දකුණේ පාතාලයින්ගේ රජ වැඩ කිඩ
සුද්දන්ට කුඩු විකුණන අතර පෙම්වතුන්ගේ පසුම්බිවලට විදලා (ජයකාන්ත ලියනගේ ) කොස්ගොඩ, මහපැලෑන ප‍්‍රදේශයේ මුහුදු වෙරළේ සැරිසරමින් විදේශිකයින්ට හෙරොයින් හා ගංජා විකුණන අතරවාරයේ වෙරලේ සිටින තරුණ පෙම්වතුන්ගේ…
සුද්දන්ට කුඩු විකුණන අතර පෙම්වතුන්ගේ පසුම්බිවලට විදලා
(ජයකාන්ත ලියනගේ )
කොස්ගොඩ, මහපැලෑන ප‍්‍රදේශයේ මුහුදු වෙරළේ සැරිසරමින් විදේශිකයින්ට හෙරොයින් හා ගංජා විකුණන අතරවාරයේ වෙරලේ සිටින තරුණ පෙම්වතුන්ගේ මුදල් පසුම්බි හා රන්මාල මංකොල්ලකෑවේ යැයි කොස්ගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරු 2017 දෙසැම්බර් මස 06 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බළපිටිය මහේස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙනවිය නියෝග කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශණය කර පරීක්ෂණවල ප‍්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් මීලග නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද හෙරොයින් හා ගංජා වලට අදාල රස පරීක්ෂක වාර්තාව සම්බන්ධයෙන් සොයා බලන ලෙසද මහේස්ත‍්‍රාත්වරිය මෙහිදී කොස්ගොඩ පොලීසියට දැනුම් දුන්නාය. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ මහපැලෑන, කොස්ගොඩ ලිපිනයේ පදිංචි දිනමුණි ජයත් ජිනේන්ද්‍ර මැන්දිස් (41) නැමැති අයයි.
දැන්වීම
කොස්ගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක පී එම් ඉරාන් මහතාට ලැබුණ තොරතුරකට අනුව සැකකරු අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී සන්තකයේ තිබී මිලිග‍්‍රෑම් 1010 බැගින් වූ ගංජා පැකට් 02 ක් හා හෙරොයින් මිලිග‍්‍රෑම් 580 ක් සොයාගෙන තිබේ. සැකකරුගෙන් තවදුරටත් ප‍්‍රශ්ණ කිරීමේදී 2017.01.01 දින අළුත්ගම කන්දේ විහාරයට ගොස් ආපසු පැමිණෙන අතරතුර මහපැලෑන මුහුදු වෙරළේ විනෝද වෙමින් සිටි තරුණ පෙම් යුවලක් සතු රන්මාලයක් උල් පිහියක් පෙන්වා මංකොල්ලකෑමේ සිද්ධියක් අනාවරණය කරගැනීමටද හැකිවී තිබේ. තම ගෙලබැදි රුපියල් 30,000/- ක් පමණ වටිනා රන්මාලය එදින පෙ.ව. 11.00 ට පමණ කොල්ලකෑවේයැයි නො.92, කොස්ඇටහේන, මීටියාගොඩ ලිපිනයේ පදිංචි හික්කඩුව විතානගේ ලහිරු සදරුවන් (28) නැමැති අය එදිනම කොස්ගොඩ පොලීසියටද පැමිණිල්ලක් කර තිබේ.
එම රන්මාලයෙන් කොටසක් සැකකරුගේ නිවසේ බුදු පහන අසල තිබී කොස්ගොඩ පොලීසිය විසින් සොයාගෙන තිබෙන අතර ඉතිරි කොටස අළුත්ගම ඉයුරෝ ගෝල්ඞ් හවුස් වෙත රුපියල් 12,000/- කට විකුණා තිබියදී සොයාගෙන තිබේ. පැමිණිලිකරු බිය වැද්දීම සදහා යොදාගන්නා ලද උල් පිහියද සැකකරුගේ නිවසේ මේස ලාච්චුවක තිබී සොයාගෙන තිබේ.
සැකකරු විසින් සිදුකරන ලදැයි කියන මහඉඳුරුව ප‍්‍රදේශයේ නිවසකින් මුදල් හා රන්භාණ්ඩ සොරකම් කිරීමක් සම්බන්ධයෙන්ද පොලිසිය විසින් කරුණු අනාවරණය කරගෙන් තිබේ. මේ සම්බන්ධයෙන් 2017.01.26 වන දින නො. 270, වරකාමුල්ල, මහඉඳුරුව ලිපිනයේ පදිංචි කනාටුවගේ දොන් නිරෝෂා කුුුුමුදුනී (36) විසින් කොස්ගොඩ පොලීසියට පැමැණිලි කර තිබෙන අතර එහි රන් දම්වැල් 02 ක්, පංචායුධ 01 ක්, කුඩාමුදු 01 ක් සහ මුදල් රුපියල් 45,000 ක් සොරකකම් කර තිබෙන බවද සදහන් වේ. එයින් පංචායුධය සහ කුඩා මුද්ද සැකකරුගේ නිසසේ තිබී සොයාගෙන තිබෙන අතර රන්මාලය ඉහත කී ඉයුරෝ ගොල්ඞ් හවුස් ආයතනයටම විකුණා තිබියදී සොයාගෙන තිබේ.
කොස්ගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක පී එම් ඉරාන් මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් රංජන් (21930)සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.
ඔරෙක්ස් සමාගම කොල්ල කෑ කොල්ලකරුවන් මාට්ටු
ලංකා ඔරෙක්ස් ලීසිං (එල් ඕ එල් සී) ණය දෙන සමාගමේ ණය එකතු කරන්නන් දෙදෙනකු සතු රුපියල් දෙලක්ෂ තිස්හතර දහස් පන්සයයක (2,34,500/-) මුදලක් යතුරු පැදියකින් පැමිණ පිස්තෝලයක් පෙන්වා මංකොල්ල කෑවේ යැයි බටපොළ පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනාට එක් අයෙකුට බරපතල වැඩ ඇතිව වසර 10 බැගින් සිර දඩුවම් නියම කර එය වසර 10 කට අත් හිටුවීමට බළපිටිය මහේස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙනවිය නියෝග කළාය.
ඊට අමතරව පැමිණිලිකාර පාර්ශවයට රුපියල් 30,000/- ක වන්දි මුදලක් ගෙවීමටද සැකකරුවන්ට නියෝග කළාය.සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනා වරද පිළිගැනීම හේතුවෙන් මෙසේ දඩුවම් නිියම කරන බවද මහේස්ත‍්‍රාත්වරිය දැනුම් දුන්නාය.
මෙසේ දඩුවම් නියම කරන ලද්දේ කෙරදේවල, මාජුවාන ලිපිනයේ පදිංචි රුවන් චමින්ද පණ්ඞ්ත (31)සහ නො. 316/1, හා හවුල්වත්ත, පිට්වැල්ල, බූස්ස ලිපිනයේ පදිංචි සරුක්කාලිගේ මහේෂ් ඩිලංග (25)යන දෙදෙනාටය.
පසුගිය ජූලි 28 වන දින තමා සහ සමාගමේ තවත් අයෙකු අළුත්වල, හේනේගොඩ ප‍්‍රජාශාලාවේ පැවති ණය කරුවන්ගේ රැස්වීමෙන් පසු එකතු කරන ලද ණය මුදල්ද සමග යතුරු පැදියෙන් ආපසු යමින් සිටියදී වෙනත් යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු විසින් ගිනි අවියක් පෙන්වා මුදල් මංකොල්ලකෑවේ යැයි අළුත්දෙණිය කඬේ, යක්කලමුල්ල ලිපිනයේ පදිංචි කේ පී කේ නිශාන්ත ප‍්‍රියලාල් (26) නැමැති අය විසින් බටපොළ පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ. යතුරු පැදියෙන් දෙදෙනෙක් පැමිණි බවත් එහි පිටුපස සිටිඅය ගිනිඅවියක් පෙන්වා මරණ බවට තර්ජනය කර මුදල් මංකොල්ලකන ලද බවත් පැමිණිල්ලේ සදහන් වේ. කොල්ලකරුවන් දෙදෙනා සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය වන සේ හිස් වැසුම් හා ජැකට් පැළඳ සිටි බවද මුදල් කොල්ලකෑමෙන් පසු ඔවුන් ගෝනාපිනුවල දෙසට පලාගිය බවද පැමිණිල්ලේ වැඩි දුරටත් සදහන් වේ.
පැමිණිල්ල ලද සැණින් ක‍්‍රියාත්මක වූ බටපොළ පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස් ඒ යූ ද සිල්වා මහතා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් ප‍්‍රදේශයේ සවිකර තිබූ සීසීටීවී කැමරා පරීක්ෂාකර සැකකරුවන් හදුනාගෙන මාජුවාන, කෙරදේවල ප‍්‍රදේශයේදී ඔවුන් අත් අඩංගුවට ගෙන තිබේ. මංකොල්ලකන ලද මුදලින් රුපියල් දෙලක්ෂ පන්දහසක (2,05,000/-) මුදලක්ද ඔවුන් සන්තකයේ තිබී සොයාගෙන තිබේ. ඉතිරි මුදලින් පාටියක් දැමූ බවද සැකකරුවන් පොලීසියට ප‍්‍රකාශ කර තිබේ. එයට අමතරව කොල්ලය සදහා පැමිණි අංක ඊඊ’-8040 දරණ යතුරු පැදිය හා ගිනිඅවියද පොලීසියේ භාරයට ගෙන තිබේ. මෙම ගිනිඅවිය සෙල්ලම් පිස්තෝලයක් බවද බටපොළ පොලීසිය කියයි.
බටපොළ පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක, එස් ඒ යූ ද සිල්වා මහතාගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක කමල්සිරි මෙන්ඩිස් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.
අත් බෝම්බයක් එක්ක සැකකරු පොලිස් දැලේ
ජීව අත් බෝම්බයක් ලග තබාගෙන සිටියදී අම්බලන්ගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරු 2017 දෙසැම්බර් මස 04 වන දින දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බළපිටිය මහේස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙනවිය නියෝග කළාය.
අත් බෝම්බයට අදාල රස පරීක්ෂක වාර්තාව ලැබී නොමැති බැවින් සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන බවද මහේස්ත‍්‍රාත්තුමිය දැනුම් දුන්නාය.මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ බුද්ධදත්ත මාවත, පොල්වත්ත, අම්බලන්ගොඩ ලිපිනයේ පදිංචි ක‍්‍රිෂාන්ත ලක්මාල් (30) නොහොත් ‘‘පුංචා’’ නැමැති අයයි.
අම්බලන්ගොඩ පොලීසියේ උප පොලිස් පරීක්ෂක ජයසූරිය මහතාට ලැබුණු තොරතුරකට අනුව සැකකරුගේ නිවස වටලා සැකකරු අත් අඩංගුවට ගෙන කරන ලද සෝදිසි මෙහෙයුමකදී සැකකරු සන්තකයේ තිබී ජීව අත් බෝම්බය සොයා ගෙන තිබේ. සැකකරු ගෙවල් බිදුම් හා මංකොල්ලකෑම් රැුසකට සම්බන්ධ අයෙකු බවත් එවන් චෝදනාකවට සිරගතව සිට නිදහස්ව පැමිණ දින කීපයක් ඇතුලත මෙසේ නැවත පොලිස් අත් අඩංගුවට පත්ව තිබෙන බවත් අම්බලන්ගොඩ පොලීසිය කියයි.
සැකකරුට එරෙහිව කාන්තාවකගේ ගෙල බැදි රන්මාලය කඩා ගත්තේ යැයි අම්බලන්ගොඩ පොලීසියට ලැබුණ පැමිණිල්ලක් සම්බන්ධයෙන්ද පරීක්ෂණ පවත්වන බව අම්බලන්ගොඩ පොලීසියේ ප‍්‍රකාශකයෙක් සදහන් කළේය.
අම්බලන්ගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බාලේන්ද්රසීහ මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් ගීතානන්ද සිල්වා (6790) මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.
රන් භාණ්ඩ කොල්ලකරු රිමාන්ඩ්
බළපිටිය, හීනටිය ප‍්‍රදේශයේ නිවසකින් රුපියල් හතලිස් හය දහසක් (46,000/-) වටිනා මුදල් හා රන් භාණ්ඩ සොරකම් කරන ලදැයි අම්බලන්ගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනා 2017 දෙසැම්බර් මස 04 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බළපිටිය මහේස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙනවිය ඊයේ (21) නියෝග කළාය.
සොයා ගැනීමට නියමිත ඉතිරි රන් භාණ්ඩද සොයාගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලෙසද මහේස්ත‍්‍රාත්වරයා මෙහිදී අම්බලන්ගොඩ පොලීසියට දැනුම් දුන්නාය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ ආදාදොල ජනපදය, ආදාදොල, බළපිටිය ලිපිනයේ පදිංචි බී ඞී කසුන් රුවන් කුමාර (34) නොහොත් ‘‘පොඩි පෝල් ’’ සහ හීනටිය, බළපිටිය ලිපිනයේ පදිංචි වලිමුණි රවී සුදර්ශණ (28) නැමැති දෙදෙනාය.
තමා, බිරිය සහ දරුවන් නිවසේ නැති අතරේ නිවසේ තිබූ මුදල් සහ රන් භාණ්ඩ සොරකම් කර තිබෙන බවට හීනටිය, බළපිටිය ලිපිනයේ පදිංචි සෙල්ලකපු ජීවන් කුමාර (36) නැමැති අය අම්බලන්ගොඩ පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ.
අම්බලන්ගොඩ පොලීසියේ පොලිස් සැරයන් ගීතානන්ද සිල්වා (6790) මහතාට ලැබුණ තොරතුරකට අනුව පළමු සැකකරු අත් අඩංගුවට ගෙන ප‍්‍රශ්ණ කිරීමේදී සොරකම පිළිබඳව හා දෙවන සැකකරු පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වී තිබේ. සොරකම් කරන ලද මුද්දක් හා රන් මාලයක්ද අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයකට උකස් කර තිබියදී පොලීසිය විසින් සොයා ගෙන තිබේ. පළමු සැකකරු නිවසේ පිටුපස ජනේලයක අගුල ගලවා නිවසට ඇතුල් වී තිබෙන බවද දෙවන සැකකරු ඊට සහය වී තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.
අම්බලන්ගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බාලේන්ද්රසීහ මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් ගීතානන්ද සිල්වා (6790) සැකකරුවන් උසාවියට ඉදිරිපත් කරමින් නඩුකටයුතු මෙහෙයවීය.
මව සහ බිලිදා ඝාතනය කළ දෛවඥයා තව දුරටත් රිමාන්ඩ්
කොස්ගොඩ, බොරළුකැටිය ප‍්‍රදේශයේ තිස් අට (38) හැවිරිදි සිව් දරු මව සහ ඇයගේ මාස 06 ක් වයසැති කුඩා දරුවා කපා කොටා ඝාතනය කරන ලද සිද්ධියේ සැකකරු 2017 දෙසැම්බර් මස 06 වන දින දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බළපිටිය මහේස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙනවිය නියෝග කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශණය කර ප‍්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද දැන්ම්දුන් මහේස්ත‍්‍රාත්තුමිය මෙම නඩුවේ සාක්ෂි විමසීම 2018 ජනවාරි 02 දින සිදුකරන බවද ප‍්‍රකාශ කළාය.මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ පාසැල ඉදිරිපිට, කටුවිල, අහුන්ගල්ල ලිපිනයේ පදිංචි පොරොවගොඩ ටියුඩර් ද සිල්වා (65) නැමැති අයයි.
සැකකරුගේ දුරකතන විශ්ලේෂණ වාර්තා ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ කොස්ගොඩ පොලීසිය, එහි අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පී එම් ඉරාන් මහතාට ලැබුණ තොරතුරකට අනුව සැකකරු මොරටුව ප‍්‍රදේශයේ සැගවී සිටියදී අත් අඩංගුවට ගෙන තිබේ. සැකකරු මියගිය කාන්තාව, කලක් තිස්සේ ඇසුරු කරන ලද ඇයගේ අනියම් ස්වාමිපුරුෂයා මෙන්ම ඝාතනයට ලක් වූ කුඩා දරුවාගේ පියා බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. මොහු කේන්දර බැලීම, නැකැත් සෑදීම ආදී ජෝතිෂ්‍යය කටයුතු වල නිරතව සිටි අයෙකු බවද කොස්ගොඩ පොලීසිය කියයි.
කොස්ගොඩ, බොරළුකැටියේ පදිංචිව සිටි තොම්මයාහකුරු රේණුකා (38) සහ ඇයගේ මාස 06 ක් වයසැති කුඩා දරුවා පසුගිය 2017 මැයි 09 දා කොස්ගොඩ, බොරළුකැටියේ පිහිටි සිය නිවස තුලදී කපාකොටා ඝාතනය කළේ යැයි සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ඝාතනයන් සිදු කිරීමෙන් පසු සිය යතුරු පැදියෙන් අහුන්ගල්ල, කටුවිල පිහිටි සිය නිවසට පැමිණ, ඉදිරිපිට කඩකාමරයේ සිය යතුරු පැදිය ගාල්කර ඒ මත ඇද සිටි කබාය (ජැකට්) තබා දොරගුලූ ලා පලාගොස් තිබූ බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබිණ.
කොස්ගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පී එම් ඉරාන් මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් රංජන් (21930) සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.
රන් මාලය කොල්ල කෑ සැකකරුට වරෙන්තු
මෝටර් රථයකින් පැමිණ පිටිගල, පොරොවගම බස් නැවතුම් පොලේ රැුදී සිටි කාන්තාවකගේ රුපියල් ලක්ෂයක් (1,00000/-) වටිනා ගෙල බැදි රන්මාලය මංකොල්ලකන ලදැයි පිටිගල පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනාගෙන් පළමු සැකකරු උසාවියේ පෙනී නොසිටීම මත ඇල්පිටිය මහේස්ත‍්‍රාත් අසංක බෝදරගම මහතා පළමු සැකකරුට වරෙන්තු නිකුත් කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශණය කර ප‍්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද වැඩිදුරටත් නියෝග කල මහේස්ත‍්‍රාත්වරයා නඩුව 2017 දෙසැම්බර් මස 07 වන දින නැවත කැදවන බවද දැනුම් දුන්නාය.
මෙසේ වරෙන්තු නිකුත් කරන ලද්දේ කබලූව, තල්ගස්වල, නියාගම ලිපිනයේ පදිංචි කාරියවසම් ලොකුගමගේ අමිල ප‍්‍රසාද් (24) නැමැති අයටය.
සිද්ධියේ අනෙක් සැකකරු වන පිනිකහන, කහදුව ලිපිනයේ පදිංචි මාපලගම මානගේ සුදාරක කාවින්ද (32)නැමැති අය ඊයේ (17) අධිකරණයේ පෙනී සිටියාය. පළමු සැකකරු මුදල් රුපියල් දස දහසක් (10,000/-)සහ රුපියල් ලක්ෂ දෙක (2,00000/-) බැගින් වූ ශරීර ඇප 02 ක් මත සහ දෙවන සැකකරු රුපියල් ලක්ෂය (1,00000/-) බැගින් වූ ශරීර ඇප 02 ක් මත මුදාහැරීමට ඇල්පිටිය මහේස්ත‍්‍රාත්වරයා මීට පෙර නියෝග කර තිබුණි.
තමා බස් රථයක් බලාපොරොත්තුවෙන් පිටිගල, පොරොවගම බස් නැවතුම් පොලේ රැුදී සිටියදී මෝටර් රථයකින් බැස පැමිණි අයෙකු යම් ප‍්‍රදේශයක තොරතුරක් අසමින් තමන් සමීපයට පැමිණ ගෙලබැදි රන් මාලය කොල්ලකා ඔවුන් පැමිණි මෝටර් රථයෙන්ම පලාගියේ යැයි පහලවෙළ, පොරොවගම ලිපිනයේ පදිංචි රණසිංහ වීරක්කොඩි ලීලාවතී (53) නැමැති අය පිටිගල පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ.
පැමිණිලිකාරිය ලබාදුන් මෝටර් රථයේ අංකය ඔස්සේ මංකොල්ලය සදහා යොදා ගන්නා ලද 4190 අංකය දරණ ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයේ තොරතුරු මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සොයාගෙන එහි පළමු අයිතිකරු සිරිඹුර පාර, කරාපිටිය, ගාල්ල ලිපිනයේ පදිංචි චලිත සිතාර කෝකිල ද අල්විස් නැමැති අයෙකු බවට තහවුරු කරගෙන තිබේ. පසුව ඔහු එම ලිපිනයේම පදිංචි හේවගේ නුවන් අබේරත්න නැමැති අයෙකුට විකුණා ඇති බවත් ඔහු බූස්ස බන්ධනාගාරයේ බන්ධනාගාර නියාමකයෙකු ලෙස සේවය කරන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු කරගෙන තිබේ. ඔහු මෝටර් රථ කුලියට ලබාදෙන ආයතනයක් පවත්වා ගෙන යන අයෙකු බවට තහවුරු කරගෙන කොල්ලය සිදු කරන ලද දිනයේ මෙම මෝටර් රථය කුලියට ලබාගෙන ඇති අය සම්බන්ධයෙන්ද පරීක්ෂණ පවත්වා තිබේ.
මෙදින පොකුරු කොටුව, ඇත්කඳුර ලිපිනයේ පදිංචි මාවනානහේවා මංජුල පුෂ්ප කුමාර නැමැති අයෙකු හැදුනුම්පතක් ඉදිරිපත්කර මෙම මෝටර් රථය ලබාගෙන තිබෙන බවත් එය ව්‍යාජ හැදුනුම්පතක් බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. එහි රියදුරු ලෙස ඉදිරිපත් කර ඇත්තේ කාරියවසම් ලොකුගමගේ අමිල ප‍්‍රසාද් (24)නැමැති අයයි. ඒ අනුව පළමු සැකකරු අත් අඩංගුවට ගෙන මංකොල්ලයේ සුලමුල සොයා ගෙන තිබෙන අතර දෙවන සැකකරුද අත් අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් විසින් මංකොල්ලකන ලද රන්මාලය, අම්බලන්ගොඩ උකස් මධ්‍යස්ථානයට රුපියන් 45,000/- කට උකස් කර තිබියදී සොයැගැනීමටද පොලීසිය සමත්ව තිබේ.
සැකකරුවන් සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පැවැත්වීමේදී මෙවැනිම රන්මාල කොල්ලකෑම් 02 ක්, නිවසකට හා වෙළෙඳ සැලකට ඇතුල් වී දේපල සොරකම් කිරීමක් හා දේපල සොරකම් කිරීමකට තැත් කිරීමක් සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වී තිබේ. ඒ අනුව 2014.11.15 දින නාරන් ඕවිට, පොරොවගමදී මහමග ගමන්ගන්නා ලද කාන්තාවකගේ රුපියල් 72,000/- ක් වටිනා ගෙල බැදි රන්මාලයක් කොල්ලකෑම, 2014.12.11 දින දවල් කාලයේ පිටිගල ප‍්‍රදේශයේ නිවසකට ඇතුල් වී රුපියල් 13,500/- ක් වටිනා මුදල් සහ රන්මුදු 03 ක් සොරකම් කිරීම, 2016.10.02 දින නියාගම, තල්ගස්වල ප‍්‍රදේශයේ වෙළෙඳ සැලකට රාත‍්‍රී කාලයේ ඇතුල් වී දේපල සොරකම් කිරීමට තැත් කිරීම සහ 2017.01.11 දින පෝද්දිවෙල, සංවර්ධනගම ප‍්‍රදේශයේ වෙළෙඳ සැලකට ප්‍රෙට්ට‍්‍රල් බෝතලයක් ගන්නා මුවාවෙන් ඇතුල් වී එම වෙළෙඳ සැලේ සිටි කාන්තාවගේ රුපියල් 40,000/- ක් වටිනා ගෙල බැදි රන්මාලය කොල්ලකෑම යන චෝදනා සැකකරුවන්ට එරෙහිව ඉදිරිපත් වී ඇතැයි පිටිගල පොලීසියේ ප‍්‍රකාශකයෙක් සදහන් කළේය.
පිටිගල පොලිස් ස්ථානිධිපති, පොලිස් පරීක්ෂක නිශාන්ත හෙට්ට්ආරච්චි මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් සුනිල් (24091) සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.
ගංජා තොගයක් එක්ක සැකකරු අත් අඩංගුවට
පිටිගල පොලිස් වසමේ මාර්තුපිටිය ප‍්‍රදේශයේ නිවසක සගවා තිබියදී රුපියල් එක්ලක්ෂ හතලිස් දහසක් (1,40,000/-) පමණ වටිනා ගංජා තොගයක් සමග සැකකරුවෙකු පිටිගල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ගංජා තොගය සන්තකයේ තබාගෙන සිටියේ යැයි කියන මැදගොඩ, මාර්තුපිටිය, මත්තක ලිපිනයේ පදිංචි මත්තකගමගේ සමන් ප‍්‍රසන්න (38) නැමැති අයද පිටිගල පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. සැකකරු අද (19) ඇල්පිටිය මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සිදුකරන ලද මෙම වැටලීමේදී ගංජා කිලෝ ග‍්‍රෑම් 1 යි ග‍්‍රෑම් 200 ක ප‍්‍රමාණයක් සැකකරු සන්තකයේ තිබියදී මෙසේ අත් අඩංගුවට ගත් බව පිටිගල පොලීසිය කියයි. පිටිගල පොලීසියේ පොලිස් කොස්තාපල් සුරංග කුමාර (86583) මහතාට ලැබුණ තොරතුරකට අනුව සැකකරු අත් අඩංගුවට ගෙන ප‍්‍රශ්ණ කිරීමේදී හෙලිවුණ තොරතුරු මත සැකකරුගේ නිවසේ තිබී ගංජා තොගය සොයාගෙන තිබේ. සැකකරු දැනට මාස කීපයක සිට ගංජා ජාවාරමේ නිරතව තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. සැකකරු ගංජා රැුගෙන එන්නේ කොහෙන්ද යන්න සම්බන්ධයෙන් තහවුරු කර ගැනීම සදහා තව දුරටත් පොලිස් පරීක්ෂණ පවත්වන බවද පිටිගල පොලීසියේ ප‍්‍රකාශකයෙක් සදහන් කළේය.
පිටිගල පොලිස් ස්ථානිධිපති, පොලිස් පරීක්ෂක නිශාන්ත හෙට්ට්ආරච්චි මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන්වරුන් වන සුනිල් (24091), පිටිගල (36620), පොලිස් කොස්තාපල්වරුන් වන ජයලත් (12911), සෙනෙවිරත්න (73024), සුරංග කුමාර (86583), පොලිස් කොස්තාපල් රියදුරු සුසන්ත (80455) යන නිලධාරීන් විසින් වැටලීම සිදුකරන ලදී.





