ඩෙංගු යළි හිස ඔසවයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

(ජයකාන්ත ලියනගේ) දිවයිනේ බොහෝ ප්‍රදේශයන්ට පසුගිය දින කිහිපය මුළුල්ලේ ඇද හැළුණු ධරානිපාත වර්ෂාව පහව යෑමත් සමග ඩෙංගු වසංගතය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන…
(ජයකාන්ත ලියනගේ)
දිවයිනේ බොහෝ ප්‍රදේශයන්ට පසුගිය දින කිහිපය මුළුල්ලේ ඇද හැළුණු ධරානිපාත වර්ෂාව පහව යෑමත් සමග ඩෙංගු වසංගතය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අගවා තිබේ.
මේ නිසාම හෙට (06) සිට බ්‍රහස්පතින්දා (08) දක්වා දින තුනක (03) විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් දියත් කිරීමටද ජාතික ඩෙංගු මර්දන ඒකකය සැලසුම් කර තිබේ.
මෙම ඩෙංගු මර්දන විශේෂ වැඩ සටහන ඩෙංගු ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් සහිත බවට හදුනා ගෙන ඇති දිස්ත්‍රික්ක දහයකට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨශ 76 ක ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ජනාධිපති කාර්ය සාධක බලකාය හා සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම ඩෙංගු මර්දන වැඩ සටහන ජුනි 06 සහ 07 දෙදින මඩකලපුව හා කල්මුණේ දිස්ත්‍රික්කවලත්, ජුනි 07 සහ 08 දෙදින කොළඹ, ගම්පහ, කළුතර, නුවර, මාතලේ, කෑගල්ල, රත්නපුර සහ පුත්තලම දිස්ත්‍රික්ක වලත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
මෙම විශේෂ මදුරු මර්දන වැඩ සටහන සදහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සෞඛ්‍ය නිලධාරීන් ඇතුළත් කණ්ඩායම් 1300 ක් සහභාගී වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
පසුගිය නිරිත දිග මෝසම් වැසි සමයේ ඩෙංගු රෝගීන් වාර්තාවීමේ යම් වැඩිවීමක් දක්නට ලැබුණ බවද එය 2017 වසර සමඟ සංසන්දනය කිරීමේදී සැලකිය යුතු අඩුවීමක් බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
දැනට පවතින වැසි තත්ත්වය හා මීට පෙර පැවති ගංවතුර තත්ත්වය පහව යාමත් සමඟ මදුරුවන් බෝවිය හැකි ජලය රැදුණු ස්ථාන සුළභව පවතින බැවින් ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානමද වැඩි වී තිබේ.
නිවාස, පාසල්, වැඩබිම්, ආයතන, කර්මාන්ත ශාලා, ආගමික ස්ථාන, පොදු ස්ථාන වැනි ඕනෑම පරිශ්‍රයක ඩෙංගු මදුරුවන් බෝවීමේ අවධානමක් ඇති හෙයින්, අවම වශයෙන් සතියකට පැය ½ ක් වත් තමන්ගේ ආසන්න පරිශ්‍රයන් පරීක්ෂා කොට මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කර ගන්නා ලෙසද ජාතික ඩෙංගු මර්දන ඒකකය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ඕනෑම අයෙකුට තද උණ සමඟ හිසරදය, මස්පිඩු හා සන්ධි වේදනාව, ඔක්කාරය හා වමනය, සමෙහි රතු පැහැ ලප හට ගැනීම හා රුධිර වහන තත්ත්වයන් ඇත්නම් වහාම රෝහලකට හෝ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත ගොස් නිසි ප්‍රතිකාර ලබා ගන්නා ලෙසද ජාතික ඩෙංගු මර්දන ඒකකය මහ ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඩෙංගු වසංගත රෝගයේ වැඩිම බලපෑම ඇති වන්නේ ළදරුවන්ට සහ ගර්භණී මව්වරුන්ට වන බැවින් උණ තත්ත්වයක් ඇතිවූ වහාම, නොපමාව ඒ පිළිබඳ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත් බව පෙන්වා දෙන ජාතික ඩෙංගු මර්දන ඒකකය මෙම වැඩ සටහන සඳහා සියලු දෙනාගේ සහයෝගය ලබා දෙන ලෙසද ඉල්ලා සිටී.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2