දුර්දාන්ත පාලනයට එරෙහිව විපක්ෂය එකට එක් විය යුතුයි

ඒ ජාතික වගකීම පැහැර හැරීමට කිසිවෙකුට සදාචාරාත්මක අයිතියක් නැහැ රට ඉතිහාසයේ සුසාන භූමිය වෙත ගමන් කරනවා රට මේ පසු කරන්නේ අඳුරුම යුගයයි කරු මුළු විපක්ෂයම එකම වේදිකාවකට කැඳවයි සටන ඇරඹේ..! (සුජිත් මංගල ද…
ඒ ජාතික වගකීම පැහැර හැරීමට කිසිවෙකුට සදාචාරාත්මක අයිතියක් නැහැ
රට ඉතිහාසයේ සුසාන භූමිය වෙත ගමන් කරනවා
රට මේ පසු කරන්නේ අඳුරුම යුගයයි
කරු මුළු විපක්ෂයම එකම වේදිකාවකට කැඳවයි
සටන ඇරඹේ..!
(සුජිත් මංගල ද සිල්වා)
ඒකාධිපති දුර්දාන්ත පාලනයෙන් රට ගළවා ගෙන දියුණු කරමින් ජනතාවගේ නිදහස තහවුරු කිරීම සඳහා විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂ සහ නායකයින් පොදු වේදිකාවකට පැමිණිය යුතු කාලය එළැඹ ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.
රට-ජාතිය සහ අනාගත පරපුර වෙනුවෙන් වන එම උදාරතර වගකීම, යුතුකම සහ කාර්ය භාරය පැහැර හැරීමට කිසිවෙකුට සදාචාරාත්මක අයිතියක් නැතැයි ද කරු ජයසූරිය මහතා කියා සිටියේය.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා මේ අදහස් පළ කළේ, කොළඹ "ජානකී" හෝටලයේ දී සෙනසුරාදා (17) පැවැති විපක්ෂයේ සර්ව සර්වපාක්ෂික එකමුතුවක් සඳහා වන සමාරම්භක සමුළුවේදී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
තමුන්නාන්සේලා සියලුම දෙනා දන්නා පරිදි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය දේශපාලන සංවිධානයක් නොවේ. එම සංවිධානය ආණ්ඩු පක්ෂයටවත්, විපක්ෂයටවත්, සම්බන්ධ නැහැ. අප කටයුතු කරන්නේ හුදෙක් පොදු ජනතා මත වාදය අදාළ අංශ වෙත යොමු කිරීමටයි. පොදු ජනතාව දැන ගත යුතු කරුණු ගැන ඔවුන් දැනුවත් කර රටේ අනාගතය ගැන ස්වාධීනව තීන්දු තීරණ ගැනීමට අවශ්‍ය කරන දැනුම සහ මත වාදය ලබා දෙමින් ජනතාව එකමුතු කිරීම අපේ අරමුණයි.
අපි කලක සිට හැමදාම රටට කියා සිටී කාරණය තමයි රටේ ඉතිහාසයේ අඳුරුම යුගයට යළි අපි මුහුණ දී සිටින බව. ඒ එක් එක් කාල සීමාවන්වල දී සිද්ධ වුණ සිද්ධීන් දෙස බැලූ විට එම මතය වැරදි අර්ථකථනයක් නොවේ. අපි එවැනි අඳුරු යුග ගණනාවක් පසු කර ගෙන පැමිණ තිබෙනවා. නමුත් අපි ඉදිරියට ඇවිත් තිබෙනවා. මේ වන විට නැවත අතිශය අඳුරු යුගයක් කරා ගමන් කරමින් සිටිනවා. අපි මේ මොහොතේ ගමන් කරමින් සිටින්නේ ඉදිරියට නොව පසු පසටයි. පසු කර ගෙන ආ අඳුරු යුග පසු කරමින් අපි ඉතිහාසයේ සුසාන භූමිය වෙත ගමන් කරමින් සිටිනවා.
අප සංවිධානය මැතිවරණවලට ඉදිරිපත් නොවන නිසා අපිට ජනතා නියෝජිතයින් නැහැ අපි සිවිල් සංවිධානයක්. ඒත් මේ අවස්ථාවට එක්ව සිටින ඔබ සැම ජනතා නියෝජිතයින්. ජනතාවගේ ඡන්ද බලයෙන් පත් වුණ පුද්ගලයින්. ඒ නිසා අපි කල්පනා කළා පළමුව තමුන්නාන්සේලාව දැනුම්වත් කරන්න. මේ දුර්දාන්ත තත්ත්වය සහ එම තත්ත්වයෙන් ගැලවිය හැකි ආකාරය සඳහා වැඩ පිළිවෙළක් සකස් කරන්නට. එහි වැදගත්කම පහදා දෙන්න. පොදු විපක්ෂයක් වශයෙන් අපට රටේ දැවෙන ප්‍රශ්න වෙනුවෙන් පොදු එකඟත්වයකට පැමිණිය හැකි නම්, යුක්තිය, සාධාරණය සහ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට එම එකමුතුව පිටු වහලක් වෙනවා. එම කාර්ය නූපන් පරපුර වෙනුවෙන් අප විසින් ඉටු කළ යුතු ජාතික යුතුකමක්.
රට මුහුණදී ඇති අසීමිත බරපතළ අර්බුදය හමුවේ ජනතාව අපේක්ෂා කරන්නේ බල තණ්හාවෙන් තොර, රට ගැන හිතන දේශපාලන එකමුතුවක්. අපවත්වී වදාළ අති පූජ්‍ය මාදුලුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් එදා පුබුදු වන ලද ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරන අප අන් කවරදාකටත් වඩා ඒ කෙරෙහි අවධානය යොමු කරමින් සිටින්නේ මේ පවත්නා ක්‍රමයේ වෙනසක් ඇති කරන පුළුල් ජනතා බලවේගයකට ඉතසිතින්ම ආශිර්වාදය පළ කරමින්.
මේ රටේ ජනතාවගේ නිදහස සහ යහපත උදෙසා පෙනී සිටින, එමෙන්ම සමෘද්ධිමත් සාමකාමී සංවර්ධිත ශ්‍රී ලංකාවක් අපේක්ෂා කරන සහ ඒ සඳහා රටේ අනාගතය මෙහෙය වීමේ සූදානමින් ජනතාව අතර සක්‍රීය ලෙස ක්‍රියා කරන ඔබ සියලු දෙනාගේම කර මත පැටවී ඇති වගකීම සාමූහිකව මෙහෙය විය යුතු කාලය දැන් එළැඹ තිබෙනවා. ඒ සඳහා අධිෂ්ඨාන සහගතව පෙළ ගැසිය යුතු මොහොත සනිටුහන් වන තීරණාත්මක සංධිස්ථානයක් බවට මෙම අවස්ථාව සනිටුහන් වන්නේ නම් එම තත්ත්වය මේ රටේ සමස්ථ ජනතාවටම පළ කරනු ලබන ඉහළම උපහාරය වනු නියතයි. ඒ සඳහා දායකත්වය ලබාදීම අප සලකන්නේ මහත් වූ පුණ්‍ය කර්මයක් ලෙසයි. එහිදී සැබෑ දේශපාලන ප්‍රතිසංස්කරණයකට රටක් ලෙස යොමු විය යුතුව ඇතැයි අප විශ්වාස කරනවා. එහිදී ඒ සඳහා වන අපගේ මූලික අවධානයන් කීපයක් කෙරෙහිද ඔබගේ අවධානය යොමු කිරීමට කැමතියි.
ඒ අනුව අප මූලික වශයෙන්ම අවධානය යොමු කරන්නේ නීතියේ පාලනය බිඳ වැටීම මත ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කිරීමට හේතු වූ තත්ත්වයන් පිළිබඳවයි. සත්‍ය වශයෙන්ම අද වන විට ජනතාවගේ අපේක්ෂාවන් පිළිබිඹු වන සැබෑ ජනතා නියෝජනයකින් යුත් සම්මුතිවාදී පාලනයක අඩංගු විය යුතු මූලික ගුණාංග සියල්ලම විනාශ කර තිබෙනවා.
දැන්වීම
එක් පුද්ගල බලාධිකාරයක් මගින් රටේ සමස්ථ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පද්ධතියම ගිල ගෙන තිබෙනවා. ඔවුන් ඒ සඳහා අවකාශය ලබා ගත්තේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම මගිනුයි. ඒ මගින් 19 වන සංශෝධනයෙන් සීමා කරන ලද විධායක ජනාධිපති ධූරය සතුව පැවති අත්තනෝමතික බලය නැවත බල ගන්වා තිබෙනවා. අධිකරණයට සහ රාජ්‍ය සේවයට ලබා දුන් ස්වාධීනත්වය කණ පිට හරවා තිබෙනවා. වර්තමාන පාලනය අද සිදු කරන මේ ජනතා විරෝධී ක්‍රියා මාර්ග සියල්ලම ඉදිරියට ගෙන යමින් සිටින්නේ ඔවුන් විසින් නීතිය බවට පත් කර ගත් අනීතිය පදනම් කර ගෙනයි. එබැවින් මේ රටට යහපතක් උදා කර ගැනීම සඳහා ජනතාව අපේක්ෂා කරන්නා වූ රජයක පළමු වගකීම වන්නේ එම විසකුරු බලය අතුගා දමමින් 20 වන සංශෝධනය සියල්ලටම පෙර අහෝසි කිරීමයි.
එමෙන්ම අද වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකයෙහි සිදු වෙමින් පවත්නා නාය යාම ඉතාමත් බියකරු ලෙස වර්ධනය වෙමින් පවතිනවා. අද වන විට මේ රටේ ආර්ථිකය විනාශ කරමින් සිටින්නේ එක් පවුල් සංධානයක ආශිර්වාදය සහ සබඳතා මත යැපෙන ආර්ථික ඝාතක කල්ලියක් විසිනුයි. රටේ සියලුම සම්පත් උරා බොමින් සිටින්නේ ඔවුන්. අද මේ රටේ වාණිජ්‍ය ව්‍යාපාර ගමන් කරමින් සිටින්නේ මරණ මංචකයන් වෙතයි. සුළු සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරිකයන් සියලු දෙනාම අද මුහුණ දී ඇත්තේ බරපතළ ඛේදවාචකයකටයි. බිහිසුණු ණය උගුලක රට හිර කර තිබෙනවා. එහිදී වර්තමාන පාලකයන් ඒ සඳහා වන එකම විසඳුම ලෙස සලකන්නේ රටේ ජාතික සම්පත් කුණු කොල්ලයට විකුණා දැමීමයි. මේ තත්ත්වය මඟින් ජාත්‍යන්තර බලවතුන්ගේ කෙළි බිමක් බවට ද ශ්‍රී ලංකාව පත් කර තිබෙනවා. අපේ සාම්ප්‍රදායික මිතුරු රාජ්‍යයන් ශ්‍රී ලංකාව කෙරෙහි ඈත් කරවමින් සිටිනවා. ජාතියක් ලෙස අපගේ ස්වාධීනත්වය දුර්වල කර තිබෙනවා. ඒ හේතුවෙන් රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයද බිහිසුණු ආගාධයක් වෙත තල්ලු වෙමින් තිබෙනවා. යුරෝපියානු සංගමයේ රටවල් 675ක් අපට විරුද්ධව GSP+ බදු සහනය ඉවත් කරන ලෙස යෝජනා කළේත්, අපගේ වැරදි විදේශ ප්‍රතිපත්තිය නිසයි.
ඒ සමගම රටේ ජනතාවගේ දුක සහ වේදනාව තව තවත් උග්‍ර කරවමින් සිදු කරන දැවැන්ත සම්පත් විනාශය කෙරෙහිද අපගේ අවධානය යොමු කළ යුතුයි. අද වන විට මේ රටේ ගොවි ජනතාවට වගා කිරීමට අවශ්‍ය පොහොර නැහැ. අනාගත පරම්පරාවට නිසි අධ්‍යාපනයක් ලබා දීමේ වගකීම ආණ්ඩුව මග හරිමින් සිටිනවා. ධීවරයා අසරණ කර තිබෙනවා. පාලකයින්ගේ වැරදි තීන්දු තීරණ හේතුවෙන් රට අභ්‍යන්තරයට කැඳවා ගත් කොරෝනා වසංගතය ජනතාව බිලි ගන්නට තරම් මාරාවේශ වී සිටිනවා. ඒ සියලු ව්‍යසන අතරේ ආණ්ඩුවේ ගජ මිතුරන් වන, පස් සහ වැලි ජාවාරම්කරුවන් ගොඩබිමද ඇතුළු ගංගා ඇළ දොළ පවා සූරා ගෙන කද්දී විෂ රසායන පිරුණු නැවක් අපගේ සාගර සම්පතද බරපතළ ඛේදවාචකයකට ගොදුරු කළා.
ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අතාවශ්‍ය අංග ලක්ෂණයක් වන සිවිල් පරිපාලනය බිඳ වට්ටවමින් මිලිටරි පාලනයකට අවශ්‍ය පදනම කෙමෙන් කෙමෙන් සම්පූර්ණ කරමින් සිටිනවා. එමෙන්ම ප්‍රජාතන්ත්‍රයේ පැවැත්ම තීරණය කරන නිදහස් මැතිවරණ පිළිබඳව තව දුරටත් අපේක්ෂා තබා ගැනීමට නොහැකි වන ආකාරයේ ක්‍රියාවලියකටද වත්මන් පාලනය පියවර තබන ආකාරයක් දැක ගත හැකියි. සියලුම කොමිෂන් සභාවන්හි පැවැති ස්වාධීනත්වය අහිමි කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු සියලුම කොමිෂන් සභාවන් හි සාමාජිකයන් ලෙස ආණ්ඩු හිතවාදී සුවච කීකරු දේශපාලන ක්‍රියාකාරිකයන් පත් කර තිබෙනවා. මෙම තත්ත්වය කෙරෙහි මේ මොහොතේ දී හෝ නිසි අවධානයක් යොමු කර සියලුම කොමිෂන් සභා ස්වාධීන කිරීමට අවශ්‍ය මැදිහත්වීම සිදු නොකළ හොත් ශ්‍රි ලංකාවේ නිදහස් සහ සාධාරණ මැතිවරණයන් හි අවසානයද එමගින් සටහන් කරනු නියතයි.
එපමණක් ද නොව වත්මන් පාලනයේ ඊළඟ පියවර වනු ඇත්තේ මේ රටේ විරුද්ධ පක්ෂයට අයත් ක්‍රියාශීලී නායකයන් ගණනාවක් දේශපාලන භූමියෙන් ඉවත් කිරීමයි. ඔවුන් ඒ සඳහා පිඹුරුපත් සකසා ඇත්තේ දේශපාලන පළි ගැනීම් පිළිබඳව සොයා බලන්නට යැයි කියමින් පත් කරන ලද ඊනියා ජනාධිපති කොමිෂන් සභාවේ විසකුරු වාර්තාව පදනම් කර ගෙනයි. අනෙකුත් සියලුම කරුණු කාරණා සේම උපාලි අබේරත්න නිර්දේශ වහා පරාජය කරන්නට මේ රටේ දේශපාලන බලවේග පෙරමුණ නොගත හොත් එම ක්‍රියාව සමස්ත විපක්ෂය දේශපාලන ක්‍රියාකාරීත්වයෙන් අතුගා දැමීම සඳහා ලබා දෙන දායකත්වයක් වන බව මෙහිදී අප සියලු දෙනාම තේරුම් ගත යුතුයි.
එබැවින් අද වන විට මේ රටේ විරුද්ධ පක්ෂය නියෝජනය කරන තමුන්නාන්සේලා වෙත ඉදිරිපත්ව ඇත්තේ හුදු ජනතා විරෝධී පාලනයක් පෙරළා දැමීමේ ඇති වගකීමට පමණක්ම නොවේ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර, සුරක්ෂිත කර අනාගත පරපුර වෙත නිදහස් සහ සාමකාමී සේම සමෘද්ධිමත් රටක් උරුම කර දීමේ වගකීමද ඒ අතර තිබෙනවා. එහිදී රටේ ආර්ථිකය ඇද වැටී ඇති අගාධයෙන් ගොඩ ගෙන පුනර්ජීවයක් ලබා දීමේ දැවැන්ත වගකීමද ඔබ ඉදිරියේ ඇති බව පැහැදිලියි. ඒ සඳහා නිවැරදි දැක්මක් මත නිසි ක්‍රමෝපායන් අනුගමනය කිරීමේ කාර්ය භාරය පැවරී ඇත්තේද ඔබ වෙතයි. එකී ජාතික අරමුණු උදෙසා වන එක්සත් භාවයක අවශ්‍යතාවය අද වන විට ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා දැනෙමින් තිබෙනවා. ඒ සඳහා ඔබ සියලු දෙනාම එකාවන්ව පෙරමුණ ගනු ඇතැයි යන්න අපගේ පැතුමයි.
එම උදාර කටයුත්තේ දී කිසිදු පුද්ගල ප්‍රතිලාභයක් පිළිබඳව හෝ කුමන හෝ බල දේශපාලනික අරමුණකින් තොරව අපගේ දායකත්වද නොමසුරුව සහ නොපැකිලව ලබා දෙන බව අප මේ මොහොතේ සඳහන් කරන්නේ එම ක්‍රියාව අද දවසේ රට වෙනුවෙන් ඉටු කළ යුතුව ඇති ඉහළම කාර්ය භාරය වන බව අප තේරුම් ගෙන ඇති නිසායි. එහිදී ඔබ අතරෙහි ද, ඔබ ඉදිරියේ සහ ඔබ පසු පසද අප සිටිනවා.
මේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන යන මහත්වරුන් ප්‍රධාන විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයින් රැසක් එක්ව සිටියහ.