පාතාල නායක “පොඩි ලැසී” යළි රිමාන්ඩ්
(ජයකාන්ත ලියනගේ) හික්කඩුව ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ අම්බලන්ගොඩ, ඉඩම්තොට පදිංචිව සිටි එකම පවුලේ තිදෙනකු වෙඩි තබා ඝාතනය කිරීම සහ ඊට අනුබලදීම යටතේ අත් අඩංගුවට ගන්නා ලද දකුණේ පාතාල නායක පොඩි ලැසී…
(ජයකාන්ත ලියනගේ)
හික්කඩුව ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ අම්බලන්ගොඩ, ඉඩම්තොට පදිංචිව සිටි එකම පවුලේ තිදෙනකු වෙඩි තබා ඝාතනය කිරීම සහ ඊට අනුබලදීම යටතේ අත් අඩංගුවට ගන්නා ලද දකුණේ පාතාල නායක පොඩි ලැසී ඇතුළු සැකකරුවන් දස දෙනා 2017 දෙසැම්බර් මස 26 වන දින දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බළපිටිය මහේස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙනවිය නියෝග කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශනය කර පරීක්ෂණවල ප‍්‍රගතිය වැඩි දුර වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නීතිපතිවරයා වෙත යවන ලද ගොනුව සම්බන්ධයෙන් සොයා බලන ලෙසත් මහේස්ත‍්‍රාත්වරිය මෙහිදී අම්බලන්ගොඩ පොලීසියට දැනුම් දුන්නාය.
දැන්වීම
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය 96162 යටතේ බළපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබේ.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ නො.-06, ගෙවල්-20, තෙල්වත්ත, හික්කඩුව ලිපිනයේ පදිංචි අරුමාහන්දි ලසිත් මධුසංක ද සිල්වා (27) නොහොත් “පොඩි ලැසී”, පන්සල පාර, තෙල්වත්ත, හික්කඩුව ලිපිනයේ පදිංචි කළුදේව උදාර සම්පත් (22) ගෝනවල, කැළණිය ලිපිනයේ පදිංචි ලක්ෂ්මන් හේනේගෙදරගේ (34) මහවත්ත, මීටියාගොඩ ලිපිනයේ පදිංචි බෙන්තර මල්ලවාරච්චි රෝහණ මංජුල (25) නො. 18, මහවෙල, මීටියාගොඩ ලිපිනයේ පදිංචි දේමුණි විජිත් ආනන්ද සොයිසා (36) නොහොත් රංජිත්, මහවත්ත, මීටියාගොඩ පදිංචි මාරඹගේ මධුසංඛ (18) නොහොත් ගුලියා, නවාගන්නකොලවත්ත, කලූපේ, හික්කඩුව ලිපිනයේ පදිංචි දේමුණි චින්තක මධුරංග (24) සීනිගම, හික්කඩුව ලිපිනයේ පදිංචි සේන්ද්‍රාහන්දි සරත් ද සිල්වා (55) මලවැන්න, තෙල්වත්ත, හික්කඩුව ලිපිනයේ පදිංචි ඉමේෂ් ප‍්‍රියංකර (28) අම්බලන්ගොඩ, ඉඩන්තොට පදිංචි මිත‍්‍රපාල ද සොයිසා (60) යන දස දෙනාය.
මොවුන්ගෙන් පළමු සහ දෙවන සැකකරුවන් සෘජුවම ඝාතනයන් සිදුකර තිබෙන බවට පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. ඔවුන් දෙදෙනා spc-cac-1635 අංකය දරන රතු පැහැති “වෙසල්” වර්ගයේ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී තෙල්වත්ත, මලවැන්න ප‍්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන තිබේ.
පළමු සැකකරු සන්තකයේ තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ උණ්ඩ 06 ක් ද දෙවන සැකකරු සන්තකයේ තිබී ටී - 56 ගිනි අවියක්, උණ්ඩ 12 ක් සහා පතුරම් මැගසිනයක් ද තෙවන සැකකරු සන්තකයේ තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්, උණ්ඩයක් සහ පතුරම් මැගසිනයක් ද සිව්වන සැකකරු සන්තකයේ තිබී ටී - 56 ගිනි අවියක් සහ උණ්ඩ 06 ක් ද පස්වන සැකකරු සන්තකයේ තිබී මිලි මීටර් 09 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි පරිද්දෙන් මෙරටදී නිශ්පාදනය කරන ලද ගිනි අවියක් සහා මිලි මීටර් 09 වර්ගයේ උණ්ඩ 05 ක් පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
හය වන, හත් වන සහා අට වන සැකකරුවන් ආයුධ ප‍්‍රවාහනය, ඝාතකයන්ට ප‍්‍රවාහන පහසුකම් සැලසීම, ඔත්තු බැලීම සහා ආධාර අනුබලදීම සිදුකර තිබෙන බවද පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. නවවන සැකකරු සන්තකයේ තිබී ස්පාඤ්ඥයේ නිශ්පාදිත ගිනි අවියක්ද පොලීසිය සොයා ගෙන තිබේ.
10 වන සැකකරු මියගිය තිරිමාදුර ඉන්දික ද සොයිසා (33) නැමැති අයගේ පියා වන අතර සැකකරු සිද්ධිය වූ දින රාත‍්‍රී 7.30 ට පමණ සිය පුතාගේ වෙළෙඳ සැලට පැමිණ පුතා සමග ආරවුලක් ඇති කර ගෙන ඒ අතර තුර වෙළෙඳ සැලේ සවිකර තිබූ සීසීටීවී කැමරා අක‍්‍රීය කර ඝාතකයන්ට සිය ඉලක්කය සපුරා ගැනීමට උදව් උපකාර කර ඇතැයිද පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
2015 මාර්තු 23 වන දින හික්කඩුවේ පිහිටි හෝටලයකදී වෙඩි තබා ඝාතනය කරන ලද හික්කඩුව ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස් (35) සහ 2016 දෙසැම්බර් 05 දා රාත‍්‍රී 8.45 ට පමණ මාදම්පාගම, ඉඩම්තොට පිහිටි සිය වෙළෙඳ සැල ඇතුළතදී වෙඩි තබා මොවුන් ඝාතනය කරන ලද මාදම්පාගම, ඉඩන්තොට පදිංචි තිරිමාදුර ඉන්දික ද සොයිසා (33) අගම්පොඩි දේවිකා ද සොයිසා (27) සහ තිරිමාදුර රන්දික ද සොයිසා (04) යන එකම පවුලේ මව, පියා, පුතා යන තිදෙනාගේ ඝාතනයන් සම්බන්ධයෙන් මොවුන් සැකපිට අත් අඩංගුවට ගෙන තිබේ.
තෙවන සැකකරු ඝාතනයන් සදහා අරුමාහන්දි ලසිත් මධුසංක ද සිල්වා (27) නොහොත් “පොඩි ලැසී” සහ කළුදේව උදාර සම්පත් (22) යන දෙදෙනා මෝටර් රථයකින් රැගෙන ගොස් සිද්ධියෙන් පසු ආපසු රැගෙන ඇවිත් පලා යෑමට සලස්වා තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබෙන අතර අංක 7448 දරන මෙම මෝටර් රථය සහ යතුරු පැදි 03 ක් ද පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
ත‍්‍රි පුද්ගල ඝාතනය සිදුවූ, මියගිය පුද්ගලයින්ට අයත් වෙළෙඳ සැල තුල තිබී ටී - 56 ගිනි අවියකට සහ මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියකට යොදන හිස් පතුරම් කොපු 13 ක් ඇල්පිටිය විශේෂ අපරාධ ස්ථාන විමර්ශන ඒකකය සහ අම්බලන්ගොඩ පොලීසිය සොයා ගෙන තිබුණි.
අම්බලන්ගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසීහ මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් ගීතානන්ද ද සිල්වා (6790) සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.