අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටු වාර්තාව අගමැති අතට

මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටු වාර්තාව අගමැති අතට

(හේමන්ත තුසිත කුමාර) මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ පංච පුද්ගල කමිටු වාර්තාව බ්‍රහස්පතින්දා(07) අරලියගහ මන්දිරයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත…

(හේමන්ත තුසිත කුමාර)

මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ පංච පුද්ගල කමිටු වාර්තාව බ්‍රහස්පතින්දා(07) අරලියගහ මන්දිරයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දී ඇත.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම පංච පුද්ගල කමිටුව පත් කෙරිණි.ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නිලූෂා බාලසූරිය, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රියංග නානායක්කාර, තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එඩ්වඩ් පීරිස් සහ එම දෙපාර්තමේන්තුවේම සහකාර අධ්‍යක්ෂ මධුෂානි වර්ණසූරිය යන මහත්ම මහත්මීහු කටයුතු කළහ. 

"මධ්‍යම සංස්කෘතික අරමුදල පිළිබඳව පූර්ණ අධ්‍යනයක් කොට එය සම්පූර්ණයෙන් ප්‍රතිව්‍යුහගත කෙරේ" යනුවෙන් සඳහන් සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් අගමැතිවරයා ඊට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මෙම කමිටුව පත්කර ඇත. 

දැන්වීම

ඒ අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල පිළිබඳව පූර්ණ අධ්‍යනයක් කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිර්දේශ ඇතුළත් වාර්තාව සකස් කළ බව කමිටු සමාජිකයෝ පැවසූහ.

මෙම වාර්තාවේ ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීම මඟින් ඉදිරියේ දී මධ්‍යම සංස්කෘතික අරමුදල එහි අරමුණු සාක්ෂාත් කරගත හැකි වඩාත් ඵලදායී ආයතනයක් බවට පත් කළ හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන අගමැතිවරයා වාර්තාවේ සඳහන් නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

මෙතෙක් කිසිවෙකුගේ ඇස නොගැටුණු පුරාවිද්‍යා ස්ථාන මෙරට ඇති බව මහින්ද රාජපක්ෂ මහතාගේ විශ්වාසය බවත් ඒවා පිළිබඳව සොයා බලා බැලීමට නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් නිලධාරීන්ට දැනුම් දී ඇත.

මේ අතර ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයින් සඳහා සියලු ම පුරාවිද්‍යා ස්ථාන නැරඹීමට මාර්ගගත ක්‍රමයට එක් ප්‍රවේශපත්‍රයක් නිකුත් කරන්නැයි ද අගමැතිවරයා විසින් මෙහි දී නිලධාරීන්ට උපදෙස් දී ඇත. ඒ සඳහා සංචාරක මණ්ඩලය සමඟ සාකච්ඡා කර අවසන් තීරණයකට එළැඹෙන ලෙස ද දැනුම් දී ඇත.

එක ම ප්‍රදේශයේ දී පුරාවිද්‍යා කෞතුකාගාර කිහිපයක් වෙනුවෙන් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට සිදුවීමෙන් දේශීය සංචාරකයන් ද විවිධ අපහසුතාවලට ලක්වන බව අගමැතිවරයා විසින් පෙන්වා දී ඇති අතර යම් පුරාවිද්‍යා කලාපයක කෞතුකාගාර සියල්ල ආවරණය වන පරිදි එක් ප්‍රවේශ පත්‍රයක් සාධාරණ මිලකට හඳුන්වා දෙන ලෙස ද උපදෙස් දී ඇත.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, මහාභාරකාර තැන්පත් නීතිඥ ගනේෂ් ධර්මවර්ධන, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් පුරාවිද්‍ය මහාචාර්ය ගාමිණී රණසිංහ මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටු වාර්තාව අගමැති අතට | Lanka Newsweek