අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

දෙමළ ඩයස්පෝරාවට ජනපති කළ ඇරයුම පැසසිය යුතුයි

දෙමළ ඩයස්පෝරාවට ජනපති කළ ඇරයුම පැසසිය යුතුයි

(හේමන්ත තුසිත කුමාර) දෙමළ ඩයස්පෝරා නියෝජිතයන්ට සාකච්ඡා සඳහා ඇරයුම් කිරීමට ජනාධිපතිතුමා ගත් තීරණය අගය කළ යුතු බව රුහුණු ජනතා පක්ෂයේ දේශපාලන මණ්ඩලය වෙනුවෙන් පක්ෂ නායක හිටපු පා. මන්ත්‍රී අජන්ත ද සොයිසා…

(හේමන්ත තුසිත කුමාර)

දෙමළ ඩයස්පෝරා නියෝජිතයන්ට සාකච්ඡා සඳහා ඇරයුම් කිරීමට ජනාධිපතිතුමා ගත් තීරණය අගය කළ යුතු බව රුහුණු ජනතා පක්ෂයේ දේශපාලන මණ්ඩලය වෙනුවෙන් පක්ෂ නායක හිටපු පා. මන්ත්‍රී අජන්ත ද සොයිසා මහතා කියා සිටියි.

රුහුණු ජනතා පක්ෂයේ පක්ෂ නායක හිටපු පා. මන්ත්‍රී අජන්ත ද සොයිසා මහතා මේ බව කියා සිටියේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් වන අතර එහි මෙසේ ද සඳහන් විය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකාවට ගොස් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එහි මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මැතිතුමා පසුගියදා හමුවූ අවස්ථාවේදී තිබෙන ප්‍රශ්න සම්බන්ධයෙන් ඍජුව තමා සමග සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙසට දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කර ඇත.

දැන්වීම

එමෙන්ම දිගුකාලීනව බන්ධනාගාරගතව සිටින L.T.T.E. සැකකරුවන්ට ඔවුන්ගේ නඩු කටයුතු අවසන් වූ වහාම ජනාධිපති සමාව ලබාදීමට තමා නොපැකිලිවම ක්‍රියාකරන බවට වැඩිදුරටත් ජනාධිපතිතුමා ප්‍රකාශ කර ඇත. අප පෘතුවිය මත මිනිසා විසින් දැනට ගොඩනගා ඇති ඉහළම ජාත්‍යන්තර වේදිකාව වශයෙන් සැළකිය හැකි එ.ජා. සංවිධානයේ මහලේකම්වරයා ඉදිරියේදී ලොවටම ඇසෙන සේ ජනාධිපතිතුමා කළ මෙම ප්‍රකාශයන් ඇසීමෙන් රුහුණු ජනතා පක්ෂය වශයෙන් අප ඉමහත් සතුටටත්, එමෙන්ම මව්බිමේ අනාගතය ගැන සුභවාදී ආලෝකයක් දැල්වූ අවස්ථාවක් වශයෙන් හඳුනාගත් අප ඒ පිළිබඳව අපගේ ගෞරවනීය ප්‍රශංසාව ජනාධිපතිතුමා වෙත පිරිනැමීමට කැමැත්තෙමු.

යුද්ධයක් ජය ගැනීමට අසීමාන්තික දේශප්‍රේමිභාවයක්, රණකාමි බවත් අත්‍යවශ්‍යම සාධකයක් වුවත් දෙමළ ජනහදවත් තුළ ඇතිවී ඇති ගැඹුරු තුවාලය සුවපත් කිරීමට නම් දැන් එම දැඩි අදහස් වලින් මිදී ප්‍රතිපක්ෂයට අවංකව සහ දයාවෙන් අමතා ඔවුන්ගේ ගැටළු විසදීමට රාජ්‍ය නායකයා වශයෙන් තමන් සුදානම් බව ජනාධිපතිවරයා විසින් මෙමගින් ලොවට හඩගා ප්‍රකාශ කොට ඇත. වැළක්විය හැකිව තිබු, අත්‍යවශයෙන්ම වැළක්විය යුතුව තිබු 1983 මහා කළු ජූලියේ සිදුවූ දෙමළ ජන සංහාරය සහ දෙමළ ජනතාවගේ මහා දේපළ මංකොල්ලය ජාත්‍යන්තර සමාජය තුළ දෙමළ ඩයස්පෝරාවක් නිර්මාණය වීමටත්, L.T.T.E.ය දෙමළ ප්‍රජාව තුළ ශක්තිමත් වෙමින් දෙමළ ඊලම එකම විසදුම වශයෙන් දෙමළ ජනතා හදවත් තුළ කිඳාබැසීමටත් තුඩුදුන් ප්‍රධානම හේතුව බව අප සැමදා සිහිතබා ගත යුතුය.

ප්‍රමාණයෙන් අතලොස්සක් වූ L.T.T.E. බෙදුම්වාදීන් විසින් රාජ්‍ය හමුදාව ඉලක්ක කරනු ලැබූ පළමු බරපතල ප්‍රහාරය වශයෙන් හදුනාගත හැකි හමුදා නිළධාරීන් 13 දෙනෙකුට මරු කැඳවූ අවස්තාව පාදක කරගනිමින් දින ගණනාවක් පුරා රට පුරාම විසිරී සිංහල සමාජය සමග සාමකාමිව ජීවත් වූ දෙමළ ජනතාව ඉලක්ක කරමින් සංවිධානාත්මක මැර කණ්ඩායම් විසින් ඉතාමත් සැලසුම් සහගතව දියත් කළ එම දෙමළ සංහාරය සහ දෙමළ ජනතාවගේ දේපළ මංකොල්ලය වැළක්වීමට එදා පාලකයන් රාජ්‍ය බලය භාවිතා නොකිරීමෙන් අප මව්බිමට අත්කර දුන් ශාපය තවත් වසර දහස් ගණනක් ගත වුවත් අප අමතක නොකළ යුතුය.

හැමදාමත් සිංහල අප දෙමළ ජනතාවගෙන් ඒ වෙනුවෙන් සමාව ගත යුතුය. අව්‍යාජව කණගාටු විය යුතුය. සැබවින්ම යුද්ධය ආරම්භ වුයේ එම සිදුවීමත් සමගිනි. වත්මන් ජනාධිපතිවරයා එම සිදුවීම් වලට කිසිසේත්ම වගකිවයුත්තෙකු නොවන බවත් ඔහු ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කරනු ලැබුවේ යුද්ධය, යුධමය වශයෙන් අවසන් කිරීම බවත් සිහිකළ යුතුය. යුද්ධය දේශපාලනිකව ජයගත යුතු යැයි යන ස්ථාවරයේ 1995 දී අප පක්ෂය ආරම්භයේ සිටම පැහැදිලි ස්ථාවරයක සිටි අප යුද්ධය, යුධමය වශයෙන් අවසන් වුවත් අවසන්ව ඇත්තේ ප්‍රශ්නයේ එක් කොටසක් පමණක් බවත් අපගේ ස්ථාවරය ලෙස සඳහන් කරමු.

මීට වසර 38කට ඉහත දී සිදුවූ 1983 මහා කළු ජූලිය හේතුවෙන් ලොවපුරා සරණාගතයන් වශයෙන් තම මව්බිමෙන් පැනගිය දෙමළ ජනතාව දිගුකාලයක් පුරා විවිධ රටවල ජීවත් වෙමින් ගොඩනැගුන විශාල ජාත්‍යන්තර දෙමළ ප්‍රජාවක් තම දුක්බර අඳුරු අතීතය යලි යලිත් සිහිපත් කරමින් වේදනාවෙන් සහ කෝපයෙන් පසුවන බවත් ඔවුන්ගේ එම කෝපය සහ වේදනාව යලි සමනය කොට ඔවුන් තම ශ්‍රී ලාංකික මව්බිමේ අනාගත සංවර්ධනයේ සහ සමගියේ ඍජු හවුල්කරුවන් කර ගැනීමටත් නොපමාව කටයුතු කිරීමට ජනාධිපතිතුමාට ධෛර්යය, දැක්ම සහ ශක්තිය අප ප්‍රර්ථනා කර සිටිමු!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න