අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මධ්‍යම සංස්කෘතියෙන් සජිත් කෝටි 48ක් පිල්ලි ගැසූ හැටි හෙළි වෙයි

මධ්‍යම සංස්කෘතියෙන් සජිත් කෝටි 48ක් පිල්ලි ගැසූ හැටි හෙළි වෙයි

නත්තල් පප්පෙක් වගේ සල්ලි බෙදලා හැබැයි කිසිම වැඩක් කෙරිලා නැහැ ජාතික විගණන වාර්තාව සියල්ල හෙළි කරයි මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ආගමික ස්ථාන ගණනාවකට 2018 වර්ෂයේ දී ලබා දී තිබූ රුපියල් කෝටි 48 ට අධික…

නත්තල් පප්පෙක් වගේ සල්ලි බෙදලා 

හැබැයි කිසිම වැඩක් කෙරිලා නැහැ 

ජාතික විගණන වාර්තාව සියල්ල හෙළි කරයි 

මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ආගමික ස්ථාන ගණනාවකට 2018 වර්ෂයේ දී ලබා දී තිබූ රුපියල් කෝටි 48 ට අධික  මුදලක් අවභාවිත කර තිබෙන බව ජාතික විගණන කාර්යාලය නිකුත් කර ඇති අලුත්ම වාර්තාවේ සඳහන් වේ.

සසුනෝදය වැඩ සටහන යටතේ ලබාදී තිබූ මේ මුදලින් නිසි පරිදි ප්‍රයෝජන ගෙන නොමැති අතර එලෙස කිසිදු වැඩක් නොකෙරී තිබුණත් එම මුදල්වලට සිදු වූ දෙයක්ද නොමැති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කර ඇති එම වාර්තාවේ දැක්වේ. 

පන්සල් සහ පල්ලි වැනි ආගමික සිද්ධස්ථාන ගණනාවක් ඒ මුල්‍යාධාර භාවිත කර සංවර්ධන කටයුතු නිසි ලෙස නිමකර නොමැති අතර එසේ එම මුදල් ලබා දුන් එවකට විෂය භාර අමාත්‍යවරයා වන සජිත් ප්‍රේමදාස මහතා හෝ මධ්‍යම සංස්කෘතික අරමුදල එම මුදල් සම්බන්ධයෙන් කිසිදු පසු විපරමක් පවා කර නොමැත. 

දැන්වීම

ඒ අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල භාර අමාත්‍යංශයත්, විෂය භාර අමාත්‍යවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාත් එහි නිලධාරීනුත් මේ පසු විපරම සිදු නොවීම සම්බන්ධයෙන් වගකීම දැරිය යුතු බව ද පෙන්වා දෙන එම වාර්තාව, සංස්කෘතික අරමුදලේ තැන්පත්ව ඇත්තේ කිසිවකුගේ පෞද්ගලික බූදලයක මුදල් නොව මහ ජනතාව සතු මුදල් බැවින් ඒවා ලබාදීමට අනුමැතිය දුන් සියලු‍ දෙනා ඒ සම්බන්ධ වගකීමෙන් බැඳී සිටින බව ද තරයේ කියා සිටියි.

ඕනෑම අරමුදලකින් මුදල් නිකුත් කිරීමේදී එම ව්‍යාපෘතියට අදාළ ගෙවීම් ලබා ගන්නාගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමකින් තොරව මුදල් ලබාදීම නීති විරෝධී ගනුදෙනුවක් වශයෙන්ද සැලකෙන අතර අදාළ මුදල් ලබන්නා කවුදැයි නොදැන මුදල් නිකුත් කිරීම මුදල් අවභාවිතා කිරීමක් සහ දූෂිත ක්‍රියාවක් වන බව ද ජාතික විගණන වාර්තාව අවධාරණය කර සිටියි. 

මෙහිදී වඩාත් සැලකිල්ලට ගත යුත්තේ කෝටි 48ක මුදලක් පිල්ලි ගැසීමට ආගමික ස්ථාන සම්බන්ධ වීම වන අතර එවැන්නක්  කිසිසේත් සිදු නොවිය යුතු නමුත් ආගම නංවාලීම, ආගමික ස්ථාන සහ ආගමික වත් පිළිවෙත් පවත්වා ගෙන යාම සඳහා ආධාර ලබා දීමේ දී මධ්‍යම සංස්කෘතික අරමුදල නිසි ක්‍රමවේදය අනුගමනය නොකර 2019 දී අවස්ථා 63ක දී රුපියල් කෝටි තුනකට ආසන්න මුදලකට අදාළ චෙක්පත් සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ අමාත්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන්ට සහ සේවකයන්ට ලබා දීමට කටයුතු කර තිබේ.

මේ තත්ත්වය පැහැදිලිවම රජයේ මුදල් රෙගුලාසි උල්ලංඝනය කිරීමක් වන අතර මේ මුදල් යම්කිසිවකු යටිමඩි ගසා ගත්තාදැයි යන සැකය බරපතළ ලෙස මතුව තිබෙන බව ද පෙන්වා දෙන ජාතික විගණන වාර්තාව එවැනි අක්‍රමිකතාවකට සියලු‍ පහසුකම් මේ නොසැලකිලිමත් බව හරහා ප්‍රදානය කර තිබෙන බවට ද චෝදනා කර සිටියි.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් මේ ආකාරයට අමාත්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන්ට සහ සේවකයන්ට ලබා දීමට අවසර ලබා දුන්නේ කවුදැයි වහාම සොයා බැලිය යුතු නොවේද..? මීට වග කිව යුතු නිලධාරීන් පමණක් නොව දේශපාලනඥයන්ද ප්‍රශ්න කිරීම්වලට ලක් කර සත්‍යය සොයා ගැනීම අවශ්‍යය. යළිත් මෙවැනි අක්‍රමිකතා සිදු වීම වළක්වා ගත හැක්කේ එවැනි තද පියවරක් ගැනීමෙන් පමණි.

මේ දිනවල තමන්ගේ විදුලිය බිල විශාල ලෙස වැඩි වී ඇතැයි ඇතැම් පන්සල්වල ස්වාමීන් වහන්සේලා දැඩි ලෙස විරෝධය පාමින් සිටිති. මෙසේ විරෝධය දක්වන භික්ෂූන් වැඩ වෙසෙන පන්සල් මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් ප්‍රතිපාදන ලැබූ ආගමික ස්ථාන අතර තිබේදැයි සොයා බලා එසේ ලබා ගත් මුදලින් නිසි ප්‍රයෝජන ගෙන ඇතිදැයි පරීක්ෂා කිරීම ද කළ යුතුය. ලබා ගත් මුදලින් පන්සලට, ප්‍රදේශයට හෝ දායකයන්ගේ කටයුතුවලට හෝ කිසිදු වැඩක් සිදු කර නොමැති නම් එම මුදල් නිසි ලෙස ප්‍රයෝජනයට ගත යුතු යැයි බල කිරීමට සංස්කෘතික අරමුදලට හැකි විය යුතුය.

අඩුම තරමින් සූර්ය පැනල සවි කිරීමට හෝ එම මුදල් භාවිතයට ගන්නැයි ආගමික සිද්ධස්ථානවලින් ඉල්ලීමක් කළ යුතුය. එසේ නොවන්නේ නම් සහ එවැනි ආගමික සිද්ධස්ථානවලට කිසිදු පියවරක් නොගන්නේ නම් රටේ ජනතාවට හැඟී යන්නේ ආගමික සිද්ධස්ථාන හරහා කෝටි ගණනක මුදල් අවභාවිතයක් සිදුවී තිබෙන බවය. මධ්‍යම සංස්කෘතික අරමුදලේ ඇතැම් නිලධාරීන්ගේද සහාය ඊට ලැබී ඇති බවද පැහැදිලිය. නැතහොත් දේශපාලන බලපෑමක් හේතුවෙන් එවැන්නක් සිදුවී ඇති බව පෙන්වා දිය යුතුය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
මධ්‍යම සංස්කෘතියෙන් සජිත් කෝටි 48ක් පිල්ලි ගැසූ හැටි හෙළි වෙයි | Lanka Newsweek