ප්‍රසන්න රණතුංග ආගමික නායකයින්ගෙන් සමාව ගත යුතුයි

තව දුරටත් පාර්ලිමේන්තුව අව භාවිතය නොකළ යුතුයි පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී එම වරප්‍රසාද අව භාවිතය කරමින් අමාත්‍ය ප්‍රසන්න රණතුග මහතා ආගමික නායකත්වයන්ට සිදු කළ අපහාසය තරයේ හෙළා දකින බව සාධාරණ…
තව දුරටත් පාර්ලිමේන්තුව අව භාවිතය නොකළ යුතුයි

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී එම වරප්‍රසාද අව භාවිතය කරමින් අමාත්‍ය ප්‍රසන්න රණතුග මහතා ආගමික නායකත්වයන්ට සිදු කළ අපහාසය තරයේ හෙළා දකින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යපරයයේ මහා ලේකම් පාලිත ලිහිණිය කුමාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
දැන්වීම
පසුගිය මැයි මස 09 වැනි දින මේ රටේ සිදු වූ බිහිසුණු විනාශකාරී සිදු වීම් පසු පස සංවිධානාත්මකව කටයුතු කරන ලද්දේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, කතෝලික සහ ක්‍රිස්තියානි පියතුමන්ලා බවට ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා සිදු කර ඇති ප්‍රකාශය සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඉතාමත් පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු.
වර්තමාන රජය නියෝජනය කරන මුල් පෙළේ දේශපාලකයෙකු ලෙස සැලකෙන අමාත්‍යවරයා සිය පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී සිදු කරන ලද එකී ප්‍රකාශය සාහසික එකක් වන්නේ බිහිසුණු සිදු වීම් වැලකට හේතු වූ ඒවායේ සැබෑ වග කිව යුත්තන් ඉන් බැහැර කරමින් එහි වගකීම මේ රටේ පූජ්‍ය සහ පූජක පක්ෂය වෙත යොමු කිරීමට එමගින් උත්සාහ කිරීම නිසාය.
සත්‍ය වශයෙන්ම එකී විනාශකාරී ක්‍රියාදාමයන්ට හේතු සාධක සපයන ලද්දේ මේ රටේ ප්‍රමුඛතම දේශපාලකයන් සහ ඔවුන්ගේ අනුග්‍රහය ලද අනුගාමිකයන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙනි. ගාලු මුවදොර පදනම් කර ගනිමින් ඉතාමත් සාමකාමී සහ යුක්ති ගරුක අරගලයක යෙදී සිටින පිරිසට රංචු ගැසී සංවිධානාත්මක ලෙස පැමිණ ප්‍රහාරයක් එල්ල කරන ලද්දේ කුමන ස්ථානයක සිට ද යන්න සහ ඒ සඳහා පහසුකම් සලසන ලද්දේ කවුරුන් විසින් ද යන්න අද වන විට සමස්ත ලෝකයම හොදින් දන්නා කරුණකි.
එමෙන්ම එම අවස්ථාවේ මේ රටේ පොලීසිය භාරව කටයුතු කරන ලද්දේ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා බව ඔහු අමතක නොකළ යුතුය. සත්‍ය වශයෙන්ම ඔහු එහිදී තම වගකීම පැහැර හැරීම පිළිබද වගකීම භාර ගත යුතුව තිබේ.
එවන් පසුබිමක අමාත්‍යවරයා සිදු කළ මෙම වගකීම් විරහිත ප්‍රකාශය පිළිබඳව වහාම මේ රටේ සියලුම ආගමික පූජ්‍ය සහ පූජක පක්ෂයෙන් මෙන්ම ජනතාවගෙන් ද සමාව ඉල්ලා සිටිය යුතුය. එමෙන්ම මේ රටේ අධිකරණය මගින් ඔහුට අදාළව මේ වන විට ලබා දී ඇති විනිශ්චයට ගරු කරමින් රටේ උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුව තව දුරටත් අවභාවිතා කිරීමෙන් වැළකී සිටිය යුතුය.