දස සිල් මාතාවන් වෙනුවෙන්ම ගිලන් පියසක් විවෘත වෙයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

සම්බුද්ධ ශාසනයේ චිර ජීවනය උදෙසා ගම්පහ, යක්කල ශ්‍රී සුදර්ශන දහම් නිකේතනයේ පිහිටු වන ලද " දහම් සෙවන හා ගිලන් පියස" විවෘත කිරීම පුජ්‍යපාද කැටවල හේමාලෝක ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ අනුශාසනා පරිදි බුද්ධ…
සම්බුද්ධ ශාසනයේ චිර ජීවනය උදෙසා ගම්පහ, යක්කල ශ්‍රී සුදර්ශන දහම් නිකේතනයේ පිහිටු වන ලද " දහම් සෙවන හා ගිලන් පියස" විවෘත කිරීම පුජ්‍යපාද කැටවල හේමාලෝක ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ අනුශාසනා පරිදි බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ සුරතින් සිදු කෙරිණි.
පුජ්‍යපාද කැටවල හේමාලෝක ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ සංකල්පයක් මත ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ පිහිටි පර්චස් 25 ක පමණ භූමි භාගයක රුපියල් ලක්ෂ 90 ක පමණ වියදමින් ඉදි කර ඇති මෙම ගිලන් පියස දස සිල් මාතාවන් 100කට අධික ප්‍රමාණයකට උවැටන් ලබාගත හැකි පරිශ්‍රයක් වේ.
සුව පහසු කාමර, භාවනානුයෝගිව සිටීමට සහ වන්දනා කටයුතු සඳහා භාවිත කළ හැකි ශාලා, ආදියෙන් වගේම විශාල පැන් තටාකයකින්ද දහම් සෙවන හා ගිලන් පියස සමන්විත වේ.
පැවිදි බිමට පිවිසෙන විටත් සිය දෙමාපියන් අහිමිව සිටි බව පවසන කැටවල හේමාලෝක හිමිපාණන් වහන්සේ සිය මෑණියන්ට සිදු කරන පුණ්‍යානුමෝදනාවක් වශයෙන් මෙම ‘‘ගිලන් පියස‘‘ ඉදි කළ බව ප්‍රකාශ කර සිටියහ.
ගම්පහ දිස්ත්‍රික්කයේ සිල්මාතා සංගමය මගින් පැවිදි බිමට ඇතුළත් වූ ඕනෑම සිල්මාතාවකට අභිනව දහම් සෙවනේ ප්රතිලාභ ලබා ගත හැකිවනු ඇත.
ඇතැම් රජයේ රෝහල්වල භික්ෂු වාට්ටු ස්ථාපනය කර තිබුණ ද මෙහෙනින් වහන්සේ වෙනුවෙන් එලෙස වෙන් වූ වාට්ටු නොමැති බැවින් මෙරට මෙහෙනින්වහන්සේ රෝගාතුර වූ අවස්ථාවලදී දැඩි අපහසුතාවලට මුහුණ දෙමින් සිටින බව කැටවල හේමාලෝක හිමියෝ පෙන්වා දෙති. එමනිසා ඊට යම් පමණින් හෝ පිළිසරණක් වීම පිණිස මෙම ‘‘ගිලන් පියස‘‘ හේතු වනු ඇතැයි ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
ගිලන් පියසේ නවාතැන් පහසුකම් සහ සාමාන්‍ය උවැටන් කටයුතු සිදු කෙරුණ ද වැඩිදුර ප්‍රතිකාර කටයුතු සඳහා එම රෝගීන් රෝහල් ගත කළ යුතු බව ද කැටවල හේමාලෝක හිමියෝ පවසති. එමෙන්ම මෙම ගිලන් පියසේ සේවය කිරීමට අන්‍යාගමික වෛද්‍යවරුන් පවා දැඩි කැමැත්තකින් මැදිහත්ව සිටින බව ද උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියහ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
