අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දේශපාලනඥයින් නොවන අය අධි චෝදනා වලින් නිදහස් වුණාද..?

දේශපාලනඥයින් නොවන අය අධි චෝදනා වලින් නිදහස් වුණාද..?

ගරු නීතිපතිතුමා ශ්‍රී ලංකා ජනරජයට වගකියන්නේ සහ වගවෙන්නේ නැතිව පත්වෙන ආණ්ඩුවලට වගකියමින් සහ වගවෙමින් සිටින බව පෙනී යන බවට ජාතික ජන බලවේගයේ නීතීඥ අංකලංක උක්වත්ත මහතා පවසයි. ජාතික ජන බලවේගයේ නීතීඥ…

ගරු නීතිපතිතුමා ශ්‍රී ලංකා ජනරජයට වගකියන්නේ සහ වගවෙන්නේ නැතිව පත්වෙන ආණ්ඩුවලට වගකියමින් සහ වගවෙමින් සිටින බව පෙනී යන බවට ජාතික ජන බලවේගයේ නීතීඥ අංකලංක උක්වත්ත මහතා පවසයි.

ජාතික ජන බලවේගයේ නීතීඥ අංකලංක උක්වත්ත මහතා මේ බව කියා සිටියේ ඉරිදා(17) කොළඹ බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේ දී වන අතර එහිදී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

අධිචෝදනා ගොණු කරන්නේ සමාන්‍ය මහේස්ත්‍රාත් අධිකරණයකට පොලීසිය චෝදනා ගොණු කරනවා වගේ නෙවෙයි. අධිචෝදනා කිව්වම වචන අර්ථයෙන්ම බරක් දැනෙනවා. ඒ තුළ ඒ වරදේ බරපතළකමත්, ඒ දක්වා යන ක්‍රියාවලිය පිළිබඳවත් පහළ උසාවියකට චෝදනා ගොණු කිරීමට වඩා බරපතළ කරුණක් බව පැහැදිලි වෙනවා.

දැන්වීම

මේ ආකාරයෙන් ගොණු කළ චෝදනා දණ්ඩ නීති සංග්‍රහයේ සාපරාධී විශ්වාසය කඩකිරීම ඇතුළත් වෙනවා. නීතිපතිතුමා විසින් ගොණු කළ චෝදනා අලුත් ආණ්ඩුවක් යටතේ නව නීතිපතිවරයෙක් පත් වුණාම දණ්ඩ නීති සංග්‍රහයේ චෝදනාවල නෛතික සිද්ධාන්ත වෙනස් වෙන්නේ නැහැ.

අධිචෝදනා ගොණු කරන අවස්ථාවේ නීතිපතිතුමා සහ අදාළ නීතිඥ මඩුල්ල ක්‍රියා කර තිබෙන ආකාරය සහ විමර්ශන වැරදියිද ඔවුන් වරදක් කර තිබෙනවාද, දැන් නිදහස් වන චූදිතයන් රක්‍ෂිත බන්ධනාගාර කළ අය වීම නිසා තව දුරටත්  බරපතල තත්වයක් ඇති වෙනවා. මේ නිසා අධිචෝදනා ඉල්ලා අස්කර ගැනීම පිළිබඳව කිසිම පැහැදිලි කිරීමක් නැහැ.  

මෙයින් පෙනෙන්නේ එක් ආණ්ඩුවකින් ගොණු කරන අධිචෝදනා පත්‍ර ඊළඟ ආණ්ඩුවකින් ඉල්ලා අස්කර ගන්න බවයි. දැන් ගොණු කරන අධිචෝදනා පත්‍ර ඊළඟ ආණ්ඩුවකින් ඉල්ලා අස්කර ගන්නවාද? මේ තුළ හැඟී යන්නේ නීතියේ ආධිපත්‍යය විශාල කඩාවැටීමක තිබෙන බවයි.

මිනිස්සුන්ට නීතියේ ආධිපත්‍යය කඩාවැටීම සම්බන්ධයෙන් විශ්වාසය බිඳීයාම බරපතළ ප්‍රශ්නයක් සාමාන්‍ය ජනතාවට තිබෙන අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගන්න පුළුවන්ද කියලා අධිකරණයෙන් විමසන තත්වයක් ආවොත් මොකද කරන්නේ? දේශපාලකයන් නොවන අයගේ අධිචෝදනා ඉල්ලා අස්කර ගත් අවස්ථා තිබෙනවාද?

සමහර චෝදනා ඉදිරිපත් කර තිබෙන්නේ ජනාධිපති කොමිෂන් සභාවලින් පවා විමර්ශනය කිරීමෙන් පසුවයි. ජනාධිපති කොමිෂන් සභාවකට පත් කරන්නේ අදාළ විෂයයන් සම්බන්ධයෙන් විශේෂ හැකියාවක් තිබෙන අය. ඔවුන්ගේ නිරීක්‍ෂණ අනුව නීතිපතිතුමා අධිචෝදනා පත්‍ර ඉදිරිපත් කරනවා.

සමහර අධිචෝදනා පත්‍ර විභාග කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරුන් පත් කරනවා. එවැනි චෝදනා පත්‍ර පවා ඉල්ලා අස්කරගෙන තිබෙනවා. මේ අනුව බලන විට කොහේ හරි තැනක වැරදීමක් තිබෙනවා. එකක් හරියන කොට අනිවාර්යයෙන්ම අනික වරදින්නම ඕනෑ. අධිචෝදනා ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් මේ වරද හොයන්න ඕනෑ නැද්ද? නීතියේ නිර්වචනය දේශපාලඥයින්ට වෙනස් වෙනවාද? 

කාලය නාස්ති කරලා, ධනය නාස්ති කරලා ඉදිරිපත් කර තිබෙන අධි චෝදනා මේ ආකාරයට ඉල්ලා අස්කර ගැනීමෙන් ජනතාව තුළ නීතිය කෙරෙහි තිබෙන විශ්වාසය නැතිව යනවා. ඒ තැනක තිබෙන්නේ අරාජිකත්වය. නීතිය ගැන විශ්වාසය බිඳුනු දවසට පපුවට ගහ ගන්නා නායකයෝ ආවාට ගොඩගන්න බැහැ.

වගකීම් දරන නිලධාරීන්ගේ වගවීම සමාජයට තිබිය යුතුයි. නමුත් 20වැනි සංශෝධනයෙන් පස්සේ තමන්ගේ වෘත්තියේ ඊළඟ උසස්වීම ලබාගැනීමේ සුරක්‍ෂිතතාවය ගැන හිතනවා. වගවීම නැතිවෙන්නේ මෙතනදී. නීතිය එහෙමම තිබියදී මේ ආකාරයට අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගන්න බැහැ.

සාමාන්‍ය මිනිස්සුන් කරන වැරදිවලට අමතරව වෘත්තිකයන් කළ යුතුව තිබෙන රාජකාරී නොකර හැරීමත් අතිශ්‍ය බරපතල වරදක්. අධිචෝදනාවලින් එල්ල වන චෝදනාවලට වඩා මෙම තත්වය බරපතළයි. සාක්‍ෂි නැතිව අධිචෝදනා පත්‍රයක් යම් බලකිරීමක් මත ඉදිරපත් කිරීමත් වැරදියි. සාක්‍ෂි තිබෙන එවැනි චෝදනා ඉල්ලා අස්කර ගැනීම අතිශය වැරදියි.

විශේෂයෙන්ම මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් මේ වනවිට වෙනම කතිකාවක් ඇතිවී තිබෙනවා. ආණ්ඩු මාරුවන විට මේ ආකාරයට නීතිය කඩා වැටුණහොත් ඇතිවන්නේ බරපතළම තත්වයක්. එක නීතිපතිවරයෙක් අධිචෝදනා තිබෙන බව පවසා ගොණු කරන නඩුවක් තව නීතිපතිවරයෙක් යටතේ අධිචෝදනා ඉල්ලා අස්කර ගන්නවා නම් ඊට හේතුවූ කරුණු ඉදිරිපත් කරන්න ඕනෑ. බුද්ධිය යොදවලා නීතිමය රාමුව තුළ නැති දේවල් ඇති කිරීමත් ඇති දේවල් නැති කිරීමත් අතිශයින්ම බරපතලයි. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
දේශපාලනඥයින් නොවන අය අධි චෝදනා වලින් නිදහස් වුණාද..? | Lanka Newsweek