දුමින්දගේ මරණ දඬුවම තීන්දුයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ආර් දුමින්ද සිල්වා මහතා…
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ආර් දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට මහාධිකරණයෙන් නියම කළ මරණ දඬුවම තහවුරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම දඬුවම ක්‍රියාත්මක කරන ලෙස අද (11) නියෝග කළේය.
මේ අතර මරණ දඬුවම නියම වී සිටි අනුර තුෂාර ද මෙල් මහතාට පැනවූ මරණ දඬුවම පමණක් ඉවත් කර ඔහු මුදා හැරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.
මහාධිකරණයෙන් නියම කළ දඬුවම ඉවත් කරන ලෙස ඉල්ලා දුමින්ද සිල්වා මහතා ඇතුළු සිව්දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ අභියාචන පෙත්සම් සම්බන්ධ තීන්දුව අද (11) පස්වරු 2.30ට ප‍්‍රකාශයට පත් කෙරුණු අතර අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් ,බුවනෙක අළුවිහාරේ ,නලින් පෙරේරා , ප‍්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
අධිකරණය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත්තේ විත්තිකාර පාර්ශ්වය සහ පැමිණිලි පාර්ශ්වය දින හයක් පුරා පැවැත්වූ දීර්ඝ දේශනවලින් පසුවය.
හිටපු ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති උපදේශක ලෙස කටයුතු කරමින් සිටි හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු සිව්දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට වැරදිකරුවන් වී මරණ දණ්ඩනය නියම වී සිටි පුද්ගලයින් වුයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ආර් දුමින්ද සිල්වා, අනුර තුෂාර ද මෙල් , චමින්ද රවි ජයනාත් සහ සරත් බණ්ඩාර යන විත්තිකරුවෝය.
පළාත් සභා මැතිවරණයක් පවතී 2011 ඔක්තෝම්බර් මස 08වන දින මුල්ලේරියාව ප්‍රදේශයේදී සිදු වෙඩි ප්‍රහාරයකින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ වෘත්තීය සමිති කටයුතු උපදේශකවරයෙකු ද වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේය.මෙම වෙඩි තැබීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ද තුවාල ලැබූ අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඒ මහතා 2011 නොවැම්බර් පළමු වැනි දා සිංගප්පූරුව වෙත රැගෙන යනු ලැබූ අතර 2013 මාර්තු මස 05 වෙනිදා ඔහු ලංකාවට යළි පැමිණියේ ය.
පසුව දුමින්ද සිල්වා මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ අතර එදිනම එම පෞද්ගලික රෝහලට පැමිණි රහස් පොලිසිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම ඇතුළු චෝදනා කිහිපයකට දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට ගත්තේය.
සැකපිට අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා 2013 මාර්තු පස් වැනි දා පෙරවරු 10.05 ට අත්අඩංගුවට ගත් බව රහස් පොලිසියේ එවකට සහකාර පොලිස් අධිකාරීව සිටි ශානි අබේසේකර මහතා විසින් එවකට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයෙකු වූ සඳුන් විතාන මහතාට දන්වන ලදී. චෝදනා පත්‍රය කියවා ඔහු අත්අඩංගුවට ගෙන නවලෝක රෝහලේ ඔහු සිටින කාමරයට පොලිස් මුර යෙදූ බව ද සහකාර පොලිස් අධිකාරීවරයා උසාවියට සැළ කර සිටියේය.
එහිදී ශානි අබේසේකර මහතා උසාවියට දන්වා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ හිසට බරපතල සැත්කමක් කර ඇති හෙයින් රෝහලෙන් එළියට ගියහොත් විෂබීජ ඇතුළු වී ඔහුගේ ජීවිතයට තර්ජනයක් විය හැකි බව වෛද්‍යවරුන් පැවසු බවය. ඒ අනුව කොළඹ නවලෝක රෝහලට ගිය එවකට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා මාර්තු 14 වැනිදා තෙක් රිමාන්ඩ් ගත කළේය.
පසුව දුමින්ද සිල්වා මහතාට 2013 අප්‍රේල් මස 26 වැනි දින ඇප ලැබුණු අතර අප්‍රේල් 27 වැනි දා ඔහු නවලෝක රෝහලෙන් පිටව ගියේය.
අනතුරුව ඔහු ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව මහාධිකරණයේ නඩු පැවැරිණි. දීර්ඝ නඩු විභාගයකින් පසු ත්‍රිපුද්ගල මහාධිකරණයේ විසිනුසරුවරුන් දෙදෙනකු 2016 සැප්තැම්බර් මාසයේ දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම නියම කළ අතර එක් විනිසුරුවරයකු සියලු සැකකරුවන් නිදොස්කොට නිදහස් කරන ලෙස නියෝග කළේය.
ඒ අනුව විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුවෙන් දුමින්ද සිල්වා මහතා ඇතුළු හතර දෙනකුට මරණ දඬුවම නියම විය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2