පොදු ජන අරගලකරුවන්ට කරූගේ ආචාරය..!

සාධාරණ සමාජයේ පූර්ණ සහයෝගය ආදරය සහ අවිහිංසාව මුල් කර ගෙන අරගලය කරනු ජනපතිගේ තටු කපනු-20 අහෝසි කරනු අන්තර්වාර පාලනයක් ඕනෑ ආදරණීය මාතෘ භූමිය මේ අඳුරු ශාපයෙන් මිදේවා..! සාධාරණ සමාජයක් වෙනුවෙන් අරගල කරන…
සාධාරණ සමාජයේ පූර්ණ සහයෝගය
ආදරය සහ අවිහිංසාව මුල් කර ගෙන අරගලය කරනු
ජනපතිගේ තටු කපනු-20 අහෝසි කරනු
අන්තර්වාර පාලනයක් ඕනෑ
ආදරණීය මාතෘ භූමිය මේ අඳුරු ශාපයෙන් මිදේවා..!
සාධාරණ සමාජයක් වෙනුවෙන් අරගල කරන සියලු තරුණ දරු දැරියන් ඇතුළු පොදු ජන අරගලකරුවන් එළඹෙන සෑම මොහොතකම එළඹි සිහියෙන් සිටිය යුතු අතර අරගලය සිදු කළ යුත්තේ ආදරය සහ අවිහිංසාව පාදක කර ගනිමින් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
තරුණ දරු දැරියන් ඇතුළු පොදු ජන අරගලකරුවන් අමතමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
මේ මොහොතේ පවතින පාලක රෙජීමයට සිය විරෝධය දක්වන, අපගේ මාතෘ භූමියේ අනාගතය රැඳී ඇති ආදරණීය තරුණ පරපුර වෙත ආමන්ත්‍රණය කිරීමට මේ මොහොත අවස්ථාවක් කර ගනිමු.
දැන්වීම
පොදු ජන අරගලවලින් පටු වාසි ලබා ගැනීමට ක්‍රියා කිරීම මගින් බරපතළ දුර්විපාක ඇති වීමේ අවධානමක් ඇති බවද සියලු පාර්ශව වෙත සිහිපත් කරනු කැමැත්තෙමු. එළඹෙන සතියේ හදිසි නීති විවාදයේ දී සැබෑ ජනතාවාදී මහජන නියෝජිතයින් සහ පුද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් පාලක රෙජීමයට යට වූ දුබලයින් කවුරුන්ද යන්න හඳුනා ගැනීමට ජනතාවට ඉඩ සැලසෙනු ඇත.
ඔබගේ අවිහිංසාවාදී අරගලයන් වෙත රාජ්‍ය මර්දනය යෙදවීමට එරෙහිව ආගමික අංශ, සිවිල් සංවිධාන සහ අන්තර් ජාතික ප්‍රජාව දැනුවත් කරමින් ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් කළ හැකි සෑම මැදිහත්වීමක්ම කිරීමට සහ රැකවරණය සැපයීමට අප කැපවෙමු.
අප ආදරණීය මාතෘ භූමිය මේ මොහොතේ පෙර නොවූ විරූ ඛේදවාචකයක් අභිමුව ඇති වග අපගේ නිරීක්ෂණයයි. එක් පසෙකින් තෙල් පෝලිම්, ගෑස් පෝලිම් සහ විදුලි අර්බුදය නිසා සාමාන්‍ය පොදු ජනතාවගේ ජීවීකාව අහිමි වීමෙන් ඔවුන් ආර්ථික වශයෙන් අර්බුදයන් ගණනාවකට මුහුණ දෙමින් සිටියි.
අනෙක් පසින් නිසි රාජ්‍යකරණයක් මගින් අර්බුද විසඳීම සඳහා විධිමත් වැඩ පිළිවෙළක් නොවීමෙන් එකී අර්බුදයන් තව තවත් උග්‍ර වෙමින් තිබේ. මෙම පසුබිම මත සාමාන්‍ය පොදු ජනතාවගේ අසහනය උග්‍ර වීම ස්වභාවිකය. ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් මුල් කර ගත් අරගලයන් වෙත රට කර වන ඇත්තන්ගේ සාවධානී ඇහුම්කන්දීම මේ මොහොතේ අත්‍යවශ්‍ය වන බව අපගේ විශ්වාසයයි.
මේ වන විට දස අතින් නැගෙන තරුණයින්ගේ විරෝධතා හුදු දේශපාලන සටන් පාඨවලට ලඝු කරමින් හෑල්ලු කිරීම රජය විසින් සිදු කරන බරපතළ වරදකි. වත්මන් රජය මේ මොහොතේ පවතින ජනතා විරෝධය මර්දනය සඳහා භාවිතා කරනුයේ සාම්ප්‍රදායික මර්දනකාරී පියවරයන්මය. එම තත්ත්වය බෙහෙවින් අනර්ථකාරී ප්‍රතිවිපාක අපගේ තරුණ පරපුරේ අනාගතය කෙරෙහි ඇති කිරීමට ඉඩ ඇත.
අද වනවිට සමාජ මාධ්‍ය ජාලා අවහිර කරමින් තරුණයින්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පවා උල්ලංඝණය කිරීමට රජය කටයුතු කරමින් සිටී. අපට රජයෙන් අසන්නට තිබෙන්නේ ජනතාවට විරෝධය පළ කිරීමට තිබෙන සාමකාමී ක්‍රමවේද අහුරන්නේ ජනතාව තවත් අසහනයට සහ පීඩනයට පත් කර ඔවුන් කලහකාරීත්වය දෙසට යොමු කිරීමේ යටි අරමුණක් තිබෙන නිසාද යන්නයි.
රජය විසින් දියත් කරනු ලැබූ එම සමාජ මාධ්‍ය මර්දනය සහ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයින්ට සිය විරෝධය පළ කිරීමේ අයිතිය පැහැර ගැනීම ඒකාධිපති පාලනයක පෙරනිමිති බව අපි දකිමු. එමෙන්ම සියලු දේශපාලන ව්‍යාපාර පොදු ජන අරගලවලින් පටු වාසි ලබා ගැනීමට ක්‍රියා කිරීම මගින් බරපතළ දුර්විපාක ඇති වීමේ අවදානමක් ඇති බවද සියලු පාර්ශව වෙත සිහිපත් කරනු කැමැත්තෙමු.
මේ මොහොතේ පවතින අරාජිකත්වයට පාලක රෙජීමයේ අත්තනෝමතික රාජ්‍යකරණය හේතුවී ඇති බව අපට මඟ හැරිය නොහැකි සත්‍යයකි. එමනිසා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 ම බුර බුරා නැගෙන මේ ජනතා විරෝධයට සාවධානව කන්දිය යුතුය.
වහාම ජනාධිපති ඒකාධිපති බලතල කප්පාදු කරමින් පාර්ලිමේන්තුව වෙත බලය පවරා ගැනීම සඳහා 20 වන සංශෝධනය අහෝසි කර දැමීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු. ඉන්පසුව නව අන්තර්වාර පාලනයක් පිහිටුවා පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට කටයුතු කිරීමට හැකියාව ඇත.
එමෙන්ම ජනාධිපතිවරයා විසින් ජනතාවගේ සාධාරණ විරෝධයන් මර්දනය සඳහා ගෙන ආ හදිසි නීති රෙගුලාසි පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට පෙර හදවතට අවනත වන ලෙස අවධාරණය කරමු. එළඹෙන සතියේ හදිසි නීති විවාදයේ දී සැබෑ ජනතාවාදී මහජන නියෝජිතයින් සහ පුද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් පාලක රෙජීමයට යට වූ දුබලයින් කවුරුන්ද යන්න හඳුනා ගැනීමට ජනතාවට ඉඩ සැලසෙනු ඇත
එමෙන්ම මේ මොහොතේ පවතින පාලක රෙජීමයට සිය විරෝධය දක්වන, අපගේ මාතෘ භූමියේ අනාගතය රැඳී ඇති ආදරණීය තරුණ පරපුර වෙත ආමන්ත්‍රණය කිරීමටමා මේ මොහොත අවස්ථාවක් කර ගනිමු. සාමන්‍ය පොදු ජනතාවගේ සාමකාමී අරගලයන් විවිධ ක්‍රමවලින් විනාශ කර අපගේ මාතෘ භූමියේ නැවත වතාවක් ලේ වැගිරීමක් සිදු කිරීමට බල ලෝභී දුෂ්ඨ බලවේගවලට අප ඉඩ නොතැබිය යුතුය.
අරගලයන්හීදී ගාන්ධිතුමන්ගේ ශ්‍රේෂ්ඨ ආදර්ශයන් සිහිතබා ගන්නා ලෙස ආදරණීය තරුණ ප්‍රජාව ඇතුළු සියලු පොදු ජන අරගලකරුවන්ගෙන් ආදරයෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම ඔබගේ අවිහිංසාවාදී අරගලයන් වෙත රාජ්‍ය මර්දනය යෙදවීමට එරෙහිව ආගමික අංශ, සිවිල් සංවිධාන සහ අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කරමින් ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් හැකි සෑම මැදිහත්වීමක්ම කිරීමට සහ රැකවරණය සැපයීමට අපි කැපවෙමු.
මේ මොහොතේ සාධාරණ ලෙස ජීවත්වීමේ අයිතිය ඉල්ලා සාධාරණ සමාජයක අපේක්ෂාව වෙනුවෙන් අරගල කරන සියලු තරුණ දරු දැරියනි, පොදු ජන අරගලකරුවනි, එළඹෙන සෑම මොහොතකම එළඹි සිහියෙන් සිටින්න..! සෑම මොහොතකම අරගලය, ආදරය සහ අවිහිංසාව පාදක කර ගනිමින් සිදු කරන්න..! අපගේ ආදරණීය මාතෘ භූමිය මේ අඳුරු ශාපයෙන් මිදේවා..!