පොහොසත් රටක්-ලස්සන ජීවිතයක් යන ප්‍රතිපත්තියෙන් දුන් පොරොන්දුව අනුව පළාත් සභා වහාම ස්ථාපිත කරනු

-කරු ජයසූරිය අවධාරණය කරයි- "පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුව පෙරොන්දු වූ ආකාරයට පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු යැයි සධාරණ සමාජයක් සඳහා වන ජාතික…
-කරු ජයසූරිය අවධාරණය කරයි-
"පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුව පෙරොන්දු වූ ආකාරයට පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු යැයි සධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක සහ ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.
සධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක සහ ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසූරිය මහතා මේ බව කියා සිටියේ, පළාත් සභා මැතිවරණය 2025 වසරේදී පැවැත්විය යුතුව ඇත්තේ ඇයි යන මැයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් කොළඹ ජානකී හෝටලයේදී සංවිධානය කෙරුණු සංවාදයේ දී ය.
මෙම සංවාදයේ දී සිය අදහස් ඉදිරිපත් කරමින් හිටපු කතානායක කරු ජයසූරිය මහතා පෙන්වා දුන්නේ පළාත් සභා මැතිවරණය කඩිනිමින් පවත්වන ලෙස කරන මේ ඉල්ලීම කිසිසේත් රජය අපහසුතාවට පත් කිරීමට කරන යෝජනාවක් නොවන බවයි.
දැන්වීම
රජය විසින් ජනතා අනුමැතිය ලබා ගත් "පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්" මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රතිඥා දී ඇති පරිදි පළාත් සභා මැතිවරණය කඩිනිමන් පැවැත් වීම ආණ්ඩුවේ වගකීමක් බව ද මෙහිදී අවධාරණය කළ කරු ජයසූරිය මහතා එසේම සීමා නිර්ණය හරහා යළිත් පළාත් සභා මැතිවරණ යල් දැමීමට යන්නේ නම් එම ක්‍රියාව ජනතාවට කරන ද්‍රෝහිකමක් බව ද පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය වැඩි දුරටත් පැහැදිලි කළ කරු ජයසූරිය මහතා, “අවුරුදු 11කින් පළාත් සභා මැතිවරණයක් පැවැත් වුණේ නැහැ. නමුත් පළාත් සභා කියන්නේ ව්‍යවස්ථාපිත ආයතනයක්, ජනතාවගේ අයිතියක්. පළාත් සභා ක්‍රියාත්මක නොවන තත්ත්වයක් මත නිසි පාලනයත් රටේ සිදු වන්නේ නැහැ. එහෙත් අලුතින් පත් වූ පළාත් පාලන ආයතනවල සක්‍රීය ක්‍රියාකාරීත්වයක් දැක ගන්න පුළුවන්. පක්ෂ භේදයකින් තොරව මේ තත්ත්වය දැක ගත හැකි වීම විශේෂත්වයක්.
මේ වන විට පළාත් සභා පාලනය වෙන්නේ ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන්, නමුත් මේ අයිතිය මහ ජනතාවට ලැබිය යුතුයි. විශේෂයෙන්ම උතුරු – නැගෙනහිර පළාත්වලට මේ තත්ත්වය වඩාත් වැදගත් වෙනවා. ඔවුන්ට ජනතා සහභාගීත්යෙන් තොර පළාත් සභාවක් ගැටලුකාරී විය හැකියි. ජාතික ජන බලවේගය විසින් මහ ජනතාවගේ අනුමැතියට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව යමින් පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නා ලෙස අපි බොහොම ගෞරවයෙන් රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ රටේ සෑම දේශපාලන පක්ෂයක්ම බලාපෙරොත්තු වෙනවා පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වයි කියලා.
තවත් වැදගත් කරුණක් සිහිපත් කිරීමට මම කැමැතියි. මැතිවරණ කොමසාරිස්තුමා කියන ආකාරයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල්වල ගැටලුවක් නැහැ. ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු මූල්‍ය ප්‍රතිපාදන වෙන්කරලා තිබෙන බව මැතිවරණ කොමසාරිස්තුමා කියනවා. මේ තත්ත්වය මත ආණ්ඩුවට ඉතාම කෙටි, සුළු ව්‍යවස්ථා සංශෝධනයකින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නෛතික පසුබිම සකස් කළ හැකියි. අපි බලාපෙරොත්තු වෙනවා මේ වසර අවසන් වීමට පෙර ආණ්ඩුව අදාළ පියවර ගෙන පළාත් සභා මැතිවරණය පවත්වයි කියලා.
නව සීමා නිර්ණය කිරීම්වලින් පසුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට යාම තවත් වසර කිහිපයක් ගත වන ක්‍රියාවලියක් විහ හැකියි. එවැනි පියවරකට යළි ගමන් කිරීම ජනතාවට කරන ද්‍රෝහීකමක්.
ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ, සිවිල් සමාජය සහ විද්වතුන් පමණක් නොවෙයි, ජාත්‍යන්තර ප්‍රජාව, ජිනීවා මානව හිමිකම් කොමිෂම පවා මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කර තිබෙනවා. ඔවුන් ද පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා තිබෙනවා. පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් තිබෙනවා නම් ඉතාම සුළු පනතක් ඉදිරිපත් කිරීම තුළින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව තිබෙන බව මම යළි පෙන්වා දෙනවා. අපි කරන මේ ඉල්ලීම කිසිසේත් රජය අපහසුතාවට පත් කිරීමක් නොවන බව ද අවධාරණය කිරීමට මම කැමතියි.