අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

“නව තාක්ෂණ පීඨ 11ක්-දෙපාර්තමේන්තු 35ක් ඇරඹුවා”

‘‘සබරගමුව නව වෛද්‍ය පීඨයට සිසුන් බඳවා ගැනීම 2018 සිට ’’

අමතර ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙදහසකට විශ්ව විද්‍යාල වරම්..! කලා පීඨවලට වඩා වැඩි පිරිසක් තාක්ෂණ පීඨවලට (උපුල් බණ්ඩාර) විශ්ව විද්‍යාලවල මෙතෙක් නොතිබුණු තාක්ෂණ පීඨ 11ක් සහ දෙපාර්තමේන්තු 35ක් රජය මේ වන විටත්…

අමතර ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙදහසකට විශ්ව විද්‍යාල වරම්..!

කලා පීඨවලට වඩා වැඩි පිරිසක් තාක්ෂණ පීඨවලට

(උපුල් බණ්ඩාර)

විශ්ව විද්‍යාලවල මෙතෙක් නොතිබුණු තාක්ෂණ පීඨ 11ක්  සහ දෙපාර්තමේන්තු 35ක් රජය මේ වන විටත්  ආරම්භ කර ඇතැයි  සභා නායක,උසස් අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හෙළි කළේය.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා  මේ බව පැවසුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පැවති ජන හමු මාලාවකදීය.

දැන්වීම

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ ද කීය.

යහපාලන රජය බලයට පත්වීමෙන් අනතුරුව මෙතෙක් විශ්ව විද්‍යාලවල නොතිබුණු තාක්ෂණ පීඨ 11ක් සහ දෙපාර්තමේන්තු 35ක් ආරම්භ කර තිබෙනවා. ඒ ඔස්සේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙදහසකට  අධික පිරිසකට තාක්ෂණ අංශයෙන් උසස් අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව හිමි වනවා.

ඒ අනුව තවත් වසර 5ක් ඇතුළත මෙලෙස තාක්ෂණ පීඨවලට ඇතුළත් වන සිසු සිසුවියන්  ප‍්‍රමාණය කලා පීඨවලට ඇතුළත් වන  ප‍්‍රමාණයද අභිභවා යනවා. රජයේ අභිප‍්‍රාය තමයි රටේත් ලෝකයේත්  අවශ්‍යතාව අනුව දැනුමින් පිරිපුන් උපාධිධාරීන් බිහි කිරීම.විශ්වවිද්‍යාලවලින් අද  පිට වන සමහර දූ දරුවන්ට රැකියා වෙළඳ පොලේ රැකියා අවස්ථා නැහැ. රැකියා වෙළඳ පොලට සරිලන ලෙස විශ්ව විද්‍යාල අධ්‍යාපනය පුළුල් කළ  යුතුයි.

වර්තමානය වන විට ලෝකය පුරාම තාක්ෂණය අතින් ලොකු පිපාසයක් අති වී තිබෙනවා.ඉදිරි වසර කිහිපය ඇතුළතදී විදේශ රටවල් ගණනාවක සහාය ගෙන රටේ ප‍්‍රදේශ ගණනාවක් දියුණු කරන්න රජය  බලාපොරොත්තු වෙනවා.කර්මාන්ත ශාලා බිහි කරමින් නව   රැකියා අවස්ථා ඇති කිරීම  රජයේ එකම අරමුණයි. මේ  සියල්ල සාර්ථක කර ගැනීමට නම් තාක්ෂණික දැනුමක් තියෙන තරුණ පරම්පරාවක් රටට අවශ්‍යයි. මේ තාක්ෂණික දැනුම ලබාදෙන ආයතනවලින් පිට වෙන පිරිසෙන් 90% ඉක්මවූ පිරිසකට අනිවාර්යයෙන්ම රැකියාවක් ලැබෙනවා.

ඒ නිසා අපේ රජය නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන්න කැප වෙලා ඉන්නවා.එනමුත් අවස්ථාවාදී  සමහරු කියනවා අප නිදහස් අධ්‍යාපනය විනාශ කරමින්  පෞද්ගලික අංශයට දෙන්න යනවා කියලා.නිදහස් අධ්‍යාපනය ආරම්භ කළේ එක්සත් ජාතික පක්ෂය.එමනිසා නිදහස් අධ්‍යාපනයේ  වටිනාකම කිසිවකුට වඩා දන්නේ අපියි. නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන අතරම මේ වන විට ලෝකයම පිළි ගෙන ඇති ආකාරයට රාජ්‍ය අධ්‍යාපනයත් පෞද්ගලික අධ්‍යාපනයත් සමාන්තරව ඉදරියට රැගෙන යනවා.

ශ‍්‍රී ලංකාවේ පිහිටීම ගැන බලලා විශාල ආකර්ශනයක් ජාත්‍යන්තරයෙන් ශ‍්‍රී ලංකාවට ලැබිලා තිබෙනවා. අපේ විශ්වවිද්‍යාලවලට ජාත්‍යන්තර ශිෂ්‍ය ශිෂ්‍යාවන් 5 %ක්  බඳවා ගන්නා ලෙස දැනුම් දී තිබුණත් අද සමහර විශ්ව විද්‍යාලවල එම නිර්දේශ  ක‍්‍රියාත්මක වෙන්නේ නැහැ. ජාත්‍යන්තර ශිෂ්‍ය ශිෂ්‍යාවන්  අපේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපන කටයුතු කරන විට  ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමය ජාත්‍යන්තරය දැනගන්නවා.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
“නව තාක්ෂණ පීඨ 11ක්-දෙපාර්තමේන්තු 35ක් ඇරඹුවා” | Lanka Newsweek