දැක ප‍්‍රීතියට පත් ශ‍්‍රී ලංකා පරිපාලන සේවයේ විශ‍්‍රාමික හා කඵතර බෝධිකාර මණ්ඩලයේ චිත‍්‍රා ද ආබ්‍රෙව් මැන්දිස් මහත්මියගේ මැදිහත් වීම මත ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සෙගේ අංකුරයක් පසුගිය පුර පසලොස්වක පෙහොයදා මෙම විහාරස්ථානයේදී රෝපණය කරනු ලැබීය.
කඵතර බෝධි භාරකාර මණ්ඩලයේ සභාපති අජිත ද සොයිසා මහතා අතින් බෝධින් වහන්සේ රෝපණය කළ අතර, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න මහතා අතින් දේව පතිරාජ ඇමතිවරයාගේ පිළිරුව විවෘත කරනු ලැබීය.
මෙම පුණ්‍ය භූමියේ තිබී හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් එච්. සී. පී. බෙල් මහතා විසින් කරන ලද කැණීම් වලදී කෞතුක වස්තු රාශියක් ද සොයා ගෙන ඇති බව ද සදහන් වේ.
අහුන්ගල්ල - ඌරගහ පාරේ කිලෝ මීටර් 01 ක් පමණ ගියවිට හමුවන ගල්වෙහෙර නාගහ හන්දියෙන් හැරී දීදෙරෙක් ද සිල්වා මාවත ඔස්සේ ඓතිහාසික මඑවේ වත්ත රජමහ විහාරස්ථානයට පිවිසිය හැකිය.