අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ඩග්ලස්ට ජීවිත අවධානමක්

ඩග්ලස්ට ජීවිත අවධානමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්ත ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා 2026 ජනවාරි 9 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන්න ගම්පහ මහාධිකරණ…

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්ත ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා 2026 ජනවාරි 9 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන්න ගම්පහ මහාධිකරණ පහුගිය 28 වෙනිදා නියෝග කළා.ඒ 2001දී ඩග්ලස්ගේ පෞද්ගලික ආරක්‍ෂාවට යුද හමුදාවෙන් නිකුත් කරපු ගිනි අවියක් අස්ථානගතවීම සම්බන්ධව පැහැදිලි කිරීමක් කරන්න අපොහොසත්වීමේ චෝදනාවටයි.

ඒ කොළඹ අපරාධ කොට්‌ඨාසය භාරයේ හිටිද්දී 2020 වෂරේදී ඝාතනය උන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගෙන් 2019දී සිදුකළ ප්‍රශ්න කිරීමේදි සොයා ගත්ත ගිනි අවියක අංක පරීක්ෂා කිරීමේදී ඒ ගිනි අවිය ඩග්ලස්ට නිකුත් කරපු ගිනි අවියක් බව අනාවරණය උන හින්දයි.කොහොම උනත් ඩග්ලස් දේවානන්දා තවමත් සැකකරුවෙක් විතරයි.අපේ රටේ නීතියට අනුව යම් පුද්ගලයෙක් අධිකරණයකින් වැරදිකාරයෙක් වෙනතුරු එයා නිර්දෝෂී පුද්ගලයෙක්.

ඩග්ලස් වැරදිකරුද,නිවැරදිකරුද කියන තීරණය අධිකරණයෙන් සාධාරණ ලෙස විනිශ්චය කරයි.

දැන්වීම

රටේ රාළ මේ කියන කතාවේ කථානායකයා වෙන්නේ ඒ ඩග්ලස් දේවානන්දායි.මේ කතාව කියන්න රටේ රාළට නීතිමය බාධාවක් නෑ.පෞද්ගලිකව රටේ රාළ ඩග්ලස්ව දන්නේ නෑ.කතා බහ කරලත් නෑ.හැබැයි ඩග්ලස් වෙනුවෙන් මේ සටහන ලියන එක ශ්‍රී ලාංකික පුරවැසියෙක්ගේ යුතුකමක් කියලා රටේ රාළ විශ්වාස කරනවා.ඩග්ලස් දේවානන්දා කියන්නේ ලාංකික දේශපාලනයේ සුවිශේෂී චරිතයක්.මෑතකාලීන උතුරේ දේශපාලනයේදී උතුර පලාත නියෝජනය කරපු එකම කැබිනට් ඇමතිවරයා ඩග්ලස් දේවානන්දායි.

ඩලස්ගේ දේශපාලනයට රටේ රාළ එකඟ නෑ.හැබැයි එක්තරා අවස්ථාවක කොටි ත්‍රස්තවාදය පරාජය කරන්නේ ශ්‍රී ලංකා රජයත් එක්ක කෙලින් හිටගත් චරිතයක් විදිහට රටේ රාළ ඩග්ලස් දේවානන්දාට ගරු කරනවා.ඩග්ලස් පෙනී හිටියේ දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන්,ඒ වගේම බලය බෙදීම වෙනුවෙන්.මුල් කාලයේදී ඊළාම වෙනුවෙන් ඩග්ලස් අවි දැරූ කෙනෙක්.හැබැයි පසුකාලීනව ඩග්ලස් උතුරේ මහජන නියෝජිතයෙක් බවට පත්වුනා.

චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් පටන් අරගෙන පහුගිය ආණ්ඩුව දක්වාම කැබිනට් ඇමති කෙනෙක් විදිහට කටයුතු කළා.

ඒ නිසාම ඩග්ලස් කොටි සංවිධානයයේ ඉලක්කයක් බවට පත්වුනා.රටේ රාළ දන්න විදිහට ඩග්ලස් දේවානන්දා10හ වතාවකට වැඩි අවස්ථා ගණනකදී කොටින්ගෙන් 99න් ජීවිතය බේරගෙන තියනවා.ඩග්ලස් එක්ක හිටපු විශාල පිරිසක් කොටින් ඩග්ලස්ව ඉලක්ක කරද්දී ඝාතනයට ලක්වුනා.කොටි සංවිධානය උපරිම ශක්තිය තියෙද්දීත් ඩග්ලස්ට ජීවිතය බේරගන්න පුළුවන් උනේ පූරුවේ පිනකට විතරක් නෙවෙයි.

ඩග්ලස් අනුගමනය කරපු එයාටම අනන්‍ය ආරක්ෂක උපක්‍රම සහ ඩග්ලස් තුල තිබුණ සුවිශේෂ දක්ෂතා ඒකට බලපෑවා.ඩග්ලස් බන්ධනාගාර ගතව ඉන්දැද්දි බන්ධනාගාර තුල ඇතිවුන කෝලහලය ඇතුලේ දෙමල සිරකරුවන් පිරිසක් සිංහල සිරකරුවන් අතින් ඝාතනවුනා.ඒ අවස්ථාවේදී ඩග්ලස් තෝරාගෙන තිබුණේ යටත් නොවී සටන් කිරීමයි.ඒ ඩග්ලස් දක්ෂ සටන් ශිල්පියෙකු උණ නිසයි.

තවත් එක වෙලාවක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මුහුදේ පීනලා ගිහින් ජීවිතය බේරගන්න ඩග්ලස්ට පුළුවන් උණේ එයා දක්ෂ පිහිණුම් ශූරයෙක් හින්දයි.කොහොම උනත් මේ කාලය තුල ඩග්ලස් මුහුණ දුන්න බරපතල අභියෝග දෙකක් තිබුණා.එකක් කොටි සංවිධානයෙන් එල්ලවෙන මරණ තර්ජණ.කොටින්ගේ උතුරේ බලය දැඩි ලෙස ව්‍යාප්තවෙලා තිබුණ කාලය තුලදී උතුරේ දෙමළ ජනතාව කොටි මතවාදයට යටත් කටයුතු කළා.කොටි මතවාදය ඇතුලේ ඩග්ලස් සැලකුනේ දෙමල ජාතියට ද්‍රෝහී උන ජාතිද්‍රෝගියෙක් විදිහටයි.

මේ තත්වය යටතේ ඩග්ලස්ට ජීවිතය බේරගන්න ලොකුම සටනක් දෙන්න වුනා.අන්තිමට කොටි සංවිධානය පරාජය කරන්න ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව එක්ක එකතුවෙන්න ඩග්ලස් තීරණය කරනවා.ඩග්ලස් කියන්නේ අපේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් වෙනුවෙන් සහ නිදහස වෙනුවෙන් සටන් කරපු දෙමල නායකයෙක්.එදා මෙදා තුර ඩග්ලස් කියන්නේ දෙමල බෙදුම්වාදයේ ඉල්ක්කයක්.දැන් දෙමල බෙදුම්වාදයේ ත්‍රස්ත සේනාංකය වන කොටි සංවිධානය සමූලඝාතනය වෙලා ඉවරයි.

ශ්‍රී ලංකා හමුදාව ඩග්ලස් දේවානන්දලා,කරුණා අම්මාන්ලා, පිල්ලෙයාන් වගේ කොටි විරෝධී උතුරේ සහ නැගෙනහිර දෙමල නායකයන්ගේ සහයෝගයෙන් කොටි පරාජය කරලා ඉවරයි. හැබැයි තවමත් අපිට කොටි මතවාදී පෙරමුණ සහ කොටින්ගේ ජාත්‍යන්තර පෙරමුණ වන කොටි ඩයස්‌පෝරාව පරාජය කරන්න බැරිවෙලා තියනවා.අදටත් ශ්‍රී ලංකා හමුදාව සහ කොටි විරෝධී දෙමල නායකයන් එයාලගේ ඉලක්කයක්.අවාසනාවට අද බලයේ ඉන්න මාලිමා ආණ්ඩුවත් දෙමල බෙදුම්වාදී මතවාදයත් එක්ක හිටගත්ත රූකඩ ආණ්ඩුවක්.

මාලිමාව උතුරට ගිහින් පහුගිය පලාත් පාලන මැතිලරණයේදී කිව්වේ ප්‍රභාකරන් කියන ජාතික නායකයාගේ පිලිම හදන්න එන්නේ අනුර කුමාර කියලයි.අර්චුනා කිව්වේ උතුරේ ජනතාව අනුර කුමාර හැදින්නුවේ සිංහල ප්‍රභාකරන් කියලා කියලයි. මාලිමා ආණ්ඩුව කියන්නේ කොටි ඩයස්‌පෝරාවේ සරණ ගිය රූකඩ ආණ්ඩුවක්.මාලිමාව බලයට ගේන්න විශාල වශයෙන් කොටි ඩයස්‌පෝරාව සල්ලි වියදම් කළා.

ඒ වෙනුවෙන් මේ ආණ්ඩුව උතුරු සහ නැගෙනහිර පලාත්වලදීත් රටේ අනෙකුත් ප්‍රදේශවලදී දෙමල බෙදුම්වාදී උවමනාව නියෝජනය කරමින් කටයුතු කරනවා කියන සැකය දැන් සමාජය තුල නිර්මාණයවෙලා තියනවා.පහුගියදා අපි මුහුණ දුන්න ආපදා තත්වය ඇතුලේ උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම සිද්ධවුන බව හමුදා ආරංචි මාර්ගවලින් කියවුනා.මේ වන විට කිලිනොච්චි ප්‍රදේශයේ තිබුණ සියළු හමුදා කඳවුරු ඉවත් කිරීමට පියවර අරන්.

ඒ ප්‍රදේශයේ තිබුණ විශේෂ බලකායට (SF) අයත් හමුදා කඳවුරත් ඉවත් කිරීමට කටයුතු කරමින් තියන බව වාර්තා වෙනවා.යුද උපායීක වශයෙන් ඉතා වැදගත් මර්මස්ථානයක් වන මුලතිව් දිස්ත්‍රිකකය ඇතුළේ දැන් වැදගත් එකම හමුදා කඳවුරක්වත් නෑ. අනුරගේ උපදෙස් පරිදි යුද හමුදාපතිවරයා විසින් පත්කරපු විශේෂ කමිටුවකින් ඒ කඳවුරු ඉවත් කිරීමේ තීරණ ගනිමින් ඉන්නවා.ඒවා එහෙම වෙද්දී දකුණේ සහ උතුරේ වෙනම දේශපාලන දඩයමක් ක්‍රියාත්මක වෙනවා.

දකුණේදී මාලිමාට විරුද්ධ මත දරන්නන් සහ උතුරේදී සහ නැගෙනහිරදී කොටින්ට එරෙහිව මත දරන අය දඩයම් කරනවා කියන සැකය මතුවෙමින් තියනවා.ඩග්ලස් දේවානන්ද ඒ දඩයමේ තවත් ගොදුරක්ද කියන සැකය රටේ රාළට නං තියනවා.පාස්කු ප්‍රහාරය සම්බන්ධව පරීක්ෂණ විදිමත්ව සිද්ධ නොකර,කන්ටේනර් 323නේ වංචාව සම්බන්ධව පරීක්ෂණ සිද්ධ නොකර.දූෂණ චෝදනා එල්ලවෙන මැති ඇමතිවරුන් සම්බන්ධ පරීක්ෂණ සිද්ධ නොකර දැනට අවුරුදු ගණන් පරණ දැනට මියගිය පුද්ගලයෙගේ සාක්ෂියක් මත කටයුතු කිරීම අද ප්‍රමුඛ වෙලා තියනවා.

ශ්‍රී ලංකා රාජ්‍ය සහ ආරක්ෂක හමුදා එක්ක හිටගත් ඩග්ලස් දේවානන්ද යුද්ධය ඉවරවෙලත් වසර 15කට පස්සේ අස්ථානගත වු ආයුධයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තේ කාගේ උවමනාවකටද?කවුරුන් සතුටු කරන්නද?කොටි ත්‍රස්තවාදය පරාජය කරන්න ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා එක්ක සිටගත් සටන්කාමී දෙමල ප්‍රජාතන්ත්‍රවාදී නායකයන්ගෙන් පළිගැනීමේ අරමුණ මෙතන නෑ කියලා හිතන්නේ කොහොමද?ඩග්ලස්ලා අවි දැරුවේ ආත්ම ආරකාෂාව වෙනුවෙන්.

දැන් අත්අඩංගුවේ කොටි සැකකරුවන් අතර ඉන්න ඩග්ලස් දේවානන්දාට ජීවිත අවධානමක් නෑ කියලා කාටද කියන්න පුලුවන්.මීට කලින් අවස්ථාවක බන්ධනාගාරය ඇතුලේ කොටි සැක කරුවන් ඩග්ලස්ව ඝාතනය කරන්න උත්සාහ කළා.ඩග්ලස් එදා හිසේ බරපතල තුවාල සහිතව බේරුණා 99.9999 න්.

- රටේ රාළ -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න
ඩග්ලස්ට ජීවිත අවධානමක් | Lanka Newsweek