ණයට කෑම-විකුණන් කෑම-හොරා කෑම ආණ්ඩුවේ තුන් සූත්‍රය වෙලා

රටේ පළාත් නවයත් ඒ ඒ රටවලට විකුණන්න ඉඩ තිබෙනවා රටේ අන්තිම ජාතික සම්පත් ටිකවත් බේරා ගන්න තරුණ පරපුර පෙරට ආ යුතුයි (හේෂාන් සම්පත්, එරන්දි අනුරාද, ගීත් තාරුක සහ ෂෙහාරි දුලංජලි) ජනාධිපතිවරයා ප්‍රධාන…
රටේ පළාත් නවයත් ඒ ඒ රටවලට විකුණන්න ඉඩ තිබෙනවා
රටේ අන්තිම ජාතික සම්පත් ටිකවත් බේරා ගන්න තරුණ පරපුර පෙරට ආ යුතුයි
(හේෂාන් සම්පත්, එරන්දි අනුරාද, ගීත් තාරුක සහ ෂෙහාරි දුලංජලි)
ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුව ක්‍රියා කරන්නේ ණයට කෑම, විකුණන් කෑම සහ හොරා කෑම යන තුන් සූත්‍රයට අනුව යැයි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා අවධාරණය කර සිටියි.
සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහෝදරයා මේ බව හෙළි කර සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ එම සහෝදරයා මෙසේ ද කීය.
රටේ මේ වන විට උද්ගත වී තිබෙන උග්‍ර අර්බුදකාරී තත්ත්වය ස්වභාවිකව පැන නැගුණු විපතක් නොව පාලකයින්ගේ වැරදි නිසා අත් වූ තත්ත්වයක් බව කිව යුතුයි. මේ දක්වා රට පාලනය කළ සහ වර්තමාන පාලනය කරන සියලු දෙනා මේ අර්බුදයට වග කිව යුතුයි. ඒ අය අනුගමනය කළ ගමන්මගේ ප්‍රතිවිපාකවලට අද මුහුණ දෙන්නේ අසරණ ජනතාවයි. මේ සියලු දෙනා ක්‍රියා කළේ, ණයට කෑම, විකුණන් කෑම සහ හොරා කෑම යන තුන් සූත්‍රයට අනුවයි.
දැන්වීම
දිගින් දිගටම මේ ක්‍රියාවලිය ගෙන යාමෙන් මුළු මහත් රටම දැවැන්ත අර්බුදයකට ගිහින් තිබෙනවා. ගොඩ එන්නේ කොතැනින්දැයි හිතා ගන්න බැහැ. රට ගොඩ නැගීමට තිබෙන සම්පත් හිටපු පාලකයෝ සහ වර්තමාන පාලකයෝ මාරුවෙන් මාරුවට විකුණනවා.
විකුණා දැමූ ජාතික දේපොළ පවා ආපසු ගන්නවා කියා බලයට ආ මේ පාලකයින් පුත්තලම් දිස්ත්‍රික්කයේ, කෙරවලපිටිය තාප විදුලි බලාගාරය ඇමෙරිකාවටද, කොළඹ වරාය බටහිර ජැටිය ඉන්දියාවටද, "Port City" ය චීනයට වගේම ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවටත් දෙන්න ක්‍රියා කර තිබෙනවා.
මේ වන විට රටේ පවතින තෙල් අර්බුදය හමුවේ මේ තෙල් ටැංකි සංකීරණය දැවැන්ත ධන නිධානයක් කර ගත හැකි බව පැහැදිලිව කිව යුතුයි. අපේ රටේ බල ශක්තිය කෙරෙහි ඉන්දියාව, චීනය සහ ඇමෙරිකාව ආධිපත්‍යය පතුරවමින් යනවා. තෙල් ටැංකි ඉන්දියාවට දීමෙන් පසු සාම්පූර් ප්‍රදේශයේ සූර්ය බල ශක්ති උත්පාදනයට ගිවිසුම් අත්සන් කිරීම දක්වා දුර ගොස් තිබෙනවා. යුග දනවි බලාගාරය ඇමෙරිකාවට දී තිබෙනවා. අපේ රටේ බල ශක්ති ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම විදේශයන්ට ලබාදී අවසානයි.
මේ යන විදිහට වැඩි කල් යන්න පෙර අපේ රටේ පළාත් නවය එක් එක් රටවල්වලට ලබා දෙන්න කටයුතු කළ හැකියි. ජනතාවට තෙල් පෝලිම්වල සිටීමට සිදුව තිබෙන්නේ, මේ පාලකයින් අනුගමනය කළ ක්‍රියාමාර්ග නිසයි. හැමදේටම පෝලිම් නිර්මාණය වී තිබෙනවා. රටක් ලෙස අප මේ විදිහට පෝලිම්වල ඉන්න ඕනෑද..? රටක් විදිහට ඩොලර් හිඟා කන්න ඕනෑද..?
අපේ රටේ හිටපු පාලකයින් වගේම වත්මන් පාලකයින් ද පොහොසත් වෙලා. ජනතාව දුප්පත් වෙලා. රටක් විදිහට හැමෝම දුප්පත් වෙනවා නම්, එතන ප්‍රශ්නයක් තිබෙනවා කියලා හිතන්න පුළුවන්. නමුත් මේ තත්ත්වය පිළිබඳව හැමෝම කල්පනා කරන්න ඕනෑ. ඔවුන් හැමදාමත් තමන්ගේ ලාභය තර කර ගනිමින් යනවා. විශේෂයෙන්ම තරුණ පරම්පරාව මේ තත්ත්වය තේරුම් ගන්න ඕනෑ. තේරුම් නොගත හොත් අපිට රටක් විදිහට නැගිටීමක් නැහැ.
අනාගතයේ රට ගොඩනගන්න තිබුණු ප්‍රධාන සම්පතක් වූ තෙල් ටැංකි පද්ධතිය අවුරුදු 50කට ඉන්දියාවට දී තිබෙනවා. බ්‍රිතාන්‍ය එදා තෙල් ටැංකි 101ක් නිර්මාණය කළා. ටැංකි දෙකක් දෙවන ලෝක යුද්ධයේදී විනාශ වුණා. මෙම ටැංකිවල උස අඩි 45යි. ඒවා කිලෝ මීටර් 56කට වඩා දිග නළ පද්ධතියකින් එකිනෙක සම්බන්ධ වෙනවා. එදා තිබුණු උපරිම තාක්ෂණය යොදා ගෙන මේ තෙල් ටැංකි ඉදි කරනු ලැබ තිබෙනවා. සුළි සුළං වගේම සතුරු ප්‍රහාරවලින් විනාශ කළ නොහැකි විදිහට ආරක්ෂාකාරීව නිර්මාණය කර තිබෙනවා.
ත්‍රීකුණාමලය ලෝකයේ ගැඹුරුම ස්වභාවික වරාය නිසා ඉන් ප්‍රයෝජනය ගන්න ඩොල්පින් ජැටිය ඉදි කර තිබෙනවා. බ්‍රිතාන්‍ය ජාතිකයින් අපේ රටින් යද්දී තෙල් ටැංකි ටික දීලා ගියේ නැහැ. නමුත් 1964දී ප්‍රගිතිශීලී පියවරක් අනුගමනය කරමින් පවුම් දෙලක්ෂ පනස් දහසක් ගෙවලා ශ්‍රී ලංකාවට ඒ තෙල් ටැංකි යළි පවරා ගත්තා. ඒ මුදල වාරික තුනකින් ගෙව්වේ.
එතැන් සිට මේ දක්වා තිබුණු ආණ්ඩු මේ තෙල් ටැංකි සංකීරණයෙන් ජාතික ආර්ථිකයට ප්‍රයෝජන ගන්න ක්‍රියා කළේ නැහැ. 2002 රනිල් වික්‍රමසිංහ මහත්තයා එම ටැංකි අවුරුදු 35කට ඉන්දියාවට බදු දුන්නා. නමුත් ඉන් මාස හයක් ඇතුළත රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව බිඳ වැටුණා. ඒ නිසා අදාළ ගිවිසුම වලංගු කර ගන්න බැරි වුණා. නමුත් ඉන්දියාව බලහත්කාරයෙන් මේ ටික පරිහරණය කළා.
මේ ගිවිසුම්වලට විරුද්ධව අපේ පක්ෂයෙන් අධිකරණයට ගියා. නමුත් 2017දී යළිත් වරක් මේ ටික දෙන්න රනිල් වික්‍රමසිංහ ක්‍රියා කළා. අධිකරණයේ මැදිහත්වීම නිසා ඒක කර ගන්න බැරි වුණා. නමුත් දේශප්‍රේමී වර්තමාන ආණ්ඩුවේ උදය ගම්මන්පිලලා සහ විමල් වීරවංශලා මේ තෙල් ටැංකි සංකීර්ණය අවුරුදු 50කට ඉන්දියාවට දුන්නා. අපි තවත් බලා සිටිය යුතුද..? අපි තවත් ඉවසිය යුතුද..?
අපේ රටේ අවසන් සම්පත් ටිකත් විදේශවලට විකුණා දමමින් සිටිනවා. මාස තුනකට අපේ රටේ තෙල් සැපයුම සඳහා ප්‍රමාණවත් ගබඩා පහසුකම් මෙහි තිබෙනවා. මේ සම්පත ගැන විගණනයක් කරන්න කියලා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විගණකාධිපතිට නිර්දේශ කළා. විගණකාධිපති ලබා දුන් වාර්තාව අනුව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි යොදා ගැනීමෙන් උතුරු පළාතේ තෙල් ප්‍රවාහන වියදම විශාල වශයෙන් අඩු කළ හැකි බව පෙන්වා දුන්නා. නමුත් විකුණන් කෑම, ණයට කෑම සහ හොරා කෑම කරන පාලකයන් මේ නිර්දේශ ගණන් ගත්තේ නැහැ. ලෝකයේ තෙල් මිල අඩු වන අවස්ථාවල මේ ටැංකි ටික පුරවා ගන්න පුළුවන්. රට අභ්‍යන්තරයේ පාවිච්චියටත් විදේශයන්ට අලෙවි කරන්නත් මේ ගබඩා යොදා ගන්න පුළුවන්.
ප්‍රධාන කරුණු තුනක් මත අපේ රටේ සම්පත් රැක ගන්න අප මැදිහත් වෙනවා. රට මෙතනින් එහාට ගොඩනගන්න සම්පත් රැක ගන්න ඕනෑ. අපේ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් මේ සම්පත් රැක ගන්න ඕනෑ. අපේ රටේ බල ශක්ති සැපයුම ඉන්දියාවට, චීනයට, සහ ඇමෙරිකාවට පවරා දීමෙන් අපට ඒ රටවල්වල ප්‍රාන්ත බවට පත් වෙන්න වෙනවා. ඒ නිසා මේ ගෙන යන ක්‍රියාවලිය දෙස කිසිසේත් බලා ඉන්න බැහැ.
මේ ජාතික සම්පත් විකුණා මේ පාලකයින් ඔවුන්ගේ කොමිස් ලෙස සඟවා ගත් මුදල්වලින් කොටසක් පැන්ඩෝරා පේපර්ස් මගින් හෙළිදරව් වී තිබෙනවා. ඔවුන්ට යන්න වෙන රටවල් තිබෙනවා. නමුත් අපේ දෙමාපියන් සහ සහෝදර සහෝදරියන් ඇතුළු සියලු දෙනාට තිබෙන්නේ මේ රට විතරයි. ඒ රට රැක ගැනීම සඳහා ආණ්ඩුවට දැනෙන්න අපේ විරෝධය පළ කරන්න ඕනෑ.
අපේ මාතෘ භූමියේ අන්තිම සම්පත් බේරා ගැනීම වෙනුවෙන් ප්‍රගතිශීලී තරුණ තරුණියන් සියලු දෙනා එකට එක් විය යුතුයි. මේ රටේ පාලකයන් පත් කර ගැනීමට ඔබ දැක්වූ ආදරයට ඔවුන් බූට් එක තියලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන, සජිත් ප්‍රේමදාස සහ අවසානයේ ගෝඨාභය රාජපක්ෂත් මේ බූට් එක තියලා තියෙනවා.
ඒ නිසා වැඩ පිළිවෙළක් ඇතුළේ රටේ අවසන් සම්පත් ටික බේරා ගන්න ඉදිරියට එන්න කියලා ඉල්ලා සිටිනවා. ගොවි තරුණ තරුණියන්, ඩොලර්වලින් සල්ලි සොයන තරුණ තරුණියන්, ඒ වගේම ප්‍රගතිශීලී කාන්තාවන් සහ අනෙකුත් සියලු දෙනාටම මේ තරුණ සටනට සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය රැක ගනිමින් ශ්‍රී ලංකාවේ දැවැන්ත තරුණ අරගලයකට අපි නායකත්වය ලබා දෙනවා. පාලකයන් ගෙදර යවන සටනට මූලාරම්භය දෙන ලෙස මේ රටේ තරුණ පරපුරෙන් සමාජවාදී තරුණ සංගමය ලෙස අප ඉල්ලා සිටිනවා.