ජනපති ගිරයට අහුවෙයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

ආණ්ඩුවෙන් ඉවත්වීමේ යෝජනාව ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට..! 16 කල්ලියේ වැඩ ඇරඹේ-එකබද්ධයේත් සහය ගනී එජාපය තනි ආණ්ඩුවකටත් සුදානම් වෙයි..! (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්මුතිවාදී යහ පාලන…
ආණ්ඩුවෙන් ඉවත්වීමේ යෝජනාව ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට..!
16 කල්ලියේ වැඩ ඇරඹේ-එකබද්ධයේත් සහය ගනී
එජාපය තනි ආණ්ඩුවකටත් සුදානම් වෙයි..!
(සුජිත් මංගල ද සිල්වා)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්මුතිවාදී යහ පාලන ජාතික රජයෙන් වහාම ඉවත් වී විපක්ෂයට යා යුතු බවට වන යෝජනාවක් එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංගයට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරුන් දහසය දෙනා තීරණය කර තිබේ.
එම යෝජනාව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ද සහය ඇතිව කෙසේ හෝ ජයග්‍රහණය කරවීමට ද එම කණ්ඩායම සැලසුම් කර ඇත.
ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ ද සහය ඇතිව අදාළ යෝජනාව මධ්‍යම කාරක සභාවේදී සම්මත කර ගැනීමේ සැලසුම මේ මන්ත්‍රීවරුන් කණ්ඩායම සකස් කරනු ලැබුවේ එස් බී දිසානායක මහතාගේ කොළඹ නිවසේදී ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ පැවැත් වූ විශේෂ සාකච්ඡාවේදීය.
මේ යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදීම සඳහා මේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද පැමිණීමට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් විසි පස් දෙනාගෙන් පස් දෙනකු පමණ සිය යෝජනාවට පක්ෂව සිය කණ්ඩායමට එකතු කර ගැනීම සඳහා ද මේ මන්ත්‍රීවරුන් මේ වන විට ඒ ඒ මැති ඇමතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා ආරම්භ කර තිබේ.
උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ මේ යෝජනාව පරාජයට පත් කරමින් සම්මුතිවාදී යහ පාලන ජාතික රජය, එක්සත් ජාතික පක්ෂය සමග එකට එක්ව ඉදිරියටම ගෙන යා යුතු බවට වන යෝජනාව සම්මත කර ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මධ්‍යම කාරක සභික ඡන්ද හයක පමණ අඩුවක් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග පවසයි.
මේ තත්ත්වය හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ දේශපාලන වශයෙන් විශාල සිරවීමකට ලක්ව සිටින බව ද එම ආරංචි මාර්ග වැඩි දුරටත් පෙන්වා දෙයි.
මේ අතර සම්මුතිවාදී යහ පාලන ජාතික රජය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඉදිරියට ගෙන යන්න එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම මේ වන විටත් ඒකමතික තීරණය කර තිබේ.
කෙසේ නමුත් ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයට යා යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළොත් විකල්පයක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් ඇති කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ද එම පක්ෂය මේ වන විටත් ගනිමින් සිටියි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය විදේශ සංචාරය නිමවා ශ්‍රී ලංකාවට පැමිණි වහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැඳවීමට නියමිතය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
