අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දේශපාලන පළිගැනීම් සහ ඇඟිලි ගැසීම් තදින් සිදු වෙනවා

දේශපාලන පළිගැනීම් සහ ඇඟිලි ගැසීම් තදින් සිදු වෙනවා

ජනපති ජගත් ලේකම්වරයාට පොරොන්දු වූ කිසිවක් ක්‍රියාත්මක කර නැහැ මිනීමරුවන් නිදහස් කරන අතරේ කලාකරුවෙක් තවමත් සිරභාරයේ ප්‍රශ්න විසඳා ගුරු ගෞරවය රකිනු ගොවි ජීවිත සමග සෙල්ලම් කිරීම වහා නවතනු බලාපොරොත්තු…


ජනපති ජගත් ලේකම්වරයාට පොරොන්දු වූ කිසිවක් ක්‍රියාත්මක කර නැහැ 


මිනීමරුවන් නිදහස් කරන අතරේ කලාකරුවෙක් තවමත් සිරභාරයේ 


ප්‍රශ්න විසඳා ගුරු ගෞරවය රකිනු 

ගොවි ජීවිත සමග සෙල්ලම් කිරීම වහා නවතනු


බලාපොරොත්තු සුන් කරගත් තරුණ පරපුර වීසා පෝලිමේ 

රටටත් ජනතාවටත් බලපාන, රටේ මේ වන විටත් උද්ගත වී ඇති ප්‍රශ්න සහ වැදගත් කරුණු කිහිපයක් ගැන බලධාරීන්ගේ අවධානය යොමු කරමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසුරිය මහතා විසින් බ්‍රහස්පතින්දා(28) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඇත.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසුරිය මහතා විසින් එම මාධ්‍ය සාකච්ඡාවේදී මෙලෙස අදහස්  දැක්වීය.

කෝවිඩ් වසංගතය මැඩලීම සඳහා දියත් කෙරෙන එන්නත්කරණය ඉතා සාර්ථක ව සිදුකෙරෙන ආකාරය අපි අගය කරනවා. මෙහිදී දායකත්වය දුන් සියලුම දෙනාට අපගේ ප්‍රණාමය පුද කරනවා. ලබාගත් සාර්ථකත්වය අවුල් කර නොගැනීම ජනතාවගේ යුතුකමක්. 31 දිනට පසු ඒ සුපරික්ෂාකාරි බව ඉතා අවශ්‍යයි.

දැන්වීම

එමෙන්ම පසුගියදා දිවයිනේ ප්‍රාථමික පාසල් විවෘත වූ අවස්ථාවේ ගත් ඡායාරූප දුටු විට අපට විශාල සතුටක් ඇතිවුණා. රජයේ සහ ගුරු සේවයේ අන්‍යෝන්‍ය සහයෝගයෙන් මේ කටයුතු සිදු වූවානම්, මෙම අවස්ථාව ඉතා මනස්කාන්ත  වෙන්නට ඉඩ තිබුණා.

අවුරුදු ගණනක් දරුවන්ට පාසල් අහිමි වීම ගැන අපි අතිශයින්ම කණගාටු වෙනවා. පාසලේ ගත කළ ජීවිතයේ මිහිරි අතීතය වැඩිහිටියෙකු බවට පත් වූ විට මතක් වෙනවා. මෑතකදී දරුවන්ට පාසැල් ජීවිතය ගත කිරීමේ ඒ වාසනාව ලැබුණේ නැහැ. එය මහා පාපකර්මයක්.

දැන්වත් මේ ගැටුම විසඳාගෙන පාසැලේ දී දරුවාට සාමකාමී හා එකමුතු පරිසරයක් තුළ අධ්‍යාපනය ලබාදීම රජයේ යුතුකමක්. විදුහල්පති හා ගුරු සේවාවේ පඩිය ඇතුළු ඔවුන්ගේ නොවිසඳුණු ගැටළු රාශියක් තිබෙනවා ඒවා විසඳා දෙන ලෙස අප රජයට කියනවා. ගුරු ගෞරවය අප රැකිය යුතුයි. 

හැකි ඉක්මනින් පාසැල් වල ඉතිරි පන්ති සහ විශ්වවිද්‍යාල ආරම්භ කළ යුතුයි සිසු කැලට කොවිඩ් වසංගතය හා විවිධ කරුණු නිසා අවුරුදු දෙකකට ආසන්න කාලයක් නිසි අධ්‍යාපනයක් ලැබීම අහිමි වුණා. මෙය අප දකින්නේ මහා ජාතික අපරාධයක් ලෙසයි.

දියුණු වන රටක හොඳම ආයෝජනය අධ්‍යාපනයයි ඉදිරි රජයන් මේ ගැන නිසි අවධානය යොමු කළ යුතුයි. අද ලෝකයේ ඉහළම පදවි දරන උසස් සමාගම් ප්‍රධානීන් වන්නේ ආසියානු හා වැඩි වශයෙන් ඉන්දියානු ජාතිකයින්. බුද්ධිමත් අපගේ දරුවන්ට ද මේ අවස්ථාව ලබා දීම අපගේ යුතුකමක්.

පොහොර ප්‍රශ්නය ද අද දැඩි ස්වරූපයක් ගෙන තිබෙනවා බලධාරීන්ට යථාර්ථය, බිම් මට්ටමේ ගැටළු සහ හැඟීම් තේරුම් ගන්නට අපහසු වීම අභාග්‍යයක්. අපි පුන පුනා කියා සිටියේ කොම්පෝස්ට් ප්‍රතිපත්තිය ඉතා හොඳ වුවත් එය මාස කිහිපයකින් දියත් කළ නොහැකි බවයි. ඒ සඳහා අවුරුදු කිහිපයක් ගත වෙනවා මේ යථාර්ථය රජය වටහා ගෙන නැහැ. 

ගොවි ජනතාව ඉන්නේ කුපිත වෙලා. මාධ්‍යයයෙන් අපි දකින්නේ ඔවුන්ගේ හැඟීම් උත්සන්න වන ආකාරයයි. වහා විසඳුමක් ලබා නොදුනහොත් මෙය මහා විනාශයක් වන්නට පුළුවන්. ලේ වැගිරීමක් වෙන්න පුළුවන්. එවැනි වාර්තා අපිටත් අසන්න ලැබෙනවා.

විදේශ රටවලින් පොහොර ආනනය කිරීමත් මහත් ආන්දෝලනාත්මක තත්ත්වයකට පත්වෙලා. තවමත් ගොවියන් තුළ දැනට ලබා දීමට යන පොහොර කෙරෙහි විශ්වාසයක් නැහැ. මේවා අත්හදා බලා නැහැ. මිලදී ගන්නේ විනිවිද පේන ආකාරයට නෙවෙයි . මහා පරිමාණයේ අක්‍රමිකතා මෙහි දී ඇති බව පුවත් පත් වාර්තා කරනවා . රට පිළිගත් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්වතුන් යෝජිත පොහොර වර්ග අනුමත කරන්නේ නැහැ . ගොවීන්ගේ අවිශ්වාසය රජය වටහා ගත යුතුයි ගොවීන්ට බල කිරීමෙන් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ.

ජනාධිපතිවරයා ඇමරිකාවේදී ජගත් මහලේකම්වරයා ටත් මෙරට ජනතාවට පොරොන්දු වූ එක රටක් එක නීතියක් සංකල්පය තවමත් ක්‍රියාත්මක නොවීම ගැන අපි කණගාටු වෙනවා. මිනීමැරුම් චෝදනා ඇති කිහිප දෙනෙකුට ජනාධිපති සමාව දුන් ආකාරය ගැන ඒ බලවත් විවේචනයට ලක් වුණා. ප්‍රවීණ කලාකරුවකු වන රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මුළු කලා ජීවිතයම විනාශ නොකර එතුමාට සමාව දෙන ලෙස අපි ඉල්ලා සිටියේ රටේ බහුතර මතය නියෝජනය කරමිනුයි. ඒ ඔහුගේ දෑත් පිරිසිදුයි ඔහුට ඔහුට එරෙහිව මිනීමැරුම්, වංචා, දූෂණ හෝ මත්ද්‍රව්‍ය චෝදනා ඇත්තේ නැහැ මේ ඉල්ලීම ගැන මධ්‍යස්ථව සිතා බලන්න.

මාධ්‍යයෙන් අපි දකින පරිදි දේශපාලන පළිගැනීම්, දේශපාලන ඇඟිලිගැසීම් තදින් සිදුවෙනවා. උසස් නිලධාරීන් බොහෝ දෙනෙකු අප හමු වී මේ ගැන සඳහන් කරනවා. ඔවුන් සමහරෙක් විශ්‍රාම යෑමට පවා අදහස් කරනවා. මෙය ඉතාමත් හානිකර ප්‍රවණතාවයක්. අත්දැකීම් ඇති නිලධාරීන් අහිමිවීම රටට ඉතා හානිකරයි. තරුණ පරම්පරාව වීසා සඳහා තානාපති කාර්යාල වල පෝලිමේ. වර්තමාන තරුණ පරපුර අනාගත බලාපොරොත්තු සුන් කරගෙන.

සිදුවී ඇති අසාධාරණ වැරදි කීපයක් නිවැරදි කිරීමට අලුතින් පත් කළ ජනාධිපති කාර්යසාධක  වාර්තාව එනතුරු එන තුරු බලා සිටිය යුතු නැහැ අවසාන වාර්තාව එන්නේ පෙබරවාරි මාසයේ. එම කමිටුවට කාන්තාවක් සහ ද්‍රවිඪ ජාතිකයෙකු පත් කළානම්, වැඩි වටිනාකමක් ලැබෙනවා.

මාධ්‍යයෙන් අපි දකින පරිදි දේශපාලන පළිගැනීම් දේශපාලන ඇඟිලි ගැසීම්  හා බලපෑම් තදින් සිදුවනවා. මේ වාර්තා රජයේ හා ජනාධිපති වරයාගේ කීර්ති නාමයට ඉතා හානි කරයි. මෙම චෝදනාවලට ප්‍රධාන හේතුව වන්නේ මෑත ගනුදෙනුවල විනිවිද භාවයක් නොමැති බවයි. මේවාට වහා පිළියම් යෙදිය යුතුයි. මේ රටේ ඉන්නේ බුද්ධිමත් ජනතාවක්. 

දේශපාලනයට ගැති නොවූ ස්වාධීන ආයතනයක් වශයෙන් පිරිසුදුව හා සත්භාවයෙන් අප හඳුන්වා දෙන යථාර්ථවාදී කරුණු බලවතුන්ගේ බලවතුන් ගේ අවධානයට යොමු වේවායි අපි පතනවා.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
දේශපාලන පළිගැනීම් සහ ඇඟිලි ගැසීම් තදින් සිදු වෙනවා | Lanka Newsweek