ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු නොකර ලෝකයේ සහය දිනා ගනු බැහැ

ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදී සමුළුවට ආරාධනා නොකිරීමෙන් ඒ බව තහවුරු වුණා ජාතික සමගියෙන් තොරව රටට අනාගතයක් නැහැ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු නොකර ලෝකයේ ගෞරවය දිනා ගැනීමට හෝ ජාත්‍යන්තරයේ සහයෝගය උපයා…
ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදී සමුළුවට ආරාධනා නොකිරීමෙන් ඒ බව තහවුරු වුණා
ජාතික සමගියෙන් තොරව රටට අනාගතයක් නැහැ

රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු නොකර ලෝකයේ ගෞරවය දිනා ගැනීමට හෝ ජාත්‍යන්තරයේ සහයෝගය උපයා ගනිමින් රට සංවර්ධනය කර ජනතාවට සාධාරණය ඉටු කිරීමට කිසිදු හැකියාවක් නැතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.
ඇමරිකාවේ පැවැති ලෝක ප්‍රජාතන්ත්‍රවාදී සමුළුව සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා නොකිරීමෙන් ඒ බව මානව තහවුරු වන අතර එම සමුළුවට ආරාධනා නොකිරීම රටක් ලෙස ශ්‍රී ලංකාවට ලැබූ විශාල අපකීර්තියක් වන්නේ යැයි ද කරු ජයසූරිය මහතා පෙන්වා දෙයි.
දැන්වීම
දේශබන්දු කරු ජයසූරිය මහතා මේ බව කියා සිටියේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් කොළඹ දී සංවිධානය කෙරුණු ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කියා සිටියේය.
මේ වන තුරුත් රට යථා තත්ත්වයට පත්වී නැහැ. ඊට ප්‍රධාන හේතුව වශයෙන් අපි දකින්නේ කළමණාකාරීත්වයේ ඇති අඩුපාඩු සහ තීරණ විටින් විට වෙනස් කිරීමයි. මර් තත්ත්වය නිවැරදි කිරීමට බලධාරීන් පියවර ගත යුතුයි. ශ්‍රී ලංකාව එන්නත්කරණයේදී ආසියාවේ අනිත් රටවල් අභිභවා හොඳ ස්ථානයක තිබීම අපි අගය කරනවා. මේ සාර්ථකත්වය ලබා ගැනීමට කැප වුණු සියලු දෙනාට අපගේ ප්‍රණාමය සේම ගෞරවය පිළි ගන්වනවා.
අපගේ සතුටට හේතු වන අනෙක් කරුණ වනුයේ ගෑස් අනතුරු ගැන සොයා බැලීම සඳහා ගරු ජනාධිපතිතුමා විසින් ක්ෂණිකව පියවර ගෙන විශේෂඥ කමිටුවක් පත් කිරීමයි. එම පියවර කාලෝචිත පියවරක් වශයෙන් සලකන අතර, රටේ දැවෙන ප්‍රශ්න විසඳීමට අවශ්‍ය වන පරිදි බුද්ධිමතුන්ගේ උපදෙස් ලබා ගන්නේ නම් කෘෂිකර්මාන්තය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ඇති වූ ගැටලු සහ අවුල් වියවුල් ද ඇති වන්නේ නැහැ.
අපට පේන ආකාරයට පොහොර නොමැතිකම නිසා බොහෝ ගොවියන් ගොවිතැන අත හැර ඇති නිසාත් නිෂ්පාදනයේ විශාලත්වය 30% පමණ පහළට වැටෙනු ඇති බව ක්ෂේත්‍රයේ මතයයි. පිටර ටින් හාල් ගෙන්වීම මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස අපි දකින්නේ නැහැ.
ජන ජීවිතයට අවශ්‍ය ඖෂධ, කිරිපිටි සහ සීනි ඇතුළු ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා අවශ්‍ය මුදල් නොමැති අපට හාල් පිට රටින් ගෙන්වීමට විදේශ විනිමය නාස්ති කළ හැකිද..?
මීට අමතරව වරායේ ආහාර ද්‍රව්‍ය රැගත් කන්ටේනර් 1000ක් පමණ ඩොලර් නොමැති කමෙන් හිර වී ඇති බව අපි වටහා ගත යුතුයි. කළමණාකාරිත්වය ශක්තිමත් කළ යුත්තේ එවැනි අවස්ථාවලයි. මේ හේතුවෙන් විශාල ආහාර හිඟයකට අසරණ ජනතාව මුහුණ දී ඇති අතර ජීවන වියදම ද ඉතාමත් අධික ලෙස ඉහළ ගොස් තිබෙනවා. තුන් වේල කන්න නැතිව විශාල ජනතාවක් රටේ සිටින බව සත්‍යයක්.
පොහොර තහනම ගෙන ඒමට ප්‍රථම ජනාධිපතිතුමා අවශ්‍ය උපදෙස් බුද්ධිමතුන්ගෙන් ලබා ගත්තේ නම් අද ඇතිවී ඇති මහා වියවුල පැන නැගෙන්නේ නැහැ. රාජ්‍ය කරණයේ දී මේ කරුණු කරණා ඉතා වැදගත් කරුණක් බව බලධාරීන් වටහා ගත යුතුයි. ගොවි පවුල් අද ඉතා අසරණ තත්ත්වයකට වැටී ඇති බව සහ ඔවුන් වර්තමාන පාලනය කෙරෙහි විශාල කලකිරීමකින් සේම කෝපයකින් සිටින බවද පෙන්වා දෙන්නේ මිනිස් හැඟීම්වලින් යුතුවයි.
ඇමරිකාවේ පැවැත් වෙන ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතර සම්මන්ත්‍රණය සඳහා ශ්‍රී ලංකාවට ඇරයුම් නොකිරීම අප රටට ලැබුණු නිගරුවක් ලෙස කණගාටුවෙන් හෝ පෙන්වා දිය යුතුයි. අප කිහිපවිටක් ම සඳහන් කළ පරිදි ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ පිළි ගැනීම ලබා ගැනීම අප රටට ගෞරවයක් වනවා. ආයෝජකයින් ගෙන්වීමටත් වෙළඳාම දියුණු කර ගැනීමටත් ප්‍රජාතන්ත්‍රවාදය ඉතා අවශ්‍ය අංගයක් වනවා.
ප්‍රජාතන්ත්‍රවාදී යාන්ත්‍රණය නිසි ආකාරයට ක්‍රියාත්මක වන තුරු ඒ පිළි ගැනීම සහ ගෞරවය උපයා ගැනීම දුෂ්කර වනු නියතයි. දැනට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සාමාජිකයින් පත් නොකිරීම නිසා ක්‍රියාත්මක වන්නේ නැහැ. පසුගිය වකවානුවේ අප රටේ මානව හිමිකම් කොමිසම ලෝකයේ ඉතා ඉහළ පිළි ගැනීමකට ලක්ව තිබිණා. ඊට හේතුව වූයේ සියලුම සාමාජිකයින් දේශපාලනයෙන් බැහැර ස්වාධීන පුද්ගලයන් වීමයි. එදා ඔවුන් තෝරා ගත්තේ ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් විසින්. මේ නිසා ප්‍රජාතන්ත්‍රවාදී සම්මේලනයට නොකැඳවීම ගැන අප පුදුම නොවිය යුතුයි. කල් නොයවා මෙම වැරදි නිවැරදි කරන ලෙස අප ඉල්ලා සිටිනවා.
පොලිස් භාරයේ සිටින සිරකරුවන් ඝාතනය වීම නිසා ද අප රටට විශාල අපකීර්තියක් ලැබී තිබෙනවා. තවමත් ශ්‍රී ලංකාවේ එක් රටක් එක් නීතියක් සංකල්පය බල පවත් වන්නේ නැති බව සඳහන් කරන්නේ බලවත් කණගාටුවෙන් බව කිව යුතයි. මෙම සංකල්පය ක්‍රියාත්මක වන රටක නම් රංජන් රාමනායක වැනි ප්‍රබුද්ධ කලාකරුවන් හිර ගෙවල්වල සිටින්නේ නැහැ. අප ඉහත සඳහන් කළ කරුණු බලධාරීන්ගේ අවධානයට යොමු වේවා යන්න අපගේ පැතුමයි.