අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

තරුණ ඉල්ලීම් ගැන දේශපාලන පක්ෂවල ස්ථාවරය පැහැදිලි කරනු

තරුණ ඉල්ලීම් ගැන දේශපාලන පක්ෂවල ස්ථාවරය පැහැදිලි කරනු

තරුණ පරපුරේ සමාජ අරගලය අවතක්සේරු නොකරනු තරුණ තරුණියන්ට සියලු දෙනා ඇහුම්කන් දිය යුතුයි රටේ ආණ්ඩුකරණයට අදාළව තරුණ අරගලකරුවන් ඉදිරිපත් කරන දේශපාලන ප්‍රතිසංස්කරණ යෝජනා සම්බන්ධයෙන් වහාම සිය ස්ථාවරය…

තරුණ පරපුරේ සමාජ අරගලය අවතක්සේරු නොකරනු 

තරුණ තරුණියන්ට සියලු දෙනා ඇහුම්කන් දිය යුතුයි 

රටේ ආණ්ඩුකරණයට අදාළව තරුණ අරගලකරුවන් ඉදිරිපත් කරන දේශපාලන ප්‍රතිසංස්කරණ යෝජනා සම්බන්ධයෙන් වහාම සිය ස්ථාවරය පැහැදිලි කිරීමට රටේ සියලු දේශපාලන බලවේග ක්‍රියා කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
 
ශ්‍රී ලංකාවේ පැන නැගී ඇති දැවැන්ත අර්බුදය හමුවේ රටේ තරුණ පරපුර ප්‍රමුඛ කර ගත් සිවිල් ජනතාව සක්‍රීය ලෙස සිය ආකල්ප හඬ නඟා ප්‍රකාශ කරමින් සිටිති. පසුගිය දිනවල රටේ විවිධ ප්‍රදේශ මුල් කර ගනිමින් පැවැති ඔවුන්ගේ විරෝධතාවයන් මේ වන විට අග නුවර කේන්ද්‍ර කර ගනිමින් අඛණ්ඩවම පවත්වා ගෙන යමින් සිටියි. එහිදී ඔවුන් ප්‍රදර්ශනය කර ඇති අධිෂ්ඨානශීලි බව සහ විනයානුකූල භාවය පිළිබඳව සමස්ත ජනතාවගේම ප්‍රශංසාව හිමි විය යුතුය. 

එමෙන්ම රටේ ආණ්ඩුකරණයට අදාළව ඔවුන් ඉදිරිපත් කරන ප්‍රතිසංස්කරණ යෝජනා පිළිබඳව සමස්ත රට වැසියන්ගේ අවධානයද දැඩි ලෙස යොමු කළ යුතුව තිබේ. එහෙත් මේ දක්වා මේ රටේ ප්‍රමුඛ දේශපාලන පක්ෂ සහ බලවේගයන් ඔවුන්ගේ එම ඉල්ලීම් කෙරෙහි දක්වන ප්‍රතිචාරය පිළිබඳව විධිමත් ලෙස රටට කරුණු පැහැදිලි කිරීමක් සිදු කර ඇති බවක් නොපෙනේ. 

දැන්වීම

එබැවින් අප මේ මොහොතේ රටේ සියලු දේශපාලන බලවේගයන් වෙතින් ඉල්ලා සිටින්නේ සාමකාමී අරගලයක නියැලෙමින් සිටින එම තරුණ පරපුරට නොපමාව කන්දෙමින් ඔවුන් අපේක්ෂා කරන දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව ඔවුන් සමග විධිමත් සංවාදයකට යොමු වන ලෙසය. ඒ අනුව රටේ සෑම දේශපාලන ව්‍යාපාරයක්ම ඒ පිළිබඳව දක්වන සිය ස්ථාවරය ප්‍රසිද්ධියේම ප්‍රකාශයට පත් කරන ලෙසටය. 

එහිදී අප තව දුරටත් අවධාරණය කරන්නේ මෙම තරුණ පිරිස කරන්නා වූ දැවැන්ත සමාජ අරගලය කිසිසේත්ම අවතක්සේරු නොකරන ලෙසය. මේ රටේ එක් එක් දේශපාලන බලවේගයන්ට බලය සඳහා වන තමන්ගේ වූ මූලික ප්‍රතිපත්ති සහ සම්ප්‍රදායන් තිබිය හැකි නමුත් රටේ තරුණ පරපුර නියෝජනය කරන දැවැන්ත බලවේගයක් මේ ආකාරයට ඉතාමත්ම සක්‍රීයව සිය අභිලාෂයන් ප්‍රකාශ කරද්දී, ඒ කෙරෙහි සංවේදී ව ඔවුන්ව දිරිමත් කිරීම අපගේ යුතුකමයි. 

එමෙන්ම මෙම පරම්පරාව අපේක්ෂා භංගත්වයකට පත් වුව හොත්, එම තත්ත්වය ඇතැම් විට පටු අරමුණුවලින් ක්‍රියා කරන බාහිර පාර්ශ්වයන් විසින් කූට සහ සාහසික ලෙස යොදා ගැනීමට ඇති ඉඩකඩ ද ගැඹුරින් සලකා බැලිය යුතුය. කිනම් තත්ත්වයක් යටතේ හෝ සාමයට බාධාවක් ඇති වීමට මේ රටේ වගකීමක් සහිත කිසිදු පාර්ශ්වයක් ඉඩ නොතැබිය යුතුය. 

ඒ අනුව එහි දී පළමු වගකීම පැවරෙන්නේ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවටය. මේ රටේ අනෙකුත් දේශපාලන බලවේගයන්ට ද එහිදී පැවරෙන වගකීම කිසිසේත්ම දෙවැනි වන්නේ නැත. ඒ අනුව අප නැවත නැවත් රජයෙන් සහ සියලුම දේශපාලන බලවේගයන්ගෙන් ඉල්ලා සිටින්නේ තරුණ පරපුරේ හඬට නොපමාව කන් දෙන ලෙසටය. රටේ සිදු විය යුතුව ඇතැයි ඔවුන් අපේක්ෂා කරන දේශපාලන ප්‍රතිසංස්කරණ යෝජනා පිළිබඳව සිය ස්ථාවරය ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරන ලෙසටය. 
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
තරුණ ඉල්ලීම් ගැන දේශපාලන පක්ෂවල ස්ථාවරය පැහැදිලි කරනු | Lanka Newsweek