දරුවන් සම්පතකි-ඔවුන් විනාශ කිරීමට ඔබට අයිතියක් නැත

කුස පිළිසිඳගත් දරුවාට මෙලොව එළිය දකින්න ඉඩ දෙන්න දරු දුක පිළිබඳ අම්මාවරුනට පියවරුන්ට අමුතුවෙන් කියා දිය යුතු ව නැත. ගැහැනියක්, බිරියක් උතුම් මාතෘත්වයේ ඵල නෙළා ගනිමින් දිවි හිමියෙන් ගැබ රැකගනී. ඒ…
කුස පිළිසිඳගත් දරුවාට මෙලොව එළිය දකින්න ඉඩ දෙන්න
දරු දුක පිළිබඳ අම්මාවරුනට පියවරුන්ට අමුතුවෙන් කියා දිය යුතු ව නැත. ගැහැනියක්, බිරියක් උතුම් මාතෘත්වයේ ඵල නෙළා ගනිමින් දිවි හිමියෙන් ගැබ රැකගනී. ඒ 'පෙරුම් පුරා මා කුසට පැමිණි බිලිඳු මට රජ පැටියෙක්' යැයි සිතමිනි. මෙසේ සිතන්නට නො පෙලඹෙන මාපියවරුන් නොමැත්තේ යැයි කිසිවිටෙක නොකියමි.
නව මාසයක් පුරාවට නුදුටු ජීවියකුගේ ප්‍රාණය සවි කරන්න අම්මා කෙනකු කරන කැපවීම අතිමහත්ය. හුස්ම වැටෙන කලලයක් එහෙමපිටින් ම විනාශ කිරීමට මෙලොව එළිය දුටු මොහොතේ ම කිරිකැටි බිලිඳකුගේ ප්‍රාණය නිරුද්ධ කිරීමට තැත් දරන අම්මාවරුන් පිළිබඳ ඉඳහිට අසන්නට ලැබේ. කිරි සිහිනය දකින්න පෙරුම් පුරන මා පියවරුන්ට මෙවැනි පුවතක් ඇසීම ම පවා ද්වේෂය දනවන්නකි.
නව මසක් කුස හොවා බිහිවන දරුවකු කවා පොවා මහත් වෑයමකින් උස් මහත් කරන්නට වෙහෙසෙද්දී ඇතැම් මා පියවරුන් අතින් ම ගඟට මුහුදට බිලි දෙන දරුවන් පිළිබඳ කාලෙන් කාලෙට අසන්නට ලැබේ. මේවා පුවත්පත්වල ලොකු අකුරින් පළ වද්දී විද්‍යුත් නාළිකාවල සිරස්තල බවට පත් වද්දී ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත් වීම අරුමයක් නොවේ. සිතට වද දෙන කාරණා හමුවේ තමාට තමාගේ ප්‍රාණය පවා නිරුද්ධ කර ගැනීමට නොහැකිව තිබිය දී තම ලෙයින් උපන්නා යැයි සිතමින් දරුවකුගේ දිවි තොර කරන්නට කිසිම අම්මා කෙනකුට තාත්තා කෙනකුට ඉඩක් නොමැත.
දැන්වීම
පවත්නා ආර්ථික ගැටලු හමුවේ ජීවන බරට උර දිය නො හැකිව තම දරුවා හෝ දෙන්නා සමඟින් තමා ද දිවිතොර කරගන්නට උත්සාහ ගනියි. මෙලෙස පළමුව දරුවන්ගේ ප්‍රාණය නිරුද්ධ කොට දෙවනුව තමා ද දිවි තොර කර ගන්නට සිතයි. එහෙත් දරුවන්ගේ දිවි තොර වුවද අම්මා හෝ තාත්තා ගේ පණ නල රැකුණ අවස්ථා තිබේ. දිවි රැකුණු මව හෝ පියාගේ අතට නිසැකවම වැටෙනුයේ විලංගු ය. එතැන් පටන් තවදුරටත් ජීවත් වන්නට සිදුවනුයේ මැරි මැරී උපදිමිනි. තමාගේ දෑතින් දරු පැටියාගේ ප්‍රාණය නිරුද්ධ කළ අයුරු මොහොතක් මොහොතක් පාසා සිහිවීම සිහි වීම නිරායාසයෙන් සිදු වේ.
දරුවන් සමඟ මේ ජීවන බරට උර දීමට නොහැකි යැයි හැඟේ නම් කිසි විටෙක ඔවුන්ගේ දිවි තොර කරන්නට සිතන්න එපා. ඔබ නොමැතිව ඔවුන් මේ ලෝකේ තනි වේවී යැයි සිතන්නත් එපා. ඔවුන්ට කාගේ හෝ හව්හරණක් ලැබේවි. ආර්ථික අපහසුතා එන්න එන්නම වැඩි වේ නම් දරුවා ළඟම ඇති පොලීසියට, විහාරස්ථානයට, දේවස්ථානයට ළමා නිවාසයකට භාර දෙන්න.
මෙවැනි අසරණ අඩියට වැටුණු පවුලක් දුටු විට ඔවුන් ගැන සොයාබලා උපකාර කිරීමට ඔබට හැකි නම් ඔබ ද උදාර මවකි. ඒ නිසා එවැනි අය දැනුවත් කිරීමට ඔබ ද දායක වන්න. ඔබේ දරුවා මෙන්ම අන් දරුවන් ද ඔබේ දරුවන් යැයි සිතන්න.
දරුවෙක් ඔබේ කුස පිළිසිඳ ගත්තේ නම් ඔහුට හෝ ඇයට මෙලොව එළිය දකින්න වරම් ලබා දෙන්න. ඉන් මත්තට ඒ කිරිකැටි බිලිඳා මෙලොව එළිය දකිද්දී ගෙන ආ කර්ම ශක්තිය අනුව ඉතිරි සියල්ල විසඳේවි.
(තරුණි)