අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

තරුණ තරුණියන්ගේ නව නිපයුම් සිතිවිලිවලට මග පෙන්වීමක්

නවෝත්පාදනය, නිර්මාණශීලීත්වය සහ ව්‍යවසායකත්වය (ICE2017) ග‍්‍රාමීය සිසුන්ගේ නවෝත්පාදන හැකියාව වර්ධනය කරවන නිර්මාණාත්මක චින්තනය පිළිබදව තෙදින පුහුණු වැඩමුළුවක් ගාල්ල සීනිගම ගුණ ජය සතුට පදනමේ දී…

නවෝත්පාදනය, නිර්මාණශීලීත්වය සහ ව්‍යවසායකත්වය (ICE2017)

ග‍්‍රාමීය සිසුන්ගේ නවෝත්පාදන හැකියාව වර්ධනය කරවන නිර්මාණාත්මක චින්තනය පිළිබදව තෙදින පුහුණු වැඩමුළුවක් ගාල්ල  සීනිගම ගුණ ජය සතුට පදනමේ දී පැවැත්වුණි. මෙම වැඩමුළුව සිංගප්පූරුවේ තාක්‍ෂණය සහ සැළසුම් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුරංග නානායක්කාර මහතා විසින් පවත්වන ලද අතර අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය, CYRUP පුද්ගලික සමාගම සහ ගුණ ජය සතුට පදනම විසින් එය සංවිධානය කෙරුණි.

 සිසුන්ගේ සිතීමේ හැකියාව වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කෙරුණු මෙමගින් එදිනෙදා ජීවිතයේ පැන නගින ගැටලු විසදීම සදහා නවෝත්පාදන සැළසුම් යොදා ගැනීමටත්, ඒවා තේරුම් ගැනීමට සහ අගය කිරිමටත් මග පෙන්වන ලදී. මේ සදහා දුෂ්කර ගම්මාන දහතුනක් නියෝජනය කරමින් සිසුන් විසිදෙනෙකු පමණ සහභාගි විය.

වැඩමුළුව තුළ දී තම තමන්ගේ අත්දැකීම් යොදා ගනිමින් සහ නිර්මාණශීලි නව අදහස් තුළින් ගැටලු විසදීමට ඔවුන්ට මග පෙන්වන ලදී. එහි දී ගැටලු විසදීම, නිර්මාණාත්මක සංකල්ප සහ මූලාදර්ශ තාක්‍ෂණික ක‍්‍රම ආදී නවීනතම සැළැසුම් ක‍්‍රම ආදිය පිළිබදව සිසුනට හදුන්වාදෙන ලදී. එමෙන්ම විවිධ ක්‍ෂෙත‍්‍රයන්හි සාර්ථකත්වයට පත් පුද්ගලයන් වැඩමුළුවට ආරධනා කරමින් ඔවුන්ගේ ජීවන අත්දැකීම් සිසුන් සමග බෙදා ගනිමින් සිසුන් දිරිමත් කරවීමද මෙහි දී සිදු කෙරුණි.

දැන්වීම

වැඩමුළුව තුළ දී සහභාගි වූවන් විසින් ගැටලු හදුනා ගැනීම, විසදුම් සෙවීම, සාධක සහිතව සංකල්පය වර්ධනය කිරීම, මූලාදර්ශ සැකසීම සහ අවසානයේ ආරාධිත සම්භාවනීය අමුත්තන් හමුවේ මිනිත්තු 03ක ඉදිරිපත් කිරීමක් සිදු කළ යුතු වේ. මෙහි දී සහභාගි වූවන් විසින් නිර්මාණය කෙරුණු නවෝත්පාදක අදහස් අතර සාමාන්‍ය වතුර බෝතලයක් ශරීරයට අවශ්‍ය දෛනික ජල අවශ්‍යතාව පිළිබදව සටහන් කරන සහ මතක් කරවන ස්මාර්ට් වතුර බෝතලයක් බවට පත්කළ හැකි උපකරණයක්, වෙබ් අඩවි නිර්මාණකරණයේ යෙදෙන්නන්හට ඇතිවන සිංහල භාෂාමය ගැටලු  නිරාකරණය කිරිම සදහා වෙබ් අඩවියක් වැනි නව නිර්මාණ සංකල්ප රාශියක් විය. මෙයට සහභාගී වූ කණ්ඩායම් කිහිපයක්ම වැඩමුළුවේ දී ඉදිරිපත් කළ නව නිර්මාණ අදහස් නිෂ්පාදනයක් ලෙස සමාජගත කිරිමට තීරණය කර තිබු අතර එයට අවශ්‍ය මූලික කටයුතු ද අරඹා තිබුණි.

වැඩමුළුව හරහා නිර්මාණාත්මක චින්තනය තුළින් ග‍්‍රාමීය තරුණ තරුණියන්ගේ නවෝත්පාදන සංකල්ප සහ ජීවන කුසලතා වර්ධනය කිරීම සාර්ථකව සිදුකර ඇති බව එයට සහභාගී වූ ආරාධිතයන් විසින් එය ඉතා අගය කළ අතර මෙය පුළුල් පිරිසක් කරා ව්‍යාප්ත කරවීමේ වැදගත්කම ද එහි දී අවධාරණය කෙරුණි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
තරුණ තරුණියන්ගේ නව නිපයුම් සිතිවිලිවලට මග පෙන්වීමක් | Lanka Newsweek