මගේ පාලනය යටතේ රාජ්‍ය ආයතන විකුනන්නේ නැහැ

රාජ්‍ය ආයතන මහා භාණ්ඩාගාරයට බරක් වීමට ඉඩ තබන්නෙත් නැහැ ජනතාවට වැඩ කරන ක්‍රියාශීලි ආණ්ඩුවක් ගොඩ නගනවා (සුමුදු පෙරේරා) සිය පාලනය යටතේ කිසිදු රාජ්‍ය ආයතනයක් නොවිකුණන අතර සියලු රාජ්‍ය ආයතන මහා…
රාජ්‍ය ආයතන මහා භාණ්ඩාගාරයට බරක් වීමට ඉඩ තබන්නෙත් නැහැ
ජනතාවට වැඩ කරන ක්‍රියාශීලි ආණ්ඩුවක් ගොඩ නගනවා
(සුමුදු පෙරේරා)
සිය පාලනය යටතේ කිසිදු රාජ්‍ය ආයතනයක් නොවිකුණන අතර සියලු රාජ්‍ය ආයතන මහා භාණ්ඩාගාරයට පාඩුවක් නොවන ආකාරයෙන් පවත්වා ගෙන යන්නේ යැයි ද රටට ජනතාවට වැඩ කරන ක්‍රියාශීලි ආණ්ඩුවක් ගොඩ නගන්නේ යැයි ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.
ඔහු මේ බව පැවසුවේ මාලඹේ, අරංගල ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ රැළියකට සහභාගි වෙමිනි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද කීය.
දැන්වීම
විශේෂයෙන්ම මේ රට බලාපොරොත්තු වන්නේ වැඩ කරන ක්‍රියාශීලී රජයක්. ජනාධිපතිවරණය ජයග්‍රහණය කර අප එය ඔබට ලබාදෙනවා. අපගේ ජයග්‍රහණයෙන් පසුව සියලුම රාජ්‍ය ආයතන සඳහා වැඩ කළ හැකි පිරිස් පත් කරනවා. එමෙන්ම ඔවුන්ට ඉලක්ක ලබාදී ඔවුන්ගේ ප්‍රගතිය විමසා බලනවා. සියලුම රාජ්‍ය ආයතන ශක්තිමත් කරනවා. කිසිදු රාජ්‍ය ආයතනයක් විකුණා දමන්නේ නැහැ. ඒ වගේම සියලුම රාජ්‍ය ආයතන මහා භාණ්ඩාගාරයට පාඩුවක් නොවන ආකාරයට පවත්වාගෙන යනවා.
නැවතී ඇති තැනින් ඉදිරියට යෑමට නම් ආරක්‍ෂාව තරකර රටෙහි විනය ඇති කළ යුතුයි. අපි එදා ත්‍රස්තවාදය අවසන් කළා පමණක් නෙවෙයි ත්‍රස්තවාදය නැවැත හිස ඔසවන්න නැති වෙන ආකාරයට රටේ ආරක්‍ෂාව තහවුරු කළා. රණවිරුවන් හා බුද්ධි අංශ නිලධාරීන් සිරගත කර රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යෑමට කටයුතු කිරීම නිසා ඔවුන්ගේ මානසිකත්වය කඩා වැටුණා. මේ ආණ්ඩුවට ජාතික ආරක්‍ෂාව ගැන කිසිම තැකීමක් නැහැ. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ආරම්භ කර ත්‍රස්තවාදීන් හොයන්න අපි කටයුතු කළා. නමුත් මේ රජය එම ආයතන පාවිච්චි කළේ විරුද්ධවාදීන්ගෙන් පළිගන්නයි.
නව ලිබරල්වාදී අදහස් දරන රාජ්‍ය නොවන සංවිධානවලට ගැති කම් කරන ඇමති මණ්ඩලයකට රටකට සුරක්‍ෂිත බවක් ලබාදෙන්න බැහැ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන බවට හැම විස්තරයක්ම ලබාදී තිබියදීත් ඒ ත්‍රස්තවාදීන් හොයා ගන්න රජය අපොහොසත් වුණා. පාස්කු ඉරු දිනයේදී මේ රටේ නැවතත් බෝම්බ පිපුරුවේ ඒ නිසයි. ඒ නිසා මේ රට නැවත සුරක්‍ෂිත කළ හැක්කේ අපිට පමණයි.
යුද්ධය අවසන් කර වරායන්, ගුවන්තොටුපළ, අධිවේගී මාර්ග ඉදිකළ අපි කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණුවන නගරයක් බවට පත් කළා. මේ රජය බලයට පත්වී එම සංවර්ධන ව්‍යාපෘති සම්පූර්ණයෙන්ම නතර කළා. සියලුම ව්‍යාපාර කඩා වැටුණා. වත්මන් රජය කිසිම අවස්ථාවක කෘෂිකර්මාන්තයට තැනක් දුන්නේ නැහැ. කිසිම වෙලාවක දී අපගේ සංස්කෘතිය අමතක කරන්න අපිට බැහැ. අපි එදා නොමිලයේ පොහොර සහනාධාරය ලබා දුන්නා. ගොවියාට නිසි තැන ලබා දුන්නා.
අද තේ, රබර්, ගම්මිරිස්, කුරුඳු ඇතුළු සියලුම වැවිලි කර්මාන්ත කඩා වැටිලා. අපේ රජයක් යටතේ කිසිම භෝගයක් පිටරටින් ගෙන්වන්න ඉඩ තියන්නේ නැහැ. ගොවියා ව්‍යවසායකයෙක් කරන්න අපි කටයුතු කරනවා. නවීන තාක්‍ෂණය ලබාදී ගොවියා ශක්තිමත් කළ යුතුයි. අපි ගොවීන්ට සහන දුන්නේ රට ස්වයංපෝෂිත කිරීමටයි. අපගේ රජයක් යටතේ දේශීය ව්‍යාපාර නැංවීම සඳහා වැට්බද්ද සියයට 8න් අඩු කරනවා. එමෙන්ම ව්‍යාපාරිකයන් සඳහා සරළ බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා.
වර්තමානය වනවිට ලෝකයේ ශීඝ්‍රයෙන්ම දියුණු වන්නේ ආසියාවයි. ඒ අනුව ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට ආසියාව පත්ව තිබෙනවා. මේ ශතවර්ෂය හඳුන්වන්නේ ඥානය මුල්වූ ශතවර්ෂය හැටියටයි. තොරතුරු තාක්‍ෂණය පිළිබඳ සමාගම්වල රැකියා අවස්ථා ලක්‍ෂ තුනකට වඩා තිබෙනවා. නමුත් අපේ අධ්‍යාපන ක්‍රමයේ තිබෙන යම් යම් අඩුපාඩු නිසාවෙන් තරුණ පරපුර අතරමං වෙලා. නව රැකියාවන් සඳහා අපේ රටේම ශ්‍රම බළකායක් ගොඩනැඟිය යුතුයි. එසේ කිරීමෙන් ඇමරිකානු ඩොලර් බිලියන පහක පමණ විදේශ විනිමයක් අපේ රටට ලබාගත හැකියි. අප බලයට පත්වී පළමු වසරේ සිටම අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් වෙන් කරන්නේ ඒ වෙනුවෙනුයි. එමෙන්ම විශ්වවිද්‍යාලවල ධාරිතාවය වර්ධනය කරන්නත් අලුතින් විශ්වවිද්‍යාල ආරම්භ කරන්නත් අපි කටයුතු කරනවා. විදේශවලට සරිලන පරිදි පාඨමාලාවන් වෙනස් කරනවා.
එමෙන්ම සංචාරක ක්‍ෂේත්‍රය තුළත් අපිට විශාල අවස්ථාවන් ප්‍රමාණයක් තිබෙනවා. මේ ආයෝජන ගෙන එන්නට නම් සුරක්‍ෂිත රටක් තිබිය යුතුයි. රාජ්‍ය සේවකයන්ගෙන් පළිගන්න යෑම නිසා ඔවුන් තීන්දු තීරණ ගන්න බයයි. තම රජයක් යටතේ රාජ්‍ය සේවකයන්ට වගකීම් ලබාදී ඔවුන්ට වැඩ කළ හැකි ආකාරයට අවශ්‍ය නීතිමය රැකවරණය ලබාදෙන්නත් කටයුතු කරනවා.