නැන්දම්මා ඝාතනය කළ බෑණා සිය දිවි නසා ගෙන
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

(ජයකාන්ත ලියනගේ) ඇල්පිටිය විජය මාවතේ නිවසක් තුල ඝාතනය කරන ලද නැන්දම්මාගේ සහ සියදිවි නසාගත් බෑණාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඇල්පිටිය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී චමිල් ආරියරත්න මහතා…
(ජයකාන්ත ලියනගේ)
ඇල්පිටිය විජය මාවතේ නිවසක් තුල ඝාතනය කරන ලද නැන්දම්මාගේ සහ සියදිවි නසාගත් බෑණාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඇල්පිටිය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී චමිල් ආරියරත්න මහතා විසින් අද (25) දහවල් හා සවස ඇල්පිටිය මූලික රෝහලේදී පවත්වන ලදී.
ඝාතනයට ලක් වූ කාන්තාවගේ මරණය හෘදයාබාධයක්ද ඇති අයෙකුට තදින් පහර දීම හේතුවෙන් පපුවේ දකුණු පස ඉල ඇට 09 ක් සහ වම්පස ඉලඇට 07 ක් කැඩී යෑම හේතුවෙන් ඇති වූ සංකූලතා හේතුවෙන් සිදුව ඇති බවත් සියදිවි නසාගත් අයගේ මරණය ගෙල වැලලාගැනීමේන් හුස්ම හිර විමේන් සිදුව ඇති බවත් වෛද්‍ය වාර්තාවේ දක්වා තිබේ.
මෙසේ ඝාතනය කර ඇත්තේ නො. 24, විජය මාවත, ඇල්පිටිය ලිපිනයේ පදිංචිව සිටි වරාහේන ලියනගේ ලීලාවතී (85) නැමැති කාන්තාවයි. සියදිවි නසාගෙන ඇත්තේ ඝාතනයට ලක් වූ කාන්තාවගේ බෑණා වන එම ලිපිනයේම පදිංචි ජගත් කීර්ති අබේසේකර (45) නැමැති අයයි. මෙම ඝාතනයන් ඊයේ (24) සවස සිදුව තිබේ.
ඝාතනයට ලක් වූ කාන්තාවගේ මෘතදේහය ඇයගේ දියණිය මෙන්ම සියදිවි නසාගත් අයගේ බිරිය වන නො. 24, විජය මාවත, ඇල්පිටිය ලිපිනයේ පදිංචි බෝපේ ආරච්චිගේ චම්පා හර්ෂණී (43) මහත්මියට බාරදුන් අතර සියදිවි නසාගත් බෑණාගේ මෘතදේහය ඔහුගේ මව වන කුසල්කන්දවත්ත, අම්පේගම ලිපිනයේ පදිංචි උඩුගම කෝරලලාගේ සෝමවතී (75) මහත්මිය බාරදෙන ලදී.
බෑණා විසින් සියදිවි නසා ගැනීමට ප්‍රථම ඒ සම්බන්ධයෙන් ලිපියක් ලියා ඇති අතර නැන්දම්මාගේ මරණය අත් වැරදීමකින් සිදු වූවක් බව එහි සදහන් කර ඇත. දිගු කාලීනව නැන්දම්මා සමග ආරවුල් තිබූ බවත් සිය පවුලේ සමගියට නිතර නිතර නැන්දම්මා නිසා බාධා එල්ල වූ බවත් එම ලිපියේ සදහන් කර තිබේ. නැන්දම්මාට එම අවස්ථාවේ ඇති වූ කෝපය නිසා පහර දුන් බවත් ඝාතනය කිරීමේ චේතනාවකින් පහර නොදුන් බවත් ඝාතනය සම්බන්ධයෙන් සමාව ලබාදෙන ලෙසත් එම ලිපියෙන් සියදිවි නසාගත් අය ඉල්ලා තිබූ බවත් ඇල්පිටිය පොලීසිය කියයි.
නැන්දම්මා ඝාතනයෙන් ස්වල්ප වේලාවකට පසු එම නිවසේම වෙනත් කාමරයක බාල්කයක එල්ලී බෑණා සියදිවි නසාගෙන තිබේ. 119 පොලිස් හදිසි දුරකතන ඇමතුම් අංකයට ලැබුණ තොරතුරක් මත සවස 2.10 ට පමණ ඇල්පිටිය පොලීසිය මගින් මෘත දේහයන් සොයාගෙන තිබේ.
ඝාතනයට ලක් වූ කාන්තාව අවිවාහක විශ්‍රාමික පාසැල් ගුරුවරියකි. ඇය පසුකාලීනව දියණියක් හදාවඩාගෙන තිබේ. දියණියගේ කල වයස එලඹීමත් සමග ඇය, සිය හිතවත් වෙනත් පාසැල් ගුරුවරියකගේ පුතෙකුට විවාහ කර දී තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.
නැන්දම්මා ඝාතනය කරන ලද බෑණා තදින් මත්පැන් වලට ඇබ්බැහි වූ අයෙකු බවද ඇල්පිටිය පොලීසිය කියයි. නැන්දම්මාගේ විශ්‍රාම වැටුපෙන් වැඩි කොටසක් බෑණා මත්පැන් පානය සදහා බලහත්කාරයෙන් ලබා ගන්නා බවත් දෙදෙනා අතර කලක පටන් ආරවුල් ඇති වී තිබෙන බවත් ඇල්පිටිය පොලීසිය කියයි. ඝාතනයට ලක් වූ කාන්තාව, සිය දියණිය, ඇයගේ ස්වාමි පුරුෂයා වන සියදිවි නසාගත් බෑණා ඇතුළු පවුලේ අය එකම නිවසක ජීවත්වන බවද ඇල්පිටිය පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
පෙරේදා (24) පෙරවරුවේද නැන්දම්මා හා බෑණා අතර ජංගම දුරකතනයක් සම්බන්ධයෙන් ආරවුලක් ඇති වී තිබේ. බෑණාගේ ජංගම දුරකතනය අස්ථාන ගතවීමක් සම්බන්ධයෙන් මෙම ආරවුල ඇතිව තිබෙන අතර බෑණා විසින් වරින් වර නැන්දම්මාට පහර දෙමින් දුරකතනය සම්බන්ධයෙන් විමසා ඇත. එසේ සිය බෑණාගෙන් පහර කෑමෙන් පසු නැන්දම්මා නිවසේ ඇද උඩම මියගොස් ඇති බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. නැන්දම්මා මිය යෑමෙන් පසු එම නිවසේම වෙනත් කාමරයක බාල්කයක කබයකින් එල්ලී බෑණාද සියදිවි නසාගෙන තිබූ බව ඇල්පිටිය පොලීසිය කියයි.
ඇල්පිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂක අජිත් ප්‍රසන්න මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් නිහාල් (13723) සහ පොලිස් කොස්තාපල් පැරකුම් (56841) ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2