නිදහස් මාධ්‍ය වනසන ආණ්ඩුවේ දුර්දාන්ත සැලසුම පරදවමු

යුක්ති ගරුක ජනතාව පෙරට ආ යුතුයි සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සීරුවෙන් සිටිය යුතුයි "සිරසට" අත නොතබනු (සුජිත් මංගල ද සිල්වා) නිදහස් ජනමාධ්‍ය විනාශ කිරීමේ අරමුණින් ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට සූදානම් වන…
යුක්ති ගරුක ජනතාව පෙරට ආ යුතුයි
සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සීරුවෙන් සිටිය යුතුයි
"සිරසට" අත නොතබනු

(සුජිත් මංගල ද සිල්වා)
නිදහස් ජනමාධ්‍ය විනාශ කිරීමේ අරමුණින් ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට සූදානම් වන දුර්දාන්ත සැලසුම පරාජය කිරීම සඳහා යුක්ති ගරුක ජනතාව සහ සියලුම ප්‍රජාතන්ත්‍රවාදී බලවේග වහාම පෙරට ආ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
ජනතාවගේ කතා කිරීමේ නිදහසද ඇතුළුව තොරතුරු දැන ගැනීමේ අයිතිය මූලික කර ගත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් විනාශ කිරීම උදෙසා මේ වන විට සැලසුම් කරමින් සිටින්නේ යැයි කියන නිර්ලජ්ජිත සූදානම පිළිබඳව බරපතළ ලෙස අවධානය යොමු කර සිටින සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය එවැනි ඕනෑම උත්සාහයක් පරාජය කිරීම සඳහා අධිෂ්ඨානශීලීව පෙරට එන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.
දැන්වීම
ජනමාධ්‍ය නිදහස යනු රටේ ජානතාවට ඇති අදහස් පළ කිරීමේ නිදහසයි, තොරතුරු දැන ගැනීමට ඇති අයිතියයි. බියකින් හෝ සැකයකින් තොරව ජනමාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍ය ආයතනවලට සිය කටයුතු ඉටු කිරීමට ඇති අයිතියයි. අතීතයේදී එම අයිතීන් අහිමි කර ඇත්තේ අශිෂ්ට පාලන තන්ත්‍රයන් විසිනි. ඒකාධිපති සහ අත්තනෝමතික පාලකයන් විසිනි. එහෙත් ඒ සෑම උත්සාහයක්ම ලොව පුරා සිටින ශිෂ්ට සම්පන්න ජනතාව විසින් අවසානයේදී පරාජයට පත් කර තිබේ. මේ රටේ ජනමාධ්‍ය මර්දනය කිරීම සඳහා සූදානම් වන කවර හෝ මට්ටමක බලවතෙකු වුවද ඒ බව ප්‍රථමයෙන්ම තේරුම් ගත යුතුව තිබේ.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මෙම කරුණ අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාවේ ගරු විපක්ෂ නායක තුමා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා ඉතාමත්ම වගකීමකින් යුක්තව හෙළි කරන ලද කරුණු සැලකිල්ලට ගෙනය. ඔවුන් එම ප්‍රකාශ සිදු කරන ලද්දේ රටේ පාර්ලිමේන්තුව හමුවේය. ඒ අනුව "සිරස" මාධ්‍ය ආයතනය දුර්මුඛ කිරීමට, අවහිර කිරීමට, තහනම් කිරීමට හෝ විනාශ කිරීමට යම් දුර්දාන්ත ක්‍රියා මාර්ගයක් දියත් වෙමින් පවතින බව පැහැදිලි වෙයි.
එවැන්නක් සිදුවේ නම් එම ක්‍රියාවලිය සැලකිය හැක්කේ අතිශය දුෂ්ඨ සහ සාපරාධී ක්‍රියාවක් ලෙසටය. ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි දුර්දාන්ත ක්‍රියා මාර්ගයක් ලෙසටය. ජනතාවට අවම හෝ ගරුත්වයක් ඇති ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන කිසිදු පාලනයක් වෙතින් හෝ එවැනි තත්ත්වයක් බලාපොරොත්තු විය නොහැකිය.
අප මේ පිළිබඳව වඩාත්ම තැති ගන්නේ මේ රටේ පැවැති අඳුරු අතීතය කිසිසේත්ම අමතක කළ නොහැකි හෙයිනි. අප ගෙවා ඇත්තේ ඉතාමත්ම අඳුරු වූ අතීත කාල පරිච්ඡේදයකි. ජනමාධ්‍යවේදීන් අමු අමුවේම මහ දවාලේ මරා දමා ඇති යුගයක් අප පසු කර තිබේ. "සිරස" ආයතනයට "ක්ලේමෝ" බෝම්බ අටවා සංවිධානාත්මක ලෙස විනාශ කරන ලද අතීතයක් අප පසු කර තිබේ. සියත, සන්ඩේ ලීඩර්, ලංකා ඊ නිවුස් වැනි ආයතන විනාශ කිරීමට ගනු ලැබූ බිහිසුණු උත්සාහයන් කිසිවෙකු හෝ අමතක කළ යුතු නැත. ජනමාධ්‍යවේදින්ට අමානුෂික ප්‍රහාරයන් එල්ල කරමින් සිදු කරන ලද නින්දිත ක්‍රියා මාර්ග අද වන විට ලෝකයටම රහසක් නොවේ.
එවැනි අති බිහිසුණු අතීතයක් හිමි අප රට නැවත එවැනි යුගයකට රැගෙන යාම සඳහා කවරෙක් හෝ උත්සාහ කරන්නේ නම් එම උත්සාහය ආරම්භයේදීම පරාජයට පත් කිරීමේ වගකීම ඇත්තේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ටය. ඒ අනුව සියලුම භේද අමතක කරමින් සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එක්සත්ව පෙරට ආ යුතුව තිබේ.
ඒ සමගම ජනතාවගේ ප්‍රශ්න සහ දුක් ගැනවිලි වෙනුවෙන් පෙනී සිටින දේශපාලන ක්‍රියාධරයන් අත්අඩංගුවට ගනිමින් සිටින ප්‍රවණතාවයක් ද මේ වන විට නිර්මාණය වී ඇත. ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන ක්‍රියාධරයන් අත්අඩංගුවට ගෙන තිබීම පිළිබඳවද අප බලවත් අවධානයක් යොමු කළ යුතුව ඇත. එම සිදුවීම් සැලකිය හැක්කේ මේ රටේ නීතිය අවභාවිතා කරමින් ජනතාවගේ හඬ මර්දනය කිරීම සඳහා ගනිමින් සිටින දුර්දාන්ත උත්සාහයන් ලෙසටය.
ඒ අනුව අප මේ රටේ යුක්ති ගරුක ජනතාවගෙන් සහ ප්‍රජාතන්ත්‍රවාදී සියලුම බලවේගයන්ගෙන් ඉල්ලා සිටින්නේ රට වෙළා ගනිමින් මතු වෙමින් පවතින මෙවැනි බිහිසුණු අඳුරු වළාවන් පළවා හැරීම සඳහා පෙරට එන ලෙසටය. කොන්දේසි විරහිතව අත්වැල් බැඳ ගන්නා ලෙසටය.