තේරීම් කාරක සභාවට එ.ජා.ප. නියෝජිතයිනුත් නම් කරයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නියෝජිතයින් නම් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව පිළිබඳව වැඩි අවධානයක් යොමුව තිබේ. පසුගිය 19 වන දා අවසන් වරට රැස්වූ පාර්ලිමේන්තු…
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට නියෝජිතයින් නම් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව පිළිබඳව වැඩි අවධානයක් යොමුව තිබේ.
පසුගිය 19 වන දා අවසන් වරට රැස්වූ පාර්ලිමේන්තු සභාවාරය මිනිත්තු කිහිපයකට සීමා වූයේ, එදින පක්ෂ නායක රැස්වීමේදී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කිරීමට ගත් තීන්දුව සියලු පක්ෂ වෙත දැනුම් දෙමිනුයි.
ඊට හේතු වූයේ, පාර්ලිමේන්තුවේ කටයුතු ගැටලුවකින් තොරව පවත්වාගෙන යාම සඳහා මෙම කමිටුව පත් කර ගැනීම ප්‍රධාන සාධකයක් බවට පත්ව තිබීම හේතුවෙනි.
නමුත් පාර්ලිමේන්තුවේ බහුතර නියෝජනය සම්බන්ධයෙන් මතුව ඇති විවාදාත්මක තත්ත්වයක් හේතුවෙන් අදාළ කාරක සභාව පත් කිරීම මේ වන විට ගැටලුකාරී තත්ත්වයකට පත්ව තිබේ.
කථානායකවරයා සභාපතිත්වය දරණ කාරක සභාවට දේශපාලන පක්ෂ නියෝජිතයින් 12 දෙනෙකු පත් කළ යුතුයි.
ඒ අනුව ආණ්ඩු පක්ෂය ඊයේ පස්වරුවේ සිය නියෝජිතයින් 7 දෙනා නම් කර පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට යොමු කර තිබිණි.
එම 7 දෙනා වන්නේ දිනේෂ් ගුණවර්ධන, එස්.බී. දිසානායක, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද සමරසිංහ, විමල් වීරවංශ, තිලංග සුමතිපාල, උදය ගම්මන්පිල යන මහත්වරුන්.
ජනතා විමුක්ති පෙරමුණ ද සිය නියෝජිතයින් ලෙස විජිත හේරත් සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මන්ත්‍රීවරුන් මේ වන විට නම් කර අවසන් ය.
මේ අතර එක්සත් ජාතික පෙරමුණ ද නියෝජිතයින් 5 දෙනෙකු අද රාත්‍රියේ රැස් වූ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී නම් කර තිබේ.
එම 5 දෙනා වන්නේ ලක්ෂ්මන් කිරිඇල්ල, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, පාඨලී චම්පික රණවක හා රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් ය.
ඒ සමග මේ වන විට නියෝජිතයින් 14 දෙනෙකුගේ නම් තේරීම් කාරක සභාවට යෝජනා වී ඇති අතර දෙමළ ජාතික සන්ධානය තේරීම් කාරක සභා නියෝජනය පිළිබඳව සිය ස්ථාවරයන් මෙතෙක් ප්‍රකාශ කර නොමැත.
අප පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේ, ඔවුන් ද මන්ත්‍රීවරුන් දෙදෙනෙකු යෝජනා කිරීමට සූදානමින් සිටින බව ය.
ඒ අනුව පවතින තත්ත්වය හමුවේ තේරීම් කාරක සභාවේ කථානායකවරයා හැර දැනට 12කට සීමා වී ඇති මන්ත්‍රී නියෝජනය ඉහළ දැමීමට සිදු වනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ ය.
මේ අතර හෙට දිනයේ පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය සහ තානාපතිවරුන්ට කථානායක විශේෂ ආරාධිත ගැලරියත් වසා දැමීමට තීරණය කර තිබේ.
වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා නිව්ස්ෆස්ට් කළ විමසීමකදී සඳහන් කළේ, පාර්ලිමේන්තු සංකීර්ණයම ඔවුන්ට තහනම් ප්‍රදේශයක් වනු ඇති බව ය.
හෙට පෙරවරු 10.30ට පාර්ලිමේන්තුව රැස්වීමට පෙර කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් ද පැවැත්වීමට නියමිත බව අප පාර්ලිමේන්තු වාර්තාකරු සඳහන් කළේ ය.
(සිරස)
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2