බැඳුම්කරය යනු රවීට ගැසූ පරමාණු බෝම්බයක්

රවීට කණකොකා හැඬලූයේ ආසියාවේ හොඳම මුදල් ඇමැති වීමත් එක්කයි හිටපු ජනපති සහ නීතිපති රනිල්ට-කබීර්ට-මලික්ට නඩු නොදැම්මේ ඇයි..? IMF ස්ථාවරයයි-රවීගේ ස්ථාවරයයි සමානයි මුදල් ඇමතිකම් කරන හැටි රවීගෙන් ඉගෙන ගන්න…
රවීට කණකොකා හැඬලූයේ ආසියාවේ හොඳම මුදල් ඇමැති වීමත් එක්කයි
හිටපු ජනපති සහ නීතිපති රනිල්ට-කබීර්ට-මලික්ට නඩු නොදැම්මේ ඇයි..?
IMF ස්ථාවරයයි-රවීගේ ස්ථාවරයයි සමානයි
මුදල් ඇමතිකම් කරන හැටි රවීගෙන් ඉගෙන ගන්න කියන්නේ ඒ නිසයි
රවී දැන්වත් ඇත්ත හෙළි කළ යුතුයි
සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ අවධාරණය කරති

මහා බැංකු බැඳුම්කර වංචාව යනු හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතාට එරෙහිව ඔහුගේ දේශපාලන භූමිකාවට සූක්ෂම ලෙස එල්ල කරනු ලැබූ දේශපාලන පරමාණු බෝම්බයක් යැයි විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ අවධාරණය කර සිටිති.
මහා බැංකු බැඳුම්කර ගනුදෙනුව සහ එවකට පැවැති යහ පාලන ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලන තත්ත්වයන් පිළිබඳව සිදු කළ විමර්ශනයකින් පසුව "lankanewsweek" සමග අදහස් දැක්වූ ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ හේෂාන් සම්පත් තිලකරත්න, ඇන්ටනී අගාෂ් වාස්, ගීත් තාරුක මුණසිංහ, ශ්‍රී ලංකා ගණකාධිකරණ ආයතනයේ, එරන්දි අනුරාධා සුභසිංහ, අකිලා ශේහාරි දුලාන්ජලී, ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ අචින්ත මදුර සමරසිංහ, සමිත් ඉසුරංග, ලුම්බිණී ප්‍රමෝධ්‍යා, නිලන්ති මානෙල්, සහ හේමන්ත තුෂිත කුමාර යන තරුණ තරුණියන් මෙසේ ද පැවැසූහ.
දැන්වීම
1994 සිට මේ දක්වා වූ කාලය ඇතුළත දී චන්ද්‍රිකා බණ්ඩාරනායක, ආචාර්ය සරත් අමුණුගම, කේ.එන් චොක්සි, මහින්ද රාජපක්ෂ, රවී කරුණානායක, මංගල සමරවීර, බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති නීතීඥ අලි සබ්රි ඇතුළු පිරිසක් මේ රටේ මුදල් අමාත්‍ය ධූර දරා තිබෙනවා.
එහෙත් රවී කරුණානායක මහතා හැරුණු කොට අනෙකුත් මුදල් ඇමතිවරුන් කිසිවෙකු සිය වගකීම, රාජකාරිය, කාර්ය භාරය සහ යුතුකම සාධනීය ලෙස රට වෙනුවෙන් ඉටු කළා කියා ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වී නොමැති අතර ජාතික වශයෙන් ද ඇගයීමකට ලක් වී නැහැ.
කෙසේ නමුත් 2017 වර්ෂයේ දී ආසියානු ශාන්තිකර කලාපයේ හොඳම මුදල් අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතා තෝරා පත් කර ගනිමින්, ජාත්‍යන්තර "The Banker" සඟරාව නිවේදනය කර සිටියේ, "ගෙවුම් ශේෂ අර්බුදයක් හේතුවෙන් මතු වී තිබුණු මුල්‍ය අර්බුදය වළක්වාලීමටත්, රටෙහි මුදල් සංචිතය යථා තත්ත්වයට පත් කර ගැනීමටත්, එමගින් විදේශ ආයෝජකයින් කෙරෙහි විශ්වාසය නැවත ගොඩනගා ගැනීමටත් සමත් වීම වෙනුවෙන්" ඔහුට එම සම්මානය ලබා දෙන බවයි.
රජයේ බදු ආදායම දෙස අවදානය යොමු කිරීමේදී 2014 වර්ෂයේදී රුපියල් බිලියන 1050 ක් වූ බදු ආදායම 2015 වර්ෂයේදී රුපියල් බිලියන 1355ක් දක්වා, රුපියල් බිලියන 305කින් එනම් 30%කින් පමණ ඉහළ නංවා ගැනීමට සමත් වූ රවී කරුණානායක මහතා 2014 වර්ෂයේදී දී රුපියල් බිලියන 256ක් වූ නිෂ්පාදන ආශ්‍රිත බදු 2015 වර්ෂයේදී රුපියල් බිලියන 497ක් දක්වා, රුපියල් බිලියන 241 කින් ඉහළ නංවා ගැනීමට සමත් වුණා.
රජයේ ආදායම සහ දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතය දශක ගණනාවක් මුළුල්ලෙහි පහළ අගයක් ගැනුණු අතර එම අගය දිගින් දිගටම අඩු වෙමින් පැවතීම ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුල්‍ය ගැටලු බොහොමයකට හේතු වී තිබුණා. මෙලෙස එම අනුපාතය දිගින් දිගටම පහළ වැටීමට හේතු වූයේ රජයේ ආදායම පහළ යාමයි.
2000 වර්ෂයේදී 17.2%ක් ලෙස පැවති එම අගය 2014 වර්ෂයේදී 11.6%ක් දක්වා පහළ වැටුණා. 2015 වර්ෂයේදී එම අගය 13.3%ක් ලෙස ඉහළ නංවා ගැනීමට සමත් වූ රවී කරුණානායක මහතා 2016 වර්ෂයේදී එම අගය 14.1%ක් දක්වා ඉහළට එසෙව්වා. අනතුරුව නව මුදල් අමාත්‍යවරයෙකු පත් කිරීමත් සමගම මෙම අනුපාතය නැවත පහළ යාම ආරම්භ වූ අතර 2020 වර්ෂයේදී එම අගය නැවතත් 9.6% දක්වා අඩු වුණා.
2014 වර්ෂයේදී නිෂ්පාදන බදු ආශ්‍රිත මත්පැන් බදු රුපියල් බිලියන 69ක් වූ අතර 2015 වර්ෂයේදී දී එම ප්‍රමාණය රුපියල් බිලියන 105 ක් දක්වා ද, 2014 වර්ෂයේදී සිගරට් ආශ්‍රිත බදු රුපියල් බිලියන 57ක් වූ අතර 2015 වර්ෂයේදී එම බදු ආදායම රුපියල් බිලියන 80 දක්වා වැඩි කර ගැනීමට ඔහුට හැකි වුණා. මේ ක්‍රියා මාර්ගවලින් රුපියල් බිලියන 60ක පමණ ආදායමක් උපයා ගැනීමට සමත් වූ රවී කරුණානායක මහතා බදු දැල තාක්ෂණිකව එළා ප්‍රසාරණය කරමින් ධනවතුන්ගෙන් වැඩිපුර බදු ලබා ගෙන දුප්පතුන්ට විශාල වශයෙන් සහන දුන්නා.
මේ අතර ශ්‍රී ලංකාවේ උද්ගත වී තිබෙන වත්මන් උග්‍ර ආර්ථික අර්බුදය විසඳීම සඳහා මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කරමින් ප්‍රතිපත්ති පොලී අනුපාත සහ බදු මුදල් තව දුරටත් වැඩි කර නම්‍යශීලී විනිමය අනුපාත අනුගමනය කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවධාරණය කර සිටින බව අප කවුරුත් දන්නවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මේ කියන්නේ තාක්ෂණික සහ ප්‍රායෝගික උපාය උපක්‍රම භාවිතා කරමින් රවී කරුණානායක මහතා රටේ ආර්ථිකය එදා මෙහෙය වූ ආකාරයට මෙහෙය වන ලෙසයි. මහා බැංකු බැඳුම්කර චෝදනාවක් එල්ල කරමින් දේශපාලන වශයෙන් පරමාණු බෝම්බයක් ගැසුවේ රටේ ආර්ථිකය ගොඩනැගූ සහ ජාත්‍යන්තරයේ ගෞරව සම්මානයට පාත්‍ර වූ එහෙව් රවී කරුණානායකටයි.
ඇත්තටම මේ ක්‍රියාදාමය රවී කරුණානායක මහතාට එරෙහි කුමන්ත්‍රණයක් බව ඕනෑම ළදරුවෙකුට වුණත් තේරෙන අතර ඔහුට එරෙහිව පවරා ඇති මේ බැඳුම්කර නඩුව මේ වන විට පවත්වා ගෙන යාමටත් නොහැකි තත්ත්වයක් උදා වී තිබෙන බව කිව යුතුයි.
ශ්‍රී ලංකා මහා බැංකුව එවකට පැවතියේ රවී කරුණානායක මහතා යටතේ නොව තමා යටතේ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට පැහැදිලිවම ප්‍රකාශ කරමින් එම සත්‍ය පිළි ගෙන තිබෙනවා. එමෙන්ම සියලුම රාජ්‍ය සහ වාණිජ්‍ය බැංකු පැවැතියේ ද රවී කරුණානායක මහතා යටතේ නොව කබීර් හෂීම් මහතා යටතේයි. එපමණක් නොව මේ කියන මහා බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ඍජුව මැදිහත් වී ක්‍රියා කළේ, රනිල් වික්‍රමසිංහ, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, අර්ජුන මහේන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස් ඇතුළු කණ්ඩායමක් බව කිව යුතුයි.
එසේ නම් රවී කරුණානායක මහතාට නඩු වැටුණේ කෙසේද..? රනිල් වික්‍රමසිංහ, කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රම ඒ නඩුවලින් බේරුණේ කෙසේ ද..? එම තිදෙනා පසු පස නොගොස් එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ නීතිපති දප්පුල ද ලිවේරා රවී කරුණානායකට නඩු පවරමින් ඔහුට එළව එළවා පහර දුන්නේ ඇයි..? රවී කරුණානායකට කණකොකා හැඬලූයේ ආසියා ශාන්තිකරයේ හොඳම මුදල් ඇමැති යන ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීමත් සමග ද..?
මේ රටේ ජනතාව දැන්වත් මේ ප්‍රශ්න දෙස විචාර බුද්ධියෙන් බලා නිවැරදි තීන්දු තීරණ ගත යුතු අතර මේ ප්‍රශ්න සඳහා රට-ජනතාව හමුවේ ප්‍රසිද්ධියේ උත්තර ලබා දෙමින් රවී කරුණානායක මහතා ද සැබෑ හොරුන් කවුරුන්ද යන්න පිළිබඳව කරුණු හෙළි කළ යුතුයි.
