අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඩොනල්ඩ් ට්‍රම්ප් නැවැත්විය හැකිද..?

ඩොනල්ඩ් ට්‍රම්ප් නැවැත්විය හැකිද..?

දැන් අපිට ලංකාවේ දේශපාලනය වගේම ජාත්‍යන්තර දේශපාලනය ගැනත් ලොකුවට අවදියෙන් ඉන්න වෙලා.ලෝකයේ ජනාවාසවෙලා තියන හැම මහද්වීපයකම වගේ නොසන්සුන්තාවයන් වර්ධනය වෙමින් තියනවා.ඒකට ප්‍රධාන හේතුව ඇමරිකානු ජනාධිපති…

දැන් අපිට ලංකාවේ දේශපාලනය වගේම ජාත්‍යන්තර දේශපාලනය ගැනත් ලොකුවට අවදියෙන් ඉන්න වෙලා.ලෝකයේ ජනාවාසවෙලා තියන හැම මහද්වීපයකම වගේ නොසන්සුන්තාවයන් වර්ධනය වෙමින් තියනවා.ඒකට ප්‍රධාන හේතුව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ භාවිතය.ට්‍රම්ප් බලයට එනකොට කියාගෙන ආපු සාම කතාන්දර සේරම දැන් ඉවරයි.දැන් ට්‍රම්ප් ලෝකය ඇතුලේ ඇමරිකානු අධිරාජ්‍යයක් ගොඩනගමින් ඉන්නවා.ට්‍රම්ප් ආයෙත් අධිරාජ්‍යවාදී සංකල්පයට පණ දීලා.

මෙතනින් එහාට මේ වැඩේ නං සිද්ධ වෙන්නේ ඒ ඒ කලාපවල ඉන්න දුබලයන් තලා පෙලා බලවතුන් බලය අල්ල ගන්න එක නවත්තන්න බෑ.අපිටත් දවසක ඉන්දියානු අධිරාජ්‍යයේ යටත් විජිතයක්විමේ අවධනම බැහැර කරන්න බෑ.ට්‍රම්ප් දැන් සියල්ල තීරණය කරන්නේ ඇමරිකානු යුධ බලයත් එක්ක.

ට්‍රම්ප්ට රටක් අල්ලන්න ඕනි නං ට්‍රම්ප් කිසිම හිරිකිතයක් නැතිව ඒ රට ආක්‍රමණය කරන්න හේතුවක් හදලා හොඳින් හරි නරකින් හරි ඒ රට අල්ලනවා.ට්‍රම්ප් නතර කළේ නැත්තං,ට්‍රම්ප් මේ ක්‍රියාවලිය වේගයෙන් ඉදිරියට ගෙනියනවා.ප්‍රශ්නය තියෙන්නේ කවුද ට්‍රම්ප්ව නවත්තන්නේ කියන එකයි.ඒක කරන්න පුළුවන් කණ්ඩායම් දෙකක් ලෝකයේ ඉන්නවා.එකක් එක්සත් ජාතින්ගේ සංවිධානය කියලා නං හීනෙන්වත් හිතන්න එපා.ට්‍රම්ප් නවත්තන්න පුළුවන් එක කණ්ඩායමක් තමයි ඇමරිකානු ජනතාව.

දැන්වීම

ඒ වගේම ට්‍රම්ප්ට නවත්තනවා නං නවත්වන්න පුළුවන් රුසියාව - චීනය - ඉන්දියාව ඇතුළු තවත් රටවල් කිහිපයක් එක්ක හැදෙන යුධමය සන්ධානයකින්.ඒත් එහෙම සන්ධානයක් හැදෙන්න ඉස්සෙල්ලා ට්‍රම්ප් තව ගොඩක් දුර යන්න බැරි නෑ.ට්‍රම්ප්ට වෙනිසියුලාවේ තියන ලෝකයේ විශාලතම තෙල් නිදිය අල්ලගන්න හිතුනා,ට්‍රම්ප් ඒකට තියරියක් හැදුවා.තියරියට අනුව නිකොලොස් මධුරෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් කළා.ඒ බොරුව සනාථ කරන්න වෙනිසියුලාව අවටදී ධීවර බෝට්ටු ගණනාවක් විනාශ කරලා සීයකට ආසන්න පිරිසක් මැරුවා.

ඒ බෝට්ටු මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළා කියලා කිව්වා.හැබැයි ඒ කිසිම දෙයක් ඔප්පු කරන්න සාක්ෂිය නෑ.ට්‍රම්ප් ඇමරිකානු යුධ බලය පාවිචිචි කරගෙන වෙනිසියුලාව වට කරමින් මධුරෝට පීඩනය යෙදුවා.පෞද්ගලිකව මධුරෝට රටින් පැනලා යන්න කියලා කිව්වා.මධුරෝ ට්‍රම්ප්ගේ තර්ජනයට යටත් නොවෙන බව දැනගත්තට පස්සේ CIA එක සහ ඇමරිකන් හමුදා වෙනිසියුලාව ඇතුලේ කරපු මෙහෙයුමකින් පස්සේ වෙනිසියුලාවේ ස්වෛරීත්වය උල්ලංඝනය කරමින් ජනාධිපති මධුරෝ සහ බිරිඳ අත්අඩංගුවට අරන් වොෂින්ටනයට ගිහින් හිරකරගෙන තියාගෙන ඉන්නවා.

මේ බලහත්තාරය ඉස්සරහා ලෝකය තුෂ්ණිම්භූත වෙලා බලා ඉන්නවා.එක්සත් ජාතින්ගේ මහ ලේකම්ට අන්තෝනියෝ ගුටරේස්ට හෙලා දැකලා නිවේදනයක් නිකුත් කරනවා හැර වෙන කරන්න දෙයක් නෑ.දැන් ට්‍රම්ප් කියන කතාවෙන් පැහැදිලි වෙනවා මධුරෝට එල්ල කරපු මත්ද්‍රව්‍ය චෝදනාව ඇත්ත නෙවෙයි කියලා.

දැන් ට්‍රම්ප් කියන්නේ අවුරුදු දෙකක් එයා වෙනිසියුලාව පාලනය කරනවා.තෙල් සම්පත කලමණාකරණය කරන්න මැදිහත් වෙනවා.වෙනිසියුලාවේ තෙල් විකුණන්නේ අපි කියලා.දැනටත් ට්‍රම්ප් මධුරෝගේ පක්ෂයේ වැඩබලන ජනාධිපතිවරියට කොන්දේසිය පණවමින් ඉන්නවා.කොහොම උනත් වෙනිසියුලාවට මේ වෙලාවේ ඇමරිකාවත් එක්ක හැපෙන්න බෑ.එයාලට තියෙන්නේ පුර්ණ වශයෙන් යටත් නොවී උපක්‍රමික පියවරකට යන්න.ඇමරිකාව මේ වැඩේ දිගටම කරගෙන යන බව පැහැදිලියි.

අර කතාවක් තියෙන්නේ කොට්ටෝරුවා හැම ගහකටම කොට කොටා ගිහින් කෙහෙල් ගහකට කෙටුවට පස්සේ තමයි අමාරුවේ වැටෙන්නේ කියලා.ඒක නිසා ට්‍රම්ප්ට කෙහෙල් ගහට කොටනකන් වෙනිසියුලාවට කල්ගන්න වෙනවා.දැනටමත් ඇමරිකාව තමන්ගේ ඉලක්ක ගත රාජ්‍ය පද්ධතිය ගැන ප්‍රකාශ කරලා තියනවා.ග්‍රීන්ලන්තය,ඉරානය,කියුබාව,මෙක්සිකෝව, කොලොම්බියාව ළඟම අනතුරක තියනවා.මේවායින් ආසන්නම අනතුරේ තියෙන්නේ ඉරානයට සහ ග්‍රීන්ලන්තයට.

මේ වෙනකොටත් ඉරානය ඇතුලේ අයතොල්ලා අලි කමේනිගේ ආගමික පාලනය පෙරලා දාන්න ජනතාව පාරට ඇවිත්.දැවැන්ත මහජන උද්ඝෝෂණ පැවැත්වෙනවා.මේවා සමනය කරන්න ලේසි නෑ.මොකද මෙතන තියෙන්නේ ආර්ථික ප්‍රශ්නයක්.ඉරාන ආර්ථික හදන්න ක්ෂණික ක්‍රියාමාර්ග ඉරාන ආණ්ඩුවට නෑ.ඒක නිසා මේ උද්ඝෝෂණ මර්ධනය කිරීම හැර වෙන විකල්පයක් ඉරාන ආණ්ඩුවට නෑ.ඇමරිකාව සහ ඊශ්‍රායලය ඒ අවස්ථාව පාවිචිචි කරන්න පුළුවන්.

අභයන්තර වශයෙන් ඉරානය දුර්වලවෙලා තියන අවස්ථාව ඉරානයට පහර දෙන්න පුලුවන්.මේ අවස්ථාව තමයි ඇමරිකාවට සහ ඊශ්‍රායලයට තියන හොඳම අවස්ථාව.හැබැයි මෙතන මෙහෙම ප්‍රශ්නයක් තියනවා.ඉරානයේ පාලනය බිත්තියට හේතුවෙමින් තියනවා.ඒක නිසා ඉරානය තමන්ට තියෙන උපරිම හැකියාවෙන් හතුරාට පහර දෙන්න පුළුවන්.යම් විදිහකින් ඉරානයට රට ඇතුලේ සිවිල් යුද්ධ තත්වය සමනය කරගෙන ඇමරිකාවට සහ ඊශ්‍රායලයට‍ ඔරොත්තු දෙන්න පුළුවන් උනොත් ඉරානයට පවතින්න පුළුවන් වෙයී.ලෝක ජනමතය වෙනස්වෙලා ඇමරිකන් අධිරාජ්‍යවාදයට එරෙහිව ලෝකය නැගිටින්න පුළුවන්.

හැබැයි ඒක ඉරානයට මේ මොහොතේ ලේසි වැඩක් නෙවෙයි. ඇමරිකාව ඊළඟට කෙල හලන්නේ ග්‍රීන්ලන්තයට.ග්‍රීන්ලන්තය කියන්නේ ඩෙන්මාර්කය යටතේ පාලනය වෙන ස්වයංපාලන ඒකකයක්.එයාලා ඩෙන්මාර්කයේ සහයෙන් වෙනම රටක් බවට පත්වෙන්න උත්සහ කරනවා.ග්‍රීන්ලන්තය කියන්නේ ලෝකයේ විශාලතම දූපත උනාට ග්‍රීන්ලන්තයේ වැඩි කොටස තියෙන්නේ අයිස්වලින් වැහිලා.ජනගහනය 57000ක් විතර ඉන්නේ.එතනත් බහුතරය ඇමරිකාව එකතු වෙන්න කමති නෑ.

ග්‍රීන්ලන්තය කියන්නේ සම්පත් ගොඩක් තියන දූපතක්, විශේෂයෙන් විරල පාශු ලෝහ.දැනටමත් ඇමරිකානු අභ්‍යවකාශ හමුදාවේ කදවුරක් ඇතුළු කදවුරු කිපයක් ග්‍රීන්ලන්තයේ තියනවා.ඒක නිසා යුධ බලයෙන් ග්‍රීන්ලන්තය අල්ලන්න ඇමරිකාවට පැය කීපයක්වත් යන එකක් නෑ.හැබැයි ප්‍රශ්න තියෙන්නේ යුධ බලයෙන් අල්ලන්න නං ඇමරිකාව හැපෙන්න ඕනි ඩෙන්මාර්කයත් එක්ක.ඇමරිකාවේ යුධ බලයත් එක්ක හිතද්දී ඩෙන්මාර්කයට කරන්න පුළුවන් දෙයක් නෑ.

හැබැයි ඩෙන්මාර්කය කියන්නේ නේටෝ රටක්.ඇමරිකාවත් ඉන්න නේටෝ සංවිධානයේ රටක්.නේටෝ රටවල් ඇමරිකාවත් එක්ක යුද්දෙට එන්නේ නෑ.හැබැයි හොඳ හිත පලදු වෙයි.යුරෝපයේ ගොඩක් රටවල්වල තියෙන්නේ කයිවාරු විතරයි.සමහරවිට අන්තිම මොහොතේ ග්‍රීන්ලන්තය දීලා ඇමරිකවත් එක්ක ශේප් වෙන්නත් බැරි නෑ.කොහොම උනත් ඇමරිකාවේ මේ චලනය හොදින්ම අධීක්ෂණය කරන රටවල් තුනක් ලොකයේ තියනවා.ඒ රුසියාව,චීනය සහ ඉන්දියාව.මේ තුනෙන් රුසියාව සහ චීනය විශේෂයි.

මේ මොහොතේ සෘජුව ට්‍රම්ප් එක්ක යුද්ධයකට යන්න බැරි උනත් රුසියාවට සහ චීනයට මේ ප්‍රශ්නයට උත්තරයක් ඕනි.එයලටත් මේ ප්‍රශ්නයට ක්ෂණික උත්තර නෑ.හැබැයි ඉක්මන් උත්තරයක් ඕනි.මොකද ඇමරිකාව දකුණු ඇමරිකාවට කරන මැදිහත්වීම දේශපාලන සහ ආර්ථික වශයෙන් රුසියාවට සහ චීනයට මාරාන්තිකයි.දකුණු ඇමරිකාවේ බොහෝ රටවල් රුසියාවේ සහ චීනයේ මිත්‍ර රටවල්.ඒවා වේගයෙන් බිඳ වැටෙමින් හෝ අහිමිවෙමින් හෝ තියනවා.

ඇත්තටම වෙනිසියුලාව සහ ඉරානය ඇමරිකාවේ ඉක්මන් ටාගට් එකක් වෙන්නේ ඒ රටවල් දෙකම චීනයට තෙල් සපයන හින්දයි.

ඒ වගේම චීනය විශාල මුදලක් දකුණු ඇමරිකානු රටවල ආයෝජනය කරලා තියනවා.ඒ සියල්ල නැති වෙනවා.චීන ආයෝජනවල වටිනාකම ඩොලර් ට්‍රිලියන ගණනක්.දැනටමත් දකුණු අර්ධගෝලය අපේ චීනයට යන්න කියන තර්ජණ ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ කරනවා.ඒක නිසා මේ තත්ත්වය හමුවේ නිහඩව ඉන්න චීනයට සහ රුසියාවට බෑ. රුසියාවත් මේ නව තත්වයට මුහුණ දෙන්න නං ඉස්සෙල්ලාම යුක්‍රේන යුද්ධය අවසන් කරන්න ඕනි,සමහරවිට රුසියාවට තමන් සතු විශේෂ අවි පාව්චිචි කරලා යුද්ධ ඉක්මනින් අවසන් කරගත්ත තැනකට යන්නත් බැරි නෑ.

ලෝක දේශපාලනයේ ප්‍රති විරෝධතා පද්ධතිය ඔහොම තමයි ගොඩනැගීමින් තියෙන්නේ.බලමු මොකක් වෙයිද කියලා. කොහොම උනත් ගෝලීය යුධ ගැටුමක පෙර නිමිති පහල වෙමින් තියනවා.තුන් වෙනි ලෝක යුද්ධ දකින අවාසනාවන්ත මිනිස්සු අපි වෙන්න පුළුවන්.

- රටේ රාළ -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න