අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දේශබන්දු අධිකරණයට භාර වෙයි

දේශබන්දු අධිකරණයට භාර වෙයි

නීතිඥවරු 50ක් කොළඹ සිට මාතරට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (මාර්තු 19) පෙරවරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර විය. ඔහුට වහාම අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තු…

නීතිඥවරු 50ක් කොළඹ සිට මාතරට

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (මාර්තු 19) පෙරවරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර විය. ඔහුට වහාම අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තු නිකුත් කර දින 19ක් ගතව ඇති පසුබිමක ඔහු සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට පැමිණ තිබේ.

දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටීමට ජනාධිපති නීතිඥවරු ඇතුළු ජ්‍යේෂ්ඨ නීතිඥවරුන් 50කට ආසන්න සංඛ්‍යාවක් කොළඹ සිට මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ සිටිති. පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ තෙන්නකෝන් මහතා මේ වන විට අධිකරණ සංකීර්ණයේ අසුන්ගෙන සිටින අතර, ඔහුගේ නඩුව අද දහවල් 02:00ට විභාගයට ගැනීමට නියමිතය.

මාතර - වැලිගම ප්‍රදේශයේ පිහිටි "W15" හෝටලයට 2023 වසරේදී වෙඩි ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය පෙරේදා (මාර්තු 17) රුපියල් 150,000ක නඩු ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කළේය. ඒ අනුව, දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඬුල්ල පොලිස්පතිවරයා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නියම කළේය.

දැන්වීම

පෙත්සම්කරුට අධිකරණය මගහැර සැඟවී සිටීම සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයින් පිළිබඳව විමර්ශන කර නීතිමය පියවර ගන්නා ලෙස ද විනිසුරු මඬුල්ල මාතර මහේස්ත්‍රාත්වරයාට වැඩිදුරටත් නියෝග කළේය.

දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සම ඉකුත් 17 වනදා අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ විභාග කරමින් සඳහන් කළේ 'ඔහු සාමාන්‍ය පුරවැසියෙකු නොවන බවත්, රටේ පොලිස්පතිවරයා බවයි. එවන් පුද්ගලයෙකු නීතියට පටහැනිව කටයුතු කිරීම දැඩි දෝෂසහිත බවයි'.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුරා දින 19ක කාලයක් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් පැවැත්වුණු අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 15ක් දේශබන්දු සොයා රට පුරා මෙහෙයුම් දියත් කළහ.

(තෙයස ලහිරු - බුත්තල)

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
දේශබන්දු අධිකරණයට භාර වෙයි | Lanka Newsweek