අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

නූපන් පරපුරට සෞභාග්‍යමත් රටක් දායාද කර දෙමු..!

නූපන් පරපුරට සෞභාග්‍යමත් රටක් දායාද කර දෙමු..!

ජාති-ආගම්-දේශපාලන භේද පසෙක තබමු..! සියලු දෙනා එක්සත්ව-එක් සිත්ව පෙරට ආ යුතුයි රටේත්-ජනතාවගේත් ප්‍රශ්නවලට ආණ්ඩුවට විසඳුම් නැහැ නූපන් පරපුරට නවීන සහ සෞභාග්‍යමත් රටක් දායාද කර දීම සඳහා සියලු ජාතීන් සහ…

ජාති-ආගම්-දේශපාලන භේද පසෙක තබමු..!

සියලු දෙනා එක්සත්ව-එක් සිත්ව පෙරට ආ යුතුයි 

රටේත්-ජනතාවගේත් ප්‍රශ්නවලට ආණ්ඩුවට විසඳුම් නැහැ   

නූපන් පරපුරට සෞභාග්‍යමත් රටක් දායාද කර දෙමු..!

නූපන් පරපුරට නවීන සහ සෞභාග්‍යමත් රටක් දායාද කර දීම සඳහා සියලු ජාතීන් සහ ආගමිකයින් සියලු භේද ඉවතලා සමගි සම්පන්නව, එක්සත්ව සහ එක් සිත්ව පෙරට ආ යුතු කාලය එළැඹ ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි. 

ආර්ථික, දේශපාලනික සහ සමාජීය වශයෙන් රට-ජනතාව මුහුණ දී සිටින අතිශය භයානක අනතුරෙන් රටත් ජනතාවත් බේරා ගැනීම සඳහා ආණ්ඩුවට කිසිදු වැඩ පිළිවෙළක් නොමැති බව ද කරු ජයසූරිය මහතා පෙන්වා දෙයි. 

දැන්වීම

දේශබන්දු කරු ජයසූරිය මහතා මේ අදහස් පළ කළේ, "යහපත් රටක් උදෙසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්" යන තේමාව යටතේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සහ ජාතික ආගමික සංහිඳියාව සඳහා වූ ජාතික එකමුතුව එක්ව සංවිධානය කරනු ලැබූ කුරුණෑගල දිස්ත්‍රික් සමුළුවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කියා සිටියේය. 

වයඹ පළාත නියෝජනය කරමින් මහා සංඝ රත්නය ප්‍රධාන කතෝලික, ක්‍රිස්තියානි, මුස්ලිම් සහ හින්දු ආගමික නායකයින් ද, සිවිල් සමාජ ක්‍රියාකාරීන් ද, ප්‍රභූන් ද ඇතුළු සම්භාවනීය නියෝජිත පිරිසක් මෙහි රැස්ව සිටීම අපට විශාල ශක්තියක් සහ ගෞරවයක් බව කිව යුතුයි. 

මෙම සමුළුව පැවැත් වෙන්නේ රජයට විරුද්ධව හෝ ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට හෝ ජනතාව උසි ගැන්වීමේ පරමාර්ථයෙන් නොවේ. අපගේ එකම උදාර පරමාර්ථය වන්නේ මේ රටේ ජාතික ආගමික සහ දේශපාලන සමගිය ඇති කර අද අප පත්ව ඇති මහා විපතින් රටත් ජනතාවත් බේරා ගැනීමයි. රට අභ්‍යන්තරයේ ජාතික-ආගමික සමගියක් සහ ජාතික ප්‍රතිපත්තිමය එකඟත්වයක් නොමැතිව අපට කිසිම ආකාරයකින් ගොඩ ඒමට හැකියාවක් ඇත්තේ නැහැ. 

ආර්ථිකයේ මහා බිඳ වැටීමට අමතරව "ඕමික්‍රෝන්" වෛරසය ද තදින් ප්‍රචලිත වීම අපට මුහුණ දීමට සිදු වන තවත් අති භයංකර තත්ත්වයක් වනවා. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ අපි විශාල වශයෙන් කම්පා වී සිටින්නේ මේ තරම් විනාශකාරී තත්ත්වයක් රටේ ඇතිවී ඇතත්, එහි ආදීනව රට කර වන අයත්, පොදුවේ ජනතාවත් තවමත් තේරුම් නොගෙන සිටීමයි.

වයඹ පළාතේ සැලකිය යුතු මුස්ලිම් ප්‍රජාවක් ද ද්‍රවිඩ ජනතාවක්ද ජීවත් වනවා. මේ සෑම කොට්ඨාශයක් ම ඉතා සමගියෙන් ජීවත් වුණත්, දේශපාලන බලපෑම් මත මේ ජන කොටස් අතර වෛරය, ක්‍රෝධය සහ අසමගිය පැතිර වීමේ උත්සාහයක් ද අප දුටුවා. පටු පරමාර්ථයෙන් සිදු වන ක්‍රියා නිසා රටට විශාල හානියක් සිදු වෙනවා. සිංහල කතෝලික, ක්‍රිස්තියානි සහ බෞද්ධ ජනතාව අතරත් පාස්කු සිද්ධිය නිසා දැඩි සිත් රිදවීමක් ඇති වී තිබෙනවා. මේ ප්‍රශ්නය වහා විස ඳිය යුතුයි. අධිකරණය පවා අපක්ෂපාතීව ක්‍රියා කර පරීක්ෂණ ඉක්මනින් ඉවර කරන ලෙස පොලීසියට උපදෙස් දී තිබෙනවා. මෙවැනි ප්‍රශ්න අන්තර්ජාතිකව ප්‍රචාරය වුණොත් එම තත්ත්වය අප රටේත් ජනතාවගේත් කීර්ති නාමයට ඉතාම හානි කරයි.

අපි අද වයඹ තෝරා ගත්තේ ඒ ආදර්ශමත් සමගිය වයඹින් පෙන්වීමේ අදහස මුල් මුල් කර ගෙනයි. වයඹ පළාතේ ජීවත් වන්නේ සාමකාමී බුද්ධිමත් ජනතාවක් බව කිව යුතුයි. රටේ ප්‍රශ්න විසඳීම සඳහා ජාතික සහ ආගමික සමගිය සේම ජාතික එකගතාවය ඉතාමත්ම අවශ්‍යයි. මෙහිදී පක්ෂ පාට භේද තිබෙන්නට බැහැ. අප සියලු දෙනා එක්වී මේ තත්ත්වය පාලනය කළ යුතුයි.

විදේශ මුදල් හිඟය, ඩීසල් හිඟය, ආහාර ද්‍රව්‍ය හිඟය, ගෑස් හිඟය සහ කිරිපිටි හිඟය වහා විසඳිය යුතු දැවෙන ප්‍රශ්න බව කිව යුතුයි. අවාසනාවකට විදුලි කප්පාදුවක් ඇති වුණොත් එම තත්ත්වය එදිනෙදා ජන ජීවිතයට තදින්ම බලපානවා. එමෙන්ම සෞඛ්‍ය සේවයට, ජල සැපයුමට, නිෂ්පාදනයට සහ ජාතික ආරක්ෂාවට එමගින් දැඩි ගැටලු ඇති වේවි. මෙම භයානක තත්ත්වය විසඳීම සඳහා රජයේ පාර්ශ්වයෙන් ස්ථීර යෝජනා අප දැක නැහැ. ආණ්ඩු පාර්ෂවය සහ විපක්ෂ පාර්ෂවය අතර සාකච්ඡා ඇතිවී නැහැ. ඇමතිවරුන් අතර වාද විවාද ඇති වෙනවා වෙනුවට රජය සහ මුදල් අමාත්‍යවරයා මෙහිදී මූලිකත්වය ගත යුතුයි. ගැටලුව ඇති වුණාට පසු විසඳීම ලේසි වන්නේ නැහැ. ඒ යතාර්ථය තේරුම් ගත යුතුයි. 

රටකට ජාතිය එකමුතු කළ හැකි ව්‍යවස්ථාවක් අවශ්‍යයි. සෑම ජන කොටසකටම ආත්ම ගරුත්වයෙන් යුතුව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය විය යුතුයි. එම නිසා රටට පොරොන්දු වූ ආකාරයට ජනතාව සහ පාර්ලිමේන්තුව මගින් සකස් කෙරෙන නව ව්‍යවස්ථාවක් එළිදැක්වීමට ගරු ජනාධිපතිතුමා වහාම ක්‍රියා කළ යුතුයි. එතුමා පොරොන්දු වූ කාලය ඉක්මවා ගොස් ඇති අතර එමනිසා ඒ සඳහා තවත් කල් නොගත යුතුයි.

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සුරකින රටක් වශයෙන් ලෝකයාගේ ගෞරවය අප උපයා ගත යුතුයි. ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගත යුතුයි. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා ප්‍රජාතන්ත්‍රවාදයට විශාල හානියක් සහ විනාශයක් සිදු වුණා. එම වරද වහා නිවැරදි කළ යුතුයි. අප ආරාධනයෙන් මෙහි පැමිණ සිටින ඔබ සියලු දෙනාගෙන් අප ආයාචනය කර සිටින්නේ කිසිම ආකාරයකින් ජාති, ආගම් හෝ වෙනත් ගැටුම් ඇති වීමට ඉඩ නොදෙන ලෙසයි. අපි සමගි වෙමු..! එකමුතු වෙමු..! නූපන් පරපුරට නවීන සෞභාග්‍යමත් රටක් ලබා දෙමු..!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
නූපන් පරපුරට සෞභාග්‍යමත් රටක් දායාද කර දෙමු..! | Lanka Newsweek