“තරුණ තරුණියන් නැගී සිටිය යුතු කාලය එළඹිලා”

වඳ පීදුණු දේශපාලන පක්ෂ-පාරාජිකා වූ නායකයින් පළවා හරිනු..! රට අනතුරේ..! (සුජිත් මංගල ද සිල්වා) දේශපාලන වශයෙන් වඳ පීදුණු දේශපාලන පක්ෂ සහ මහළු දේශපාලකයින් කෙරෙහි තව දුරටත් විශ්වාසය තබා සිය අනාගතය අඳුරු…
වඳ පීදුණු දේශපාලන පක්ෂ-පාරාජිකා වූ නායකයින් පළවා හරිනු..!
රට අනතුරේ..!
(සුජිත් මංගල ද සිල්වා)
දේශපාලන වශයෙන් වඳ පීදුණු දේශපාලන පක්ෂ සහ මහළු දේශපාලකයින් කෙරෙහි තව දුරටත් විශ්වාසය තබා සිය අනාගතය අඳුරු කර ගන්නවාද,නැති නම් උගත්,බුද්ධිමත් සහ ජව සම්පන්න තරුණ පරපුරට රට භාර දී සෞභාග්‍ය කරා යනවාද යන්න පිළිබඳව ජනතාව වහාම තීරණය කළ යුතු යැයි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ නායක අරුණ සොයිසා මහතා අවධාරණය කර සිටියි.
ඔහු මේ අදහස් පළ කළේ සිය නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය,රටේ තරුණ තරුණියන් නියෝජනය කරන ශ්‍රී ලංකා තරුණ පෙරමුණ වෙනුවෙන් කැප කරමින් එම තරුණ තරුණියන් සමග කොළඹදී පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදීය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ නායක අරුණ සොයිසා මහතා මෙසේද කීය. රටක වගකීම සහ අනාගතය රැදී පවතින්නේ ඒ රටේ තරුණ පරපුර මත වුණත් අවාසනාවකට වගේ අපේ රටේ තරුණ පරපුර අපේ දේශපාලන නායකයින් සහ දේශපාලන පක්ෂ සම්පූර්ණයෙන්ම අමතක කර තිබෙනවා. 1948 නිදහස කිසිදු ලේ වැගරිමකින් තොරව ලබා ගත්තාය කීයා අප උදම් ඇනුවද ඉතිහාසයේ අපේ මේ මාතෘ භුමියේ උන්නතිය සහ අභිමානය වෙනුවෙන් ලේ හැලූ අති විශාල තරුණ තරුණියන් ප‍්‍රමාණයක් අමතක කර තිබෙනවා.
දැන්වීම
මේ පසුබිම යටතේ අපේ රට වර්ථමානයේදී ඉතිහාසයේ කවර කාලයකටත් වඩා අවාසනාවන්ත සහ දරුණුම ඉරණමකට මුහුණ දී සිටින බව අප අමතක නොකළ යුතුයි. නිදහසින් පසු බිහිවු කිසිදු දේශපාලන ව්‍යාපාරයකට මාතෘ භූමිය වෙනුවෙන් සිය යුතුකම සහ වගකීම නිසි ආකාරයෙන් ඉටු කිරිමට නොහැකි වි තිබෙනවා.එම අවාසනාවන්ත තත්තවය හේතුවෙන් දකුණේ සහ උතුරේ තරුණ කැරළි දෙකක් ඇති වුණා. 1971 සිදුවූ දකුණේ තරුණ නැගිටිම සහ 1975 යාපනයේ නගරාධිපති දොරේ අප්පා ඝාතනය කරමින් ත්‍රස්තවාදයක් දක්වා වර්ධනය වූ උතුරේ තරුණ නැගිටිම හේතුවෙන් හැට දහසකට අධික තරුණ තරුණියන්ගේ ජීවිත ප්‍රමාණයක් අපේ මාතෘ භූමියට සහ ඒ අයගේ දෙමව්පියන්ට අහිමි වුණා.
ඉතිහාසයේ සිදු වූ මෙම වැරැද්ද නැවත මේ සමාජයේ සිදු නොවන්නට අප කවුරුත් වග බලා ගත යුතුයි. මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ ධාරාවට මේ රට ගොඩනැගීමට නොහැකි වී තිබෙන බව පුරා හැත්තෑ වසරක ඉතිහාසයේදී ඔප්පු වී තිබෙනවා.එම නිසා තව දුරටත් මේ වඳ පීදුණු දේශපාලන පක්ෂවලට සහ මහළු දේශපාලනික චරිතවලට රට භාර දෙනවාද නැති නම් තරුණ පරපුරට රට භාර දෙනවාද යන්න කියා ජනතාව තීරණය කළ යුතුයි.
මේ රටේ දේශපාලනය හැරුණු කොට සෑම අංශයකම පෙරමුණ ගෙන සිටින්නේ තරුණ පරපුරයි.එසේ නම් කිසිදු අලුත් අදහසක්,දර්ශනයක් සහ වැඩ පිළිවෙළක් නොමැති මහලු කණ්ඩායමකට රට භාර දී ඔබ අපේක්ෂා භංගත්වයෙන් සිටින්නේ ඇයි..?
තරුණ පරපුර නියෝජනය කිරීම සඳහා ඉතිහාසය විසින් නිර්මාණය කරන ලද ජනතා විමුක්ති පෙරමුණ සිය කාර්ය භාරය නිසි ආකාරයෙන් සිදු නොකරන අතර එම පක්ෂය ඉතිහාසයේ දේශපාලනකුණු බක්කියට වැටෙමින් සිටිනවා. මේ පසුබිම යටතේ රටේ සියලුම දිස්ත‍්‍රික් නියෝජනය කරමින් සිංහල, දෙමළ සහ මුස්ලිම් යන මේ මාතෘ භූමියේ උපන් සියලුම තරුණ තරුණියන් එකම දේශපාලන වේදිකාවකට ගෙන එමින් සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ නායකයා ලෙස මම මගේ මේ පක්ෂය ශ‍්‍රි ලංකා තරුණ පෙරමුණ ප්‍රධාන ඒ තරුණ තරුණියන්ට භාර දුන්නා.
උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ තරුණ පරපුර මේ රට භාර ගත යුතු අතර එම ඓතිහාසික කාර්යභාරය,වගකීම සහ යුතුකම ඉටු කිරීම සඳහා පොදු ජනයා සැදී පැහැදී සිටිනවා.
අනගතයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය ඇතුළු ජාතික මැතිවරණ වගේම පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ සඳහා ද ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය,ශ්‍රී ලංකා තරුණ පෙරමුණ හරහා උගත්,බුද්ධිමත් සහ කාර්ය ශුර තරුණ තරුණියන් කණ්ඩායමක් ඉදිරිපත් කරමින් මේ රටේ විශාල පෙරළියක් සිදු කිරීමට අවශ්‍ය සියලු කටයුතු යොදා තිබෙනවා.