අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ටිල්වින් දකුණට ගිණි තියද්දී අනූර උතූර පාවා දෙයිද..?

ටිල්වින් දකුණට ගිණි තියද්දී අනූර උතූර පාවා දෙයිද..?

" යක්කල ප්‍රහාරයේ මහ මොළකරු ටිල්වින් සිල්වා වහා අත්අඩංගුවට ගත යුතුයි " ලිපියෙන් රටේ රාළ කිව්වේ යක්කල පෙරටුගාමීන්ගේ දිස්ත්‍රික් කාර්යාලට පහරදීමෙන් ජවිපෙ ගෙනියන රාජ්‍ය මර්ධනය තවත් පිම්මක් පැන්නා…

" යක්කල ප්‍රහාරයේ මහ මොළකරු ටිල්වින් සිල්වා වහා අත්අඩංගුවට ගත යුතුයි " ලිපියෙන් රටේ රාළ කිව්වේ යක්කල පෙරටුගාමීන්ගේ දිස්ත්‍රික් කාර්යාලට පහරදීමෙන් ජවිපෙ ගෙනියන රාජ්‍ය මර්ධනය තවත් පිම්මක් පැන්නා කියලයි.මේ විදිහට අනුන්ගේ දේපල නීති විරෝධී විදිහට මංකොල්ලකෑමට ජවිපෙ මැරයන් විතරක් නෙවෙයි ශ්‍රී ලංකා පොලීසියත් උදව් කරලා තියනවා. මෙතනින් එහාට මර්ධනය ජවිපෙ මැරයන් හරහා එන්නත් පුළුවන්,පොලීසිය හරහා එන්නත් පුළුවන්. පොලීසිය සහ ජවිපෙ එකට එකතුවෙලා එන්නත් පුළුවන්.

දවසගානේ රටේ සිද්ධවෙන ඝාතන රැල්ල නතර කරන්න බැරි පොලීසිය ජවිපෙ මැරයන්ට ආරක්ෂාව සහ යටිතල පහසුකම් සපයන තැනක් බවට පත්වීම ඉතාමත්ම කණගාටුදායකයි.ඇත්තටම ජවිපෙ මේ මර්ධනයට සුදානම්වෙලා තමයි බලයට ආවේ.එදා ළඟ ළඟ තිබුණ මැතිවරණය දෙකේදී බැටළු හම් පෙරවගෙන හිටපු ජවිපෙ වෘකයෝ පලාත් පාලන ඡන්දයත් එක්ක ටිකටික එළියට ආවා.ජවිපෙ ප්‍රධාන ලේකම්ගේ අණ පරිධි එල්ල කරපු යක්කල ප්‍රහාරයෙන් පැහැදිලිව පෙන්නේ දැන් බැටළු හම ගලවලා නියම වෘකයෝ විදිහට පෙනී ඉන්න ජවිපෙ සුදානම් බවයි.

මාලිමාව බලයට එන්න ඉස්සෙල්ලා ලාල් කාන්ත කිව්වේ ඔය කතාව තමයි.ලාල් කිව්වේ අපට ජනතාව බලය දෙන්නේ මර්ධනයටත් එක්ක කියලයි.දැන් ඒ මර්ධනය පටන් අරන්.ලාල් කිව්වේ ගමේ ජවිපෙ සාමාජිකයාගේ මුලිකතවයෙන් හදන ගමේ කොට්ඨාශ සභාවට යුක්තිය පසිඳලීමේ බලයත් දෙනවා කියලයි.ඒ කියන්නේ අධිකරණ බලය.දෙනවා කියලයි.දැන් ටිල්වින් ඒ බලය අතට අරන් වැඩේ කරන විදිහට පෙන්නලා දීලා තියනවා. ඔයාලට මතක ඇති ඒ කාලේ ටිල්වින් වේදිකා උඩ කිව්වා ද්‍රෝහීන්ට සමාව නොදෙන්න උගන්නපු එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ කියලා.

දැන්වීම

ජවිපෙට අනුව මේ මොහොතේ ජවිපෙට ඉන්න ප්‍රධාන ද්‍රෝහීන් අතර පෙරටුගාමීන් කියන්නේ ප්‍රධාන පිරිසක්.ජවිපෙන් කවදාවත් පෙරටුගාමීන්ට සමාවක් නෑ.රනිල් අත්අඩංගුවට ගත්ත වෙලාවේ පෙරටුගාමීන් ජවිපෙට කිට්ටු වෙන්න හැදුවත් රනිල්ගෙන් පලිගැනීමේ මෙහෙයුමේ උණුසුම යන්නත් ඉස්සෙල්ලා පෙරටුගාමීන්ට ජවිපෙ පහරදුන්නා.ඇත්තටම මේ ප්‍රහාරය සිද්ධ වෙන්නේ කෙලින්ම ටිල්වින්ලගේ අධීක්ෂණය යටතේ,ඒ දිස්ත්‍රික්කයේ දිස්තික් ලේකම්ගේ මූලිකත්වයෙන්. ඒකට ඇමති මහින්ද ජයසිංහ සහ මන්ත්‍රීවරු සභහාගීවීමෙන් පේන්නේ ජවිපෙ මහජන නියෝජිතයන් එලිපිටම මැරයෝ වෙන්න බය නෑ කියලයි.

එදා 2008 දී රටේ රාළලා ජවිපෙන් අයින්වුනාට පස්සේ ජවිපෙ කලෙත් ඔය වැඩේම තමයි.එදත් ඒ ප්‍රහාර කෙලින්ම මෙහෙව්වේ ටිල්වින්.ඒ ප්‍රහාරය කළේ දිස්ත්‍රික් ලේකම් පාවිචිචි කරගෙන.දිස්ත්‍රික් ලේකම් හරහා ජවිපෙ දිස්ත්‍රික්කයේ මැරයෝ පාවිචිචි කරගෙන කරපු ප්‍රහාරත් තිබුණා.ඒ වගේම දිස්ත්‍රික්ක ලේකම් සහ දිස්ත්‍රික්කයේ කීපදෙනෙක් සම්බන්ධ කරගෙන පිටින් මැරයෝ එවලා කරපු ප්‍රහාරත් තිබුණා.කෑගල්ලේදී රටේ රාළ ඔය ප්‍රහාර දෙකටම ලක්වුණා.එදා ජවිපෙ හිටපු දිස්ත්‍රික්ක ලේකම් සහ ඒ කටයුතුවලට සම්බන්ධ වුන කීපදෙනා අද ජවිපෙත් එක්ක නෑ.

කොහොම උනත් පසු කාලීනව එයාලගෙන් ලැබුණ තොරතුරුවලින් ටිල්වින් සහ අප්‍රසිද්ධ ජවිපෙ දේශපාලන මණ්ඩල සාමාජිකයන් ඒ ප්‍රහාර මෙහෙයවූ බව තහවුරුවුනා.2011 දී පෙරටුගාමීන් වෙන්වෙලා ගියාට පස්සේ ඒ ප්‍රහාර එයාලටත් ඒ විදිහටම එල්ලවුනා.ලස්සනම වැඩේ කියන්නේ එදා රටේ රාළලාට ජවිපෙ ඇතුලේ ඉඳන් ඔය දෙගොල්ලොම පහර දෙන්න එකට එකතුවුනා.අද හැබැයි එදා අපට පහරදෙන්න ජවිපෙ මැරයන් එක්ක එකට ආපු පෙරටුගාමීන්ට ජවිපෙන් පහර දෙනවා,මෙතන වෙනසට තියෙන්නේ පෙරටුගාමීන් එදා අපිට ගහනකොට සතුටුවුනත් අද පෙරටුගාමීන් ගුටිකද්දී අපි සතුටු නොවීමයි.

ඇත්තටම කවදාහරි දවසක ජවිපෙටත් මේ රටේ ජනතාවගෙන් ගුටි කන්න වෙනවා.එදාටත් අපි නම් සතුටු වෙන්නේ නෑ.කොහොම උනත් ජවිපෙ ගේන්න හදන මේ මර්ධනය එරෙහි වෙන්න ඕනි.ඔයාලා දන්නවා මේ සැප්තැම්බර් මාසේ ජිනිවා මානව හිමිකම් සමුළුව පැවැත්වෙනවා.එතනදී ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් වෙන්න නියමිතයි. විදේශ ඇමති විජිත කියන්නේ ඒ යෝජනාව ශ්‍රී ලංකාවට මෙතෙක් ආපු යෝජනා වගේ අහිතකර එකක් නෙවෙයි කියලයි.

පහුගිය දවසක යාපනේ ගිය අනුර කිව්වේ සාමය සහ සංහිදියාව වෙනුවෙන් ආන්දෝලනාත්මක තීරණ ගන්න කිසිසේත්ම පැකිලෙන්නේ නෑ කියලයි. අනුරගේ ඒ කතාව ඇහුවම රටේ රාළ හිතුනේ අනුර යාපනයේ ඉදිකරන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයයි,කච්චතීව් දුපතට යන visit එකයි දාගත්තේ ඔය කතාව කියලා එන්නද කියලයි. යාපනේට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් දෙනවට රටේ රාළ කිසිසේත්ම විරුද්ධ නෑ.හැබැයි එවැනි මට්ටමේ ක්‍රීඩාංගණයක් හදන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පුළුවන්ද කියන ප්‍රශ්නය රටේ රාළට තියනවා.

ඒ කියන්නේ සල්ලි තියනවද කියන ප්‍රශ්නය තියනවා.කොහොම උනත් අනුරට මානව හිමිකම් සමුළුවට සමාන්තරව යාපනයට ගිහින් ඔය වැනි ප්‍රකාශයක් කරලා එන්න අවශ්‍ය උනාද කියන සැකය රටේ රාළට තියනවා.එකක් ඒක දෙමල ඩයස්‌පෝරාවේ අවශ්‍යතාවයද කියන සැකය තියනවා.ඊට අමතරව විජිත හේරත් කියන විදිහට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම අපට ගේන යෝජනාව මෘදු යෝජනාවක් කියලා විජිත දන්නේ කොහොමද?එහෙම නං මානව හිමිකම් කොමිසම හරහා එන්නේ ආණ්ඩුව එකඟ කරගත්ත යෝජනාවක්ද?

සාමය සහ සංහිඳියාව වෙනුවෙන් ආන්දෝලනාත්මක ක්‍රියාමාර්ග ගන්න කිසිසේත්ම පසුබට වෙන්නේ නෑ කියලා අනුර කියන කතාව සහ ඒ යෝජනා අතර සම්බන්ධයක් තියනවද කියන සැකයත් මෙතනදී එනවා.බටහිර අධිරාජ්‍යවාදීන් මේ හදන්නේ එයාලගේ මානව හිමිකම් අවියෙන් ආයෙත් අපිට පහර දෙන්නද?ආයෙත් ජාත්‍යන්තර අධිකරණය ක්‍රියාවලියක් ඇතුලට අපේ රණවිරුවන් සහ රට ඇතුළු කරන්නද?ඒ වෙනුවෙන් ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නද කියන සැකය එනවා.

ඊළඟට ඔයාලට මතක ඇති අනුර ජනාධිපති උන ගමන් වගේ BRICS සමුළුවට සහභාගීවෙන්න කියලා රුසියන් ජනාධිපති පුටින් අනුරට ආරාධනා කළා. අනුර ඒක පිලිගත්තේ නෑ.ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිලිගත හැකි රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ඊට සහභාගීවුනෙත් නෑ.මේ පාර තියපු ෂැංහයි සහයෝගිතා සමුළුවට ශ්‍රී ලංකාව සහභාගී උනෙත් නෑ.ඇත්තටම BRICS සහ ෂැංහයි සමුළු මඟහැරීමෙන් අනුරලා ලෝකයට දෙන්න හදන පණිවිඩය මොකද්ද?චිනය,රුසියාව, ඉන්දියා.දකුණු අප්‍රිකාව,බ්‍රසීලය ප්‍රමුඛ කරගත්ත BRICS සමුළුව ගැන අපේ උනන්දුවක් නෑ කියන එකයි.

අපි ප්‍රසිද්ධියේ බටහිර ගැති රාජ්‍යයක් බව පෙන්වීමද මේ කරන්නේ.බටහිරට පක්ෂපාතී සංවිධාන වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම,ලෝක බැංකුව ඇමරිකාව එක්ක විතරද අපි රටක් විදිහට හිටගන්නේ.ඇයි අනුරලා ඔච්චරට ට්‍රම්ප්ට ගැති. ඉන්දියාව උනත් සැලකිය යුතු විදිහට රුසියාව සහ චීනය වෙත නැඹුරු වෙමින් ඉන්නවා.නව ලෝක රටාවක් නිර්මාණය වෙමින් තියන මේ වගේ වෙලාවක ආසියාවේ දැවැන්තයින් විදිහට චීනය, ඉන්දියාව,රුසියාව,ඉන්දුනීසියාව වගේ රටවල් නැගී සිටින වෙලාවක අපි ඒ කදවුරට එකඟ නැති බව පෙන්වීම රටක් විදිහට අපට අවාසිදායකයි.

මීට පෙර ඉතා තීරණාත්මක අවස්ථාවලදී චීනය සහ රුසියාව බටහිර දඩයමට එරෙහිව අපි වෙනුවෙන් සුවිශේෂී මැදිහත්වීම් කරලා තියනවා.වර්තමාන භු දේශපාලනික තත්වයන් හමුවේ ඉන්දියාව පෙන්වන වෙනස්කම් ගැන අවබෝධයක් මෙයාලට නෑ.මේ තත්ත්වය ගැන සලකා බලන්නේ නැතිව ජාත්‍යන්තර දේශපාලනය තුල කරන මේ අඳුරේ අතපත ගෑම රටේ ස්වෛරීත්වයට දැඩි අනතුරක් ගේන්න පුළුවන්.

- රටේ රාළ -

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න