අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පළාත් සභා මැතිවරණය 2025 දී පැවැත් විය යුත්තේ ඇයි..?

පළාත් සභා මැතිවරණය 2025 දී පැවැත් විය යුත්තේ ඇයි..?

’දේශපාලන පක්ෂ නායකයින් සහ විද්වතුන් පවසන්නේ කුමක් ද..? පළාත් සභා මැතිවරණය 2025 වසරේදී පැවැත්විය යුතුව ඇත්තේ ඇයි ? මැයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කළ සම්භාෂණය…

’දේශපාලන පක්ෂ නායකයින් සහ විද්වතුන් පවසන්නේ කුමක් ද..?

පළාත් සභා මැතිවරණය 2025 වසරේදී පැවැත්විය යුතුව ඇත්තේ ඇයි ? මැයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කළ සම්භාෂණය (සම්මන්ත්‍රණය) පසුගිය 02 වැනිදා කොළඹ ජානකී හෝටලයේදී පැවැත්විණි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක කරු ජයසූරිය මහතා ඇතුළු දේශපාලන පක්ෂ නායකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විද්වතුන් සහ සිවිල් සමාජ සංවිධාන නායකයින් සහ දේශපාලන ක්‍රියාකරිකයින් රැසක් මෙම වැඩසටහනට සහභාගීවූහ.

මහචාර්ය  රොහාන් සමරජීව මහතා ප්‍රධාන දේශනය පවත්වන ලද අතර, හිටපු කතානායක කරු ජයසූරිය, මැතිවරණ කොමිෂමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය, එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය, හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ, වරලත් ගණකාධිකාරී හර්ෂ ගුණසේන, ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ජෙහාන් පෙරේරා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්, පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, සමගි ජන බලවේගය මහ ලේකම්, හිටපු අමාත්‍ය, රංජිත් මද්දුමබණ්ඩාර, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, කදුරට ජනතා පෙරමුණේ නියෝජිත සතිස් කුමාර්, කැෆේ සංවිධානයේ නියෝජිත මොහොමඩ් මනාස් සහ හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මෙහිදී අදහස් දැක්වූහ.

දැන්වීම

සම්භාෂණයට ඒක් වූ සියලු දෙනාගේම පොදු අදහස වූයේ ආණ්ඩුව සිය මැතිවරණ පතිපත්ති ප්‍රකාශනයේ ප්‍රතිඥා දී ඇති ආකාරයට කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවයි. එහිදී පැරණි ක්‍රමයට පැවැත්විය යුතු ද නැත්නම් නව ක්‍රමයකට පැවැත්විය යුතුද ? යන්න සම්බන්ධයෙන් අදහස් කිහිපයක් ඉදිරිපත් වීම විශේෂත්වයකි. මෙහිදී දක්වන ලද අදහස්වල සාරාංශයක් පහත පළ වේ.

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පෙරොන්දු වූ ආකාරයට පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි

-කරු ජයසූරිය-

මෙම සංවාදයේ දී සිය අදහස් ඉදිරිපත් කරමින් හිටපු කතානායක කරු ජයසූරිය මහතා පෙන්වා දුන්නේ පළාත් සභා මැතිවරණය කඩිනිමින් පවත්වන ලෙස කකරන මේ ඉල්ලීම කිසිසේත් රජය අපහසුතාවට පත් කිරීමට කරන යෝජනාවක් නොවන බවයි. රජය විසින් ජනතා අනුමැතිය ලබා ගත් ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රතිඥා දී ඇති පරිදි පළාත් සභා මැතිවරණය කඩිනිමන් පැවැත් වීම ආණ්ඩුවේ වගකීමක් බව ද ජයසූරිය මහතා මෙහිදී අවධාරණය කළේය. එසේම  සීමා නිර්ණය හරහා යළිත් පළාත් සභා මැතිවරණ යල් දැමීමට යන්නේ නම් එය ජනතාවට කරන ද්‍රෝහිකමක් බව ද ජයසූරිය මහතා කීවේය.

මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය වැඩි දුරටත් පැහැදිලි කළ කරු ජයසූරිය මහතා, “අවුරුදු 11කින් පළාත් සභා මැතිවරණයක් පැවැත් වුණේ නැහැ.  නමුත් පළාත් සභා කියන්නේ ව්‍යවස්ථාපිත දෙයක්, ජනතාවගේ අයිතියක්. එය ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තුළ නිසි පාලනයත් රට තුළ සිදුවන්නේ නැහැ. එහෙත් අලුතින් පත් වූ පළාත් පාලන ආයතනවල සක්‍රීය ක්‍රියාකාරීත්වයක් දක ගන්න පුළුවන්. පක්ෂ භේදයකින් තොරව මේ තත්ත්වය දැකගත හැකි වීම විශේෂත්වයක්. මේ වන විට පළාත් සභා පාලනය වෙන්නේ ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන්, නමුත් මේ අයිතිය මහජනතාවට ලැබිය යුතුයි. විශේෂයෙන්ම උතුරු – නැගෙනහිර පළාත්වලට මේ තත්ත්වය වඩාත් වැදගත් වෙනවා. ඔවුන්ට ජනතා සහභාගීත්යෙන් තොර පළාත් සභාවක් ගැටලුකාරී විය හැකියි. ජාතික ජන බලවේගය විසින් මහජනතාවගේ අනුමැතියට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව යමින්  පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නා ලෙස අපි බොහොම ගෞරවයෙන් රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ රටේ සෑම දේශපාලන පක්ෂයක්ම බලාපෙරොත්තු වෙනවා පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වයි කියලා.

තවත් වැදගත් කරුණක් සිහිපත් කිරීමට මම කැමැතියි.  මැතිවරණ කොමසාරිස්තුමා කියන ආකාරයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල්වල ගැටලුවක් නැහැ. ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු මූල්‍ය ප්‍රතිපාදන වෙන්කරලා තිබෙන බව මැතිවරණ කොමසාරිස්තුමා කියනවා. මේ තත්ත්වය තුළ ආණ්ඩුව ඉතාම කෙටි, සුළු ව්‍යවස්ථා සංශෝධනයකින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නෛතික පසුබිම සකස් කළ හැකියි. අපි බලාපෙරොත්තු වෙනවා මේ වසර අවසන් වීමට පෙර ආණ්ඩුව අදාළ පියවර ගෙන පළාත් සභා මැතිවරණය පවත්වයි කියලා.

නව සීමා නිර්ණය කිරීම් වලින් පසුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට යාම තවත් වසර කිහිපයක් ගත වන ක්‍රියාවලියක් විහ හැකියි. එවැනි පියවරකට යළි ගමන් කිරීම ජනතාවට කරන ද්‍රෝහීකමක්.

ලංකාවේ දේශපාලන පක්ෂ, සිවිල් සමාජය සහ විද්වතුන් පමණක් නොවෙයි, ජාත්‍යන්තර ප්‍රජාව, ජිනීවා මානව හිමිකම් කොමිෂම පවා මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කර තිබෙනවා. ඔවුන් ද පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා තිබෙනවා. පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් තිබෙනවා නම් ඉතාම සුළු පනතක් ඉදිරිපත් කිරීම තුළින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව තිබෙන බව මම යළි පෙන්වා දෙනවා. අපි කරන මේ ඉල්ලීම කිසිසේත් රජය අපහසුතාවට පත් කිරීමක් නොවන බව ද අවධාරණය කිරීමට මම කැමතියි.

පළාත් සභා ඡන්දය මේ වසර තුළ පවත්වන්න ආණ්ඩුවට කිසිම බාධාවක් නෑ

-මහාචාර්ය රොහාන් සමරජීව-   

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වගකීමක් බව පෙන්වා දුන්  මහාචාර්ය රොහාන් සමරජීව ජාතික ජන බලවේගය සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය වන ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ තුළින් ද වසරක් ඇතුළත පළාත් සභා මැතිවරණය පවත්වන බවට ප්‍රතිඥා දී ඇති බව පෙන්වා දුන්නේය. පළාත් සභා මැතිවරණය පැවැත්වීමට යම් නෛතික බාධා තිබේ නම් එය ඉවත් කිරීමට ආණ්ඩුවට පහසුවෙන් හැකි බව පෙන්වා දුන් ඔහු උතුරේ ජනතාවගේ විශ්වාසය තහවුරු කිරීමට පළාත් සභා මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය බව ද අවධාරණය කළේය.

මේ සම්බන්ධ සිය ස්ථාවරය තව දුරටත් පැහැදිලි කරමින් මහාචාර්ය සමරජීව මෙසේද පැවසුවේය. “පළාත් සභා මැතිවරණ මේ අවුරුද්දේ පැවත්විය යුත්තේ ඇයි ? කියන ප්‍රශ්නයට තමයි අපි අද පිළිතුරු දෙන්න හදන්නේ. Constitutionalism / ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාලනය කිරීම කියලා සංකල්පයක් කියනවා. මේක පාදක  සංකල්පක්. Constitutionalism කියන සංකල්පය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තෝරාගත් වගන්ති පමණක් ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නැහැ, සම්පූර්ණම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කළ යුතුයි. එහෙම කළොත් පමණයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උත්තරීතර නීතිය බවට පත්වෙන්නේ. ව්‍යවස්ථාවේ තෝරා  ගත් වගන්ති පමණක් ක්‍රියාත්මක කළොත් ඒක ප්‍රාථමික නීතියක් බවට පත්වෙනවා. ලංකාවේ තත්ත්වය ගත්තොත්, කවුරු කැමති වුණත්, අකමැති වුණත් 13 වැනි ව්‍යවස්ථාව ඒකේ තියෙනවා. ඒකට අකමැතිනම් ඒක ඉවත් කරන්න, අපිට ඒක කරන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේ, අපි ගෞරවනීය රටක් ලෙස කළ යුත්තේ තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම. ඒ ගැන වාද විවාදයක් නෑහැ. ඒ අනුව කටයුතු කරන්නේ නැතිනම් අපි ජීවත් වෙන්නේ කැලෑ නීතියක් යටතේ.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය  පළාත් සභා මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් පසුගිය කාලය පුරාම අඛණ්ඩ පෙනී සිටියා. මේ සම්බන්ධ පළමු වැනි කතිකාව වැඩසටහන කළේ 2020/10/17 වැනිදා. ඒකට පළාත් පාලන සීමා නිර්ණය කමිටුවේ සභාපති අශෝක පීරිස් මහත්මයත් සහභාගී වුණා. එතුමා මේ වන විට ජාතික ජන බලවේගයට පක්ෂපාතී කෙනෙක්. 2023 පෙබරවාරී අපි යළිත් ‌ෙම් ගැන කතා කළා. ඒ වගේ පළාත් සභා විෂය ගැනම අපි කතිකාව සංවාද පහක් පවත්වා තිබෙනවා. අපි පමණක් නොවෙයි ජාතික ජන බලවේගයත් මේ ගැන කතා කරලා තිබෙනවා. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ ගැන පොරොන්දුවක් ලබා දී තිබෙනවා. මේ රටේ ජනතාව විතරක් නොවෙයි ඉන්දියාව පවා ජිනීවා වලදී මේ ගැන කතා කළා. මේ අනුව මට යළිත් අවධාරණය කරන්න තියෙන්නේ අපි පමණක් නොවෙයි, ඉන්දියාව පමණක් නොවෙයි, ජාතික ජන බලවේගය පවා පළාත් සබා මැතිවරණය මේ අවුරුද්ද තුළ පැවැත්වීම ගැන කතා කරලා තියෙනවා. ඒසේ නම් පළාත් සභා මැතිවරණය මේ අවුරුද්ද ඇතුළත පවත්වන්න.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල්වල ගැටලුවක් නැහැ. 2025 ඇයවැයෙන් මැතිවරණ කොමිෂමට රුපියල් බිලියන 21.2ක් වෙන් කරලා තිබෙනවා. ඒ කියන්නේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් තිබෙනවා. එපමණක් නොවෙයි ආණ්ඩුවට අවශ්‍ය තරම් සල්ලි තියෙන බව ආණ්ඩුවම දිනපතා කියනවා.

මාස තුනක් ඇතුළත පළාත් සභා මැතිවරණය පවත්වන්න පුළුවන් ද ? කියලා සමහරු අහනවා. මම කියන්නේ ‘ඔව් පුළුවන්’ කියලා. ඒක කරන්නේ කොහොමද?, ‘පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය තියමු’ කියලා  පසුගිය පාර්ලිමේන්තුවේ එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීතුමා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙනවා. මේ යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙනුත් තීන්දුවක් දුන්නා, ‘වචන කිහිපයක් එහාට මෙහාට කළොත් මේක හරි’ කියලා කිව්වා. නමුත් පාර්ලිමේන්තුව  විසුරුවා හැරීම නිසා මේ යෝජනාව නතර වුණා. මේ යෝජනාවෙම පිටපතක් ශානක්‍යන් මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරලා තිබෙනවා.  2026 අයවැයට කලින් මේ යෝජනාව සම්මත කළොත් කිසිම ගැටලුවක් නැතිව පළාත් සභා මැතිවරණය පවත්වන්න පුළුවන්.

ඊළඟට පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ඇයි ? කියන ප්‍රශ්නය එනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජීවතත්වීම ගෞරවණීය රටක ගෞරවණීය පුරවැසියන්ගේ අයිතිවාසිකම්, ඒ නිසා පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි. ඒ වගේම රාජ්‍ය පාලනයට පුරවැසි සහභාගීත්වය ලබා ගන්න නම් මහජන නියෝජිතයින් හරහා අදාළ ආයතන ක්‍රියාත්මක විය යුතුයි. ඒ වාගේම ආණ්ඩුවට උතුරෙන් ඉහළම ඡන්ද ප්‍රමාණයක් ලැබුණා.  මේ ජනතාව අතර විශ්වාසය තහවුරු කර ගන්න නම් පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි. එහෙම කළොත් ඒ ජනතාව වෙනුවෙන් කතා කරන්න මහජන නියෝජිතයෝ පිරිසක් ඉදියි. ඔවුන්ගේ අදහසුත් අරගෙන අලුත් ව්‍යවස්ථාවක් හෝ වෙනත්් වැඩපිළිවෙළක් සකස් කරන්න අවශ්‍ය කටයුතු කරන්න ආණ්ඩුවට පුළුවන්.

තවත් ප්‍රශ්නයක් තිබෙනවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මධ්‍යම අණ්ඩුවට, පළාත් සභාවලට සහ සමගාමී ලයිස්තුව ආදි වශයෙන් බතල බෙදලා තිබෙනවා. නමුත් පළාත් සභා ක්‍රියාත්මක නොවන නිසා මේ ව්‍යවස්ථාපිත බලතල ක්‍රියාත්මක කිරීමේදී ගැටලු රැසක් නිර්මාණය වී ති‌බෙනවා. පළාත් පාලන ආයතනවලට ක්‍රියාත්මක වීමේ ගැටලු නිර්මාණය වී තිබෙනවා. ඒ නිසා ආණ්ඩුවට ආයාචනා කරන්නේ රටේ පරිපාලනයට හා සංවර්ධනයට අදාළ වැදගත් තීන්දු – තීරණ ගැනීමට මේ වැචගත් කටයුත්ත වහාම ඉටු කරන්න කියලා. රටේ උත්තරීතර නීතියට ගරු කරලා, දුන්න පොරොන්දුවලට ගරු කරලා කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. එහෙම කළොත් ආණ්ඩුවටත් කියන්න පුළුවන්, ‘ඔන්න අපි පොරොන්දු ඉටු කළා’ කියලා”.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කිරීම නීතියේ ආධිපත්‍ය අභියෝගයට ලක් කිරීමක්

-ආචාර්ය ජෙහාන් පෙරේරා-

පළාත් සභා ක්‍රමය සහ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාවේම කොටසක් හෙයින් ඒ යටතේ පිහිටුවා ඇති පළාත් සභා ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ වගකීමක් බව ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ, ආචාර්ය ජෙහාන් පෙරේරා සඳහන් කළේය.  ඔහු මෙහිදී පෙන්වා දුන්නේ ආණ්ඩුවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ඡාව ආරක්ෂා නොකරනවා නම් රටේ නීතියේ ආධිපත්‍යක් නොමැති බව එයින්ම වැටහෙන බව ඔහු සඳහන් කළේය.

පළාත් සභා මැතිවරණය නොපවැත්වීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවට චෝදනා එල්ල කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් ජෙහාන් පෙරේරා පසුගිය ආණ්ඩු තුනම මෙම මැතිවරණය කල්දැමීමට පියවර ගත් බව ද සඳහන් කළේය.

“දැන් ඉතා බලවත් ආණ්ඩුවක් තිබෙනවා. සියලුම තීන්දු – තීරණ ඔවුන් විසින් තනිව ගන්නවා. ලංකාව වැනි බහුත්වවාදී රටක මේ තත්ත්වය ගැළපෙන්නේ නැහැ. පළාත් සභා ක්‍රියාත්මක වුණා නම් මේ තත්ත්වය යම් තරමකට පාලනය වෙන්න ඉඩ තිබෙනවා” ජෙහාන් පෙන්වා දුන්නේය.

පළාත් සභා ක්‍රමය නිර්මාණය කරන ලද්දේ ජාතික අර්බුදයට විසඳුමක් වශයෙන් බව කී ජෙහාන් පළාත් සභා ක්‍රියාත්මක නොවීම මේ තත්ත්වය තුළ හානිකර ප්‍රතිවිපාක ජනනය කරන බව ද සඳහන් කළේය.

පළාත් සභා ඡන්දය අවශ්‍යයි කියන මේ මතය භූමිය තුළ රෝපණය වෙලා නැහැ

මැතිවරණ කොමිෂමේ හිටපු සභාපති, මහින්ද දේශප්‍රිය

විපක්ෂයේ සහ සිවිල් සමාජයේ සියලු දෙනාම පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා සිටින බව කී මැතිවරණ කොමිෂමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා, නමුත් එවැනි අදහසක් භූමිය තුළ නොමැති බව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ මහින්ද දේශප්‍රිය මහතා,  “පළාත් සභා ක්‍රමය අවශ්‍ය ඇයි කියන අදහස ජනගත කිරීමේ උත්සාහයක් නැහැ.  ඇයි මේ ඇය ඡන්දය ඉල්ලන්නේ. ‘මහජන නියෝජතියෝ හරහා පළාත් සභා ක්‍රියාත්මක නොවන නිසා පළාත් සභා මැතිවරණය ඔ්නෑ’ කියලනේ මේ කියන්නේ. ඒත් ඇයි මේක ඔ්නෑ කියන කරුණ ජනගත නොකරන්නේ ?, අපි නිතරම කරන්නේ සාකච්ඡා, සංවාද කිරීම පමණයි. මේක භූමියට අරගෙන ගහිල්ලා නෑ.  භූමිය තුළ කිසිම මතවාදයක්, විරෝධයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අඩුම ගානේ විපක්ෂයට බලය හිමි පළාත් පාලන ආයතනකින්වත්, උතුරු – නැගෙනහිර පළාත් පාලන ආයතවලින්වත් පළාත් සභා ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තුළ ඉදිරියට යන්න බැහැ කියලා යෝජනාවක්වත් සම්මත වෙලා තිබෙනවාද ?. මගේ දැනුමේ හැටියට නැහැ. පාර්ලිමේන්තුවේ එක දවසකවත් මේ ගැන කතා කරනවා මම දැක්කේ නැහැ. භූමියේ මේක පැළ කරන්න කාටවත් අවශ්‍යතාවක් නැහැ, සියලු දෙනාටම අවශ්‍ය වෙලා තියෙන්නේ ‘ආණ්ඩුවට විරුද්ධ ජනමතයක් තිබෙනවා’ කියලා පෙන්නන්න මිසක් පළාත් සභා කා සඳහා ද?, මොකට ද? කියලා ජනතාව තුළ අදහස් ඇති කරන්න නොවෙයි. මේ මතය ජනතාව අතරට ගෙන යාමකින් තොරව මේ මතය ජයග්‍රහණය කරන්න බැහැ”.

මහජන මතයක් නිර්මාණය කළ යුතුයි

එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය

නීතිය අනුව පළාත් සභා මැතිවරණය කැඳවීමට මැතිවරණ කොමිෂමට බලය තිබෙන බව එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය මහතා පෙන්වා දුන්නේය. මැතිවරණ කොමිෂම මෙවැනි පියවරක් ගතහොත් එය අධිකරණය හා ව්‍යවස්ථාදායකය අතර ගැටුමක් බවට පත්විය හැකි බවත් එයට මුහුණ දීමට දේශපාලන පක්ෂවලට හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය වැඩි දුරටත් පැහැදිලි කළ සිරිතුංග ජයසූරිය මහතා, “අලුත් නීතිය එනතෙක් පැරණි නීතිය ක්‍රියාත්මකයි. සරලව ගත්තොත් මම හිතනවා මැතිවරණ කොමිෂමේ ස්වාධීනත්වය ප්‍රකාශ කළ යුතුයි කියලා. ඒ වගේම පළාත් සභාව උතුරට දුන්න විසඳුමක් කියලා අපි අමතක නොකළ යුතුයි. ඒ වගේම තමයි දකුණේ පළාත් සභාව අණ්ඩුවට අවශ්‍ය ආකාරයට කටයුතු කළා මිසක් පරිපාලනයක් ගෙන ගියේ නැහැ. මේ තත්ත්වය තුළ අපි තේරුම් ගත යුතුයි මේ පළාත් සභාවල අවශ්‍යතාව තිබෙන්නේ උතුරේ ජනතාවට. ඒ නිසාම තමයි පළාත් සභා ක්‍රම වැදගත් වෙන්නේ. වුමනාවක් තිබෙනවා නම්  2/3ක බලයක් අතිබෙන මේ ආණ්ඩුවට  මේක සතියකින් කරන්න පුළුවන්. විපක්ෂයට තියෙන්නේ ආණ්ඩුවට එරෙහි ජනමතය තක්සේරු කරන දේශපාලන වුමනාවක්. උතුරේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ලබාදීම වෙනුවෙන් වහාම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි. ඒ අතරේ විපක්ෂයට බලය තිබෙන පළාත් පාලන ආයතන ‘පළාත් සභා මැතිවරණය වහාම පැවැත්විය යුතුයි’ කියලා යෝජනාවක් සම්මත කළ යුතුයි. මේ වෙනුවෙන් මහජන මතයක් නිර්මාණය කළ යුතුයි”.

පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණ පැවැත්විය නොහැකියි

හිටපු අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ

පැරණි නීතිය යටතේ හෝ නව නීතිය යටතේ හෝ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂමට බලයක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් පවතින බව හිටපු අධිකරණ ඇමැති, ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ ය. “ඒක නිසා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ නීති ප්‍රතිසංස්කරණයක් කළ යුතුමයි” විජේදාස රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

වත්මන් රජයට 2/3ක බලයක් තිබෙන බැවින් ඔ්නෑම නීතියක් වෙනස් කළ හැකි බවට පවතින මතය බැහැර කළ රාජපක්ෂ මහතා 2/3ක බලයක් තිබුණ කිසිම රජයක් මහජනතාවට වාසිදායක, ජනතාවාදී නීති සම්මත කර නොමැති බව ද, ජනතාවාදී නීති සම්මත කළේ දුර්වල ආණ්ඩු බව ද සාක්ෂි සහිතව පෙන්වා දුන්නේය.

පළාත් සභා ක්‍රමය, බලය බෙදීමට හඳුන්වා දුන් හොඳම ක්‍රමය ලෙස තමා පිළිනොගන්නා බව කී විජේදාස රාජපක්ෂ මහතා, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් බව අමතක නොකළ යුතු බව ද අවධාරණය කළේය.

“පළාත් සභා ක්‍රමය නරකයි, ඒකේ අඩුපාඩු තිබෙනවා කියලා පළාත් සභා ක්‍රමය ප්‍රතික්ෂේප කරන්න පුළුවන් නම්, ආණ්ඩුවකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඔ්නෑම කොටසක් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. මූලික අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. යම් ආණ්ඩුවක් එහෙම හිතනවා නම්  ඒ රටේ නීතියේ ආධිපත්‍ය ඇත්තේම නැහැ. ඒ නිසා පවතින ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කරන්න කිසිම ආණ්ඩුවකට හෝ පක්ෂයකට අයිතියක් නැහැ. අඩුපාඩු තිබෙනවා නම් ඒවා නිවැරදි කර ගැනීමේ බලය පාර්ලිමේන්තුව සතුයි.

විශාල බලයක් සහිත ආණ්ඩු බලය බෙදා හදා ගන්නෑ –

හර්ෂ ගුණසේන

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා පළාත් සභා ක්‍රමය හඳුන්වා දුන් අවස්ථාවේ කැබිනට් මණ්ඩලය කුඩා කිරීමට පියවර ගත් අතර පළාත් සභා වලට බලය ලබාදීමේ යම්කිසි උත්සාහයක් පැවැති බව හර්ෂ ගුණාසේන මහතා පෙන්වා දුන්නේය.

“ඒත් පසුව බලයට පැමිණි ආණ්ඩු පළාත් සභාවලය ලබා දුන් බලය යළි අත්පත් කර ගැනීම සඳහා විවිධ උපක්‍රම පාවිච්චි කළා” යැයි හර්ෂ ගුණසේන  සඳහන් කළේය. විශාල බලයක් සහිත ආණ්ඩු තිරස් බලය යළි අත්පත් කර ගන්න තැත් කරන බවත් ඊට සමාගාමීව ජනාධිපතිවරයා (සිරස් බලය) වඩාත් බලවත් වීමේ උත්සාහයක නිරත වන බවත් ඔහු මෙහිදී පැහැදිලි කළේය.

පළාත් සභා මැතිවරණ නොපවත්වා සිටීමට ආණ්ඩුවට කිසිම අයිතියක් නෑ

සාගර කාරියවසම්

මහ ලේකම්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ

පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ පැරණි ක්‍රමය සහ අලුත් ක්‍රමය යන දෙකම අවලංගු වී ඇති බවත් මේ ගැටලුව නිරාකරණය කර ගැනීමේ හැකියාව පවතින්නේ පාර්ලිමේන්තුවට පමණක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පෙන්වා දුන්නේය.

මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා පසුගිය පාර්ලිමේන්තුව තේරීම් කාරක සභාවක් පත් කළ බවත්, එම කාරක සභාවේදී ඇතිකර ගත් එකඟත්වය මත පැරණි පනත බල ගැන්වීම සඳහා  දමිළ ජාතික සන්ධාන මන්ත්‍රී සුමන්තිරන් මහතා පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළ බවත් සාගර කාරියවසම් මහතා මෙහිදී සඳහන් කළේය.

“රටේ ඇති වුණ තත්ත්වයන් හේතුවෙන් ඒ යෝජනාව ඉදිරියට ගෙන යාමට නොහැකි වුණා” යැයි පෙන්වා දුන් ඔහු මෙසේ ද සඳහන් කළේය, “පළාත් සභා ක්‍රම හරිද – වැරදි ද කියලා කතා කළ යුතු නැහැ. දැන් මේක අපේ ව්‍යවස්ථාවේ කොටසක්. පළාත් සභා ක්‍රමය අපේ පරිපාලනයේ කොටසක් වෙලා ඉවරයි, ඒක ඉවත් කළ නොහැකි තරම් ගැඹුරට මුල් බැසගෙන තිබෙනවා. ඒ නිසා මේ ක්‍රමය එක්ක ඉදිරියට යා යුතුව තිබෙනවා. ඒක කරන්න නොහැකි නම් ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි. ඒ නිසා පළාත් සභා ඡන්දය පැවැත්වීම අනිවාර්යයි. ඒක පැවැත්විය යුතුමයි. ඉතා සුළු නීති සංශෝධනයකින් මේක කළ හැකියි. අපි මේ වෙනුවෙන් පක්ෂයක් ලෙස දැඩිව පෙනී සිටිනවා”.

ආණ්ඩුව දුන්න පොරොන්දුව කල් ඉකුත් වෙලා ඉවරයි

රෝහණ හෙට්ටිආරච්චි

විධායක අධ්‍යක්ෂථ පැෆරල් සංවිධානය

පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය බොහෝ විට පවත්වන ලද්දේ බලයේ සිටින රජයේ දේශපාලන අවශ්‍යතා මත බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දුන්නේය.

“මේ මොහොතෙත් ඒකද වෙන්නේ ?, කියන ප්‍රශ්නය අපට බරපතළ ලෙස තිබෙනවා. 2017 දී  පළාත් සභා ක්‍රමය සංශෝධනය වුණේ කොහොමද ? මොන අවශ්‍යතාව මත ද කියලා අපි කවුරුත් දන්නවා. ඒ වගේම ව්‍යවස්ථාදායකය තුළ මේ නීතිය අවාසනාවන්ත ලෙස අතරමං කිරීමක් සිදු වුණා. ඒ සීමා නිර්ණයට විරුද්ධ වුණ සැලකිය යුතු පිරිසක් ඒ වාර්තාව පවා නොදැක තමයි විරුද්ධ වුණේ. ඔවුන් ඒක කළේ දේශපාලනික වුවමනාවන් මත බවත් ඉතාම පැහැදිලියි. මේක අපිට කිසිම අවස්ථාවක අනුමත කළ හැකි තත්ත්වයක් නොවෙයි. ඉතාම පැහැදිලිව, අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ මැතිවරණය පැවැත්විය යුතුයි. ඒක තමයි රටේ නීතිය, ආණ්ඩුවක වගකීම වෙන්නේ රටේ මූලික නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීමයි. ජාතික ජන බලවේගය සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉතාම පැහැදිලිව කියලා තිබුණ වසරක කාලයක් තුළ පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය පවත්වනවා කියලා. පළාත් පාලන මැතිවරණය තිබ්බා. නමුත් පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ කාලය අවසන් වෙලා ඉවරයි.  නමුත් ඉතාම කෙටි සංශෝධනයකින් මැතිවරණය පවත්වන්න පුළුවන් කළ තිබෙනවා”යැයි රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුව තුළ හඬක් නගන්න විපක්ෂයට වැඩි වගකීමක් තිබෙනවා

මොහොමඩ් මනාස් කැෆේ සංවිධානය

පළාත් සභා මැතිවරණය 2012, 2013 සහ 2014 යන වර්ෂවලදී කඩින් කඩ පවත්වන ලද අතර එහි නිල කාලය 2017 සිට 2019 දක්වා කාලය තුළ අවසන් විය. 2017 සැප්තැම්බර් මස 26 වැනිදා සබරගමුව පළාත් සභාවේ නිල කාලය අවසන් වූ අතර, 2017 සැප්තැම්බර් මස 30 වැනිදා නැගෙනහිර පළාත් සභාවෙත්, 2019 අප්‍රේල් මස 21 වැනිදා බස්නාහිර පළාත් සභාවෙත් නිල කාලය අවසන් විය.

“පළාත් සභා මැතිවරණ වහාම පවත්වන ලෙස ඉල්ලා හඬක් නැගෙන්නේ නැති තරම් අඩුයි. පළාත් සභා සියල්ලේම නිල කාලය අවසන් වුණේ 2015-19 දක්වා පැවැති යහපාලන ආණ්ඩුව සමයෙයි. ඒ නිසා ඒ ආණ්ඩුවට සහ ආණ්ඩුවට සහාය දුන් පක්ෂවලට වගකීමක් තිබුණා මේ සම්බන්ධයෙන් පියවරක් ගන්න” යැයි මොහොමඩ්ෆේ මනාස් පෙන්වා දුන්නේය.

සීමා නිර්ණය ගැටලු හේතුවෙන් පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඉල්ලීමක් පවතින බව පෙන්වා දුන් ඔහු මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස රජයෙන් ලිඛිතව ඉල්ලා සිටීමට තම සංවිධානය පියවර ගත් බව ද සඳහන් කළේය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂ මන්ත්‍රීවරුන්ට මේ සම්බන්ධයෙන් කතා කිරීමට වගකීමක් තිබෙන බව අවධාරණය කළ ඔහු මේ සම්බන්ධයෙන් විපක්ෂයේ ස්ථාවරය ද පැහැදිලිව රටට හෙළි කළ යුතු බව අවධාරණය කළේය.

පළාත් සභා මැතිවරණය වෙනුවෙන් අපි දැඩිව පෙනී සිටිනවා

රංජිත් මද්දුම බණ්ඩාර

මහ ලේකම්, සමගි ජන බලවේගය

පසුගිය වසරක කාලය තුළ මැතිවරණ තුනකට මුහුණ දුන් බවත් එම කාලය තුළ පවා පළාත් සභා මැතිවරණ කඩිනමින් පැවැත්විය යුතු බව සමගි ජන බලවේගය ආණ්ඩුවට දැඩිව අවධාරණය කළ බවත් සමගි ජන බලවේගය මහ ලේකම්, රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.

පාසල්, රෝහල් සහ රාජ්‍ය සේවකියන්ගෙන් අති බහුතරය පළාත් සභා යටතේ කටයුතු කරන බව පෙන්වා දුන් ඔහු ජනාධිපතිවරයාගේ ඒකාධිපති පාලනය යටතේ තව දුරටත් පළාත් සභා පවත්වා ගෙන යාමට ඉඩ දිය නොහැකි බව ද දැඩිව අවධාරණය කළේය.

“පළාත් සභා පමණක් නොවෙයි, මැතිවරණ ක්‍රමය හකුලන තැනට වත්මන් ආණ්ඩුව පැමිණ තිබෙනවා. ආණ්ඩුව අධිකරණයට පවා ඇඟිලි ගසන තැනකට පැමිණ තිබෙනවා. පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වා ගැනීම වෙනුවෙන් ප්‍රධාන විපක්ෂය ලෙස අපි දැඩිව පෙනී සිටිනවා” යැයි සජබ මහ ලේකම්වරයා සඳහන් කළේය.

මනෝ ගනේෂණ්

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක

පළාත් සභා මැතිවරණය ඉල්ලා සිටින සියලු දෙනාම අවංකව පළාත් සභා ක්‍රමය වෙනුවෙන් පෙනී සිටිනේ ද ? යන්න ප්‍රශ්නකාරී බව මනේ ගනේෂණ් මන්ත්‍රීවරයා සඳහන් කළේය. පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම දමිළ ජනතාවගේ අපේක්ෂාව බව පැහැදිලි කළ ඔහු ආණ්ඩුවේ ඡන්ද පදනම අඩුවී ඇති ආකාරයට පෙන්වා දීමට විපක්ෂයට ද මෙය අවස්ථාවක් බව ද සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ මනෝ ගණේසණ් මන්ත්‍රීවරයා, “එවකට විපක්ෂය නියෝජනය කළ මා මිත්‍ර  අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා, මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කර තිබූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ දී පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට එකඟ වුණා. ඒ නිසා දුන්න පොරොන්දුව ඉටුකරන්න කියලා මම වත්මන් ජනාධිපති, එවකට විපක්ෂ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි එතුමා මට සහ සුමන්තිරන් මන්ත්‍රීතුමාට පුද්ගලිකව පොරොන්දු වුණා, පළාත් සභා ක්‍රමයට පක්ෂයක් ලෙස ප්‍රතිපත්තිමය විරුද්ධත්වයක් තිබුණත් ඒක දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුමක් නම් පළාත් සභා ක්‍රමයට විරුද්ධ වෙන්නේ නැහැ කියලා. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටනවා පළාත් සභා මැතිවරණය පවත්වලා දමිළ ජනතාවට පොරොන්දු ඉටුකරන්න කියලා”.

දැන් තමයි පළාත් සභා නියම සුදු අලියෙක් වෙලා තියෙන්නේ

 දයාසිරි ජයසේකර – පාර්ලිමේන්තු මන්ත්‍රී

පළාත් සභා මැතිවරණය පැවැත්වීම බාධාකාරීව පවතින නෛතික ගැටලු විසඳා ගැනීම සඳහා යෝජනාවක් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කළේය.

“ආණ්ඩුවම මේකට ආරම්භයක් නොදී අපි කොච්චර කතා කළත් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා කලින් තිබුණා වාගේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මේ වෙනුවෙන් පත්කර ගත යුතුයි කියලා අපි හිතනවා? යැයි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කළේය.

හිටපු වයඹ පළාත් මහ ඇමැතිවරයා ලෙස පළාත් සභා ක්‍රියාකාරීත්වය සහ වත්මන් පළාත් සභා ක්‍රියාකාරීත්වයේ අර්බුදය සහ ගැටලු දීර්ඝ ලෙස පැහැදිලි කළ මන්ත්‍රීවරයා පළාත් සභාවල ජනතා නියෝජිතයින්ගේ පාලනයක් නොවීම හේතුවෙන් ජනතාව මුහුණ දෙන දුෂ්කරතා සහ සංවර්ධන කටයුතු වල දී සිදුවන අකටයුතුකම් දීර්ඝ ලෙස පැහැදිලි කළේය.

“පළාත් සභා ක්‍රියාත්මක කරවා ගැනීම අපට වඩා අද ගම්වල ඉන්න මිනිස්සුන්ට වුවමනා වෙලා තිබෙනවා. මම මේක කියන කොට පුදුම වෙයි. නමුත් ඇත්ත තත්ත්වය ඒක තමයි. ගමක සාමාන්‍ය මිනිහෙකට පළාත් සභාවෙන් වැඩක් කර ගන්න නොහැකි තැනකට අද පළාත් සභාව තල්ලු වෙලා තිබෙනවා. ඒකට හේතුව තමයි නිලධාරී තන්ත්‍රය ඒක වහගෙන ඉන්නේ. වයඹ පළාත් සභාවේ වැඩ කරන්න 2025ට වෙන් කළ මුදල්වලින් 10%කවත් වැඩ මේ වන විට සිදුවෙලා නැහැ. මේකට හේතුව තමයි මන්ත්‍රීවරු නැහැ. ඒ වගේම තමයි ජනාධිපතිවරයාට වුවමනා විදිහට ළමයි අඩු පාසල් වහන්න බැහැ. ඒක පළාත් සභා සතු විෂයක්. ඒ වගේම තමයි, වෙන කාලවල පළාත් සභාවල ආණ්ඩුකාරයින් ලෙස පත් කළේ විශ්‍රාමික දේශපාලනඥයින්. නමුත් මේ ආණ්ඩුව සමහර පළාත් ආණ්ඩුකාරයින් ලෙස හිටපු විනිසුරුවරු පත්කරලා තිබෙනවා, ඔවුන්ට සාමාන්‍ය ජනතාව සමඟ කිසිම සම්බන්ධයක් නැහැ, මහජන දිනයක් නැහැ, මිනිසුන්ට වැඩක් කර ගන්න බැහැ. පළාත් සභා එකම අවුල් ජාලයක් වෙලා. නිලධාරීන් හිතුමතේ වැඩ කරනවා. නමුත් පළාත් සභා වල මන්ත්‍රීවරු හිටියනම් මේ තත්ත්වය උද්ගත වෙන්නේ නැහැ. ඔවුන් මේවට මැදිහත් වෙනවා. දැන් එහෙම  එකක් නැහැ. දැන් තමයි පළාත් සභා සුදු අලියෙක් වෙලා තියෙන්නේ” දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

-සටහන-

තුෂාල් විතානගේ

-MIDPOINT-

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 16
බෙදාගන්න