බැසිල්ගේ බළලා මල්ලෙන් එළියට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

බස්නාහිර මහා ඇමති වී ජනපති අපේක්ෂකම ගැමීමේ සැලසුම මෙන්න..! පළාත් සභා මැතිවරණය ඉල්ලන්නේ ඒකයි..! “ගෝඨා-බැසිල්” සීතල යුද්ධය ගිණියම් වෙයි..! එළඹෙන පළාත් සභා මැතිවරණයේදී බස්නාහිර පළාත් සභාවේ මහා ඇමති ධූර…
බස්නාහිර මහා ඇමති වී ජනපති අපේක්ෂකම ගැමීමේ සැලසුම මෙන්න..!
පළාත් සභා මැතිවරණය ඉල්ලන්නේ ඒකයි..!
“ගෝඨා-බැසිල්” සීතල යුද්ධය ගිණියම් වෙයි..!
එළඹෙන පළාත් සභා මැතිවරණයේදී බස්නාහිර පළාත් සභාවේ මහා ඇමති ධූර අපේක්ෂකයා වශයෙන් තරඟ වැදීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා තීන්දු කර ඇත.
බැසිල් රාජපක්ෂ මහතාගේ මේ තීන්දුව සහ එහි යටි අරමුණ සම්බන්ධයෙන් දීර්ඝ හෙළිදරව්වක් “දැන්” ඉරිදා (2019.01.20) පුවත්පතේ “රාජ්‍ය රහස්” දේශපාලන තීරු ලිපියේ පැහැදිළිව පළ කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ යන තිදෙනාම ජනාධිපතිවරණ සටනට සුදානම් වෙමින් සිටියදී ඊට සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධී මතයක් දරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අවශ්‍යතාවය විය යුත්තේ ජනාධිපතිවරණයක් ලබා ගැනීම නොව කෙසේ හෝ පළාත් සභා මැතිවරණය මුලින්ම ලබා ගැනීම බවට බැසිල් රාජපක්ෂ මහතා නිතරම අවධාරණය කර සිටීම සියලු දෙනාගේ විමතියට හේතු වූ කරුණක් වී තිබිණ.
ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ඉලක්ක කර ගෙන ජනාධිපතිවරණ සහ මහා මැතිවරණ සඳහා ද්විත්ව පුරවැසිභාවය සහිත අයට තරඟ කිරීම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ තහනම් කර තිබුණ ද පළාත් සභාවලට තරඟ කිරීම ඒ යටතේ තහනම් කර නොමැති බව “දැන්” ඉරිදා පුවත්පත පෙන්වා දෙයි.
ඒ අනුව එම නීති තර්කය යටතේ බැසිල් රාජපක්ෂ මහතාගේ සැලසුම වී තිබෙන්නේ එළඹෙන පළාත් සභා මැතිවරණයේදී බස්නාහිර පළාත් සභාවට තරඟ කර එහි මහා ඇමති ධූරයට පත්වීමය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බොහෝ දෙනෙකුගේ අදහස වී තිබෙන්නේ ද චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය 1993 දී බස්නාහිර පළාත් මහා ඇමතිනිය ලෙස තේරී පත් වී අවුරුදු 17ක් මුළුල්ලේ පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අවුරුද්දක් ඇතුළතදී පෙරළීමට කටයුතු කළා වගේ බැසිල් රාජපක්ෂ මහතා ද මුලින් බස්නාහිර පළාත් මහා ඇමතිවරයා වශයෙන් තේරී පත් වී අනතුරුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇති බවය.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා බැසිල් රාජපක්ෂ මහතාට ද සිය ද්විත්ව පුරවැසිභාවය හරස් වනු ඇති නමුත් “දැන්” ඉරිදා පුවත්පත පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට තරම් බැසිල් රාජපක්ෂ මහතාට සිය ද්විත්ව පුරවැසිභාවය අහෝසි කර ගැනීමට අපහසු නොවනු ඇති බවය.
ඊට හේතු වී තිබෙන්නේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් චෝදනා ගණනාවක් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විවිධ පාර්ශව විසින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ගොනු කර ඇති නමුත් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව එවැනි කිසිදු චෝදනාවක් එල්ල වී නොතිබීමය.
ඒ අනුව තමාට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා නිරවුල් කර ගෙන සිය ද්විත්ව පුරවැසිභාවය අහෝසි කර ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට අසීරු සහ කල් ගත වනු ඇති නමුත් බැසිල් රාජපක්ෂ මහතාට එවැනි චෝදනා නොමැති නිසා කිසිදු අසීරුවකින් තොරව අවශ්‍ය අවස්ථාවකදී ඉතා කෙටි කලකින් සිය ද්විත්ව පුරවැසිභාවය අහෝසි කර ගැනීමට ඔහුට හැකියාව තිබෙන බව ද “දැන්” ඉරිදා පුවත්පත වැඩි දුරටත් වාර්තා කර සිටියි.
මේ අනුව පළාත් සභා මැතිවරණය මුලින් ලබා ගෙන බස්නාහිර පළාත් මහා ඇමති ධූරයට තරඟ කරමින් එම ධූරයට පත් වී බැසිල් රාජපක්ෂ මහතා කුරුමානම් අල්ලන්නේ ජනාධිපති අපේක්ෂකයා වීමේ තුරුම්පුව ගැසීමට බව පැහැදිලිය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2