ධීවර සංස්ථා අලෙවි සැල් 55ක් ගැන චෝදනා- හිටපු සභාපතිට ඇප-කොන්දේසි සපුරා ගත නොහැකිව යළි රිමාන්ඩ්

ලංකා ධීවර සංස්ථාවේ දීප ව්‍යාප්ත අලෙවි සැල් 55ක ඉදිකිරීමේ කටයුතු නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව සමාගම් දෙකකට දීමෙන් රජයට පාඩු කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම සංස්ථාවේ හිටපු…
ලංකා ධීවර සංස්ථාවේ දීප ව්‍යාප්ත අලෙවි සැල් 55ක ඉදිකිරීමේ කටයුතු නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව සමාගම් දෙකකට දීමෙන් රජයට පාඩු කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම සංස්ථාවේ හිටපු සභාපති මහිල් ප්‍රියදර්ශී සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා නියෝග කළේය.
සැකකරුට රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා ඔහුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස ද සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙසද නියෝග කළේය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම කියා සිටියේ, 2010-2012 කාලසීමාවේ දී දිවයින පුරා මසුන් අලෙවි සැල් ඉදිකිරීමේදී සහ අලුත්වැඩියා කිරීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකර සෘජුවම තෝරා ගත් ආයතන දෙකක් වෙත ඉදිකිරීම් සහ අලුත්වැඩියා කටයුතු ලබාදීමෙන් සහ එම ආයතන දෙකට ගෙවීම් කිරීම සඳහා නිලධාරීන් වෙත බලපෑම් කර ගෙවීමට සැලැස්වීම මගින් දූෂණය නමැති වරද සිදු කළ බවට සැකකරුට චෝදනා එල්ල වී ඇති බවයි.
දැන්වීම
සිද්ධියට අදාළව ප්‍රධාන කොන්ත්‍රාත්කරුවන් දෙදෙනාගෙන් සහ තවත් සාක්ෂිකරුවන් දස දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට තිබෙන බවද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය. එහිදී පැමිණිල්ලට ප්‍රශ්නයක් යොමු කළ මහේස්ත්‍රාත්වරයා ප්‍රධාන සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් නොකර හදිසියේම සැකකරු අත්අඩංගුවට ගැනීමට හේතුවක් තිබේදැයි විමසා සිටියේය.
ඊට පිළිතුරු ලබාදුන් අල්ලස් කොමිසම, ප්‍රධාන කොන්ත්‍රාත්කරුවන් දෙදෙනා අසනීප තත්ත්වයේ සිටි බැවින් ප්‍රකාශ සටහන් කර ගැනීමට නොහැකි වූ බවත්, එම නිසා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් ඉල්ලා සිටියේය. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පාලිත සුභසිංහ මහතා කරුණු දක්වමින් අදාළ විමර්ශනයට මුල සිටම සහය දක්වා ඇති සැකකරු ඕනෑම කොන්දේසියක් යටතේ ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියේය.
“මගේ සේවාදායකයා මෙහි සභාපති වන්නේ 2010 වර්ෂයේදීය. ඒ වන විට ලංකා ධීවර සංස්ථාවට ETF සහ EPF ගෙවා ගන්න විදිහක් නැහැ. සැකකරු මේ තත්ත්වය නැති කරලා ලාභ ලබන තත්ත්වයට ධීවර සංස්ථාව පත් කළා.
මේ අලෙවිසල් ජාලය ඇති කළේ ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන පහක සහ ලංකා බැංකුවෙන් රුපියල් මිලියන සියයක ණයක් ලබා ගෙන. සැකකරු වැරදිකරුද නැද්ද කියලා තීරණය කළ යුත්තේ නඩු විභාගයකින්. එම නිසා මේ අවස්ථාවේදී ඇප පනතේ 14 වගන්තිය ප්‍රකාරව ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.
ඒ වගේම මගේ සේවාදායකයා දරුණු රෝග කිහිපයකින් පෙළෙන අයෙක්. ඔහු ජීවත් වන්නේ එක වකුගඩුවකින්. ඊට අමතරව ඔහුට විනාඩි කිහිපයක්වත් නැගිටලා ඉන්න බැහැ. කොඳු ඇට පෙළ දුර්වල වෙලා. මේ සියලු කරුණු සලකා බලා 2010 වර්ෂයේ සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. ඕනෑම වෙලාවක අල්ලස් කොමිසමේ විමර්ශනවලට සහාය දෙන්න අපි සූදානම්.”
දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඇප ලබා නොදීමට තරම් ප්‍රබල හේතුවක් පැමිණිල්ල මගින් ඉදිරිපත් කර නොමැති බැවින් ඇප ලබාදෙන බවට තීරණය කළේය.විමර්ශන ප්‍රගතිය නොවැම්බර් හය වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළේය.