අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපති-අගමැති “නයි-මුගටි”ගැටුම අවසන්..!

ජනපති-අගමැති “නයි-මුගටි”ගැටුම අවසන්..!

ඇමතිවරුන්ගේ විෂයන් බෙදීමේදී සිදුව ඇති වැරදි නිවැරදි කිරීමට දෙපාර්ශවය එකඟ වෙති..! ජනපතිවරණයකට යළි තරඟ කරන්න ජනපතිට අදහසක් නැහැ..? (සුජිත් මංගල ද සිල්වා) ජනපති-අගමැති “නයි-මුගටි” ගැටුම මේ වන විට අවසන්…

ඇමතිවරුන්ගේ විෂයන් බෙදීමේදී සිදුව ඇති වැරදි නිවැරදි කිරීමට දෙපාර්ශවය එකඟ වෙති..!

ජනපතිවරණයකට යළි තරඟ කරන්න ජනපතිට අදහසක් නැහැ..?

(සුජිත් මංගල ද සිල්වා)

ජනපති-අගමැති “නයි-මුගටි” ගැටුම මේ වන විට අවසන් වෙමින් පවතින බව ඉහළම පෙළේ දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ඒ අනුව රටේ පාලන කටයුතු කිසිදු විරසකයකින් තොරව 2019 නව වර්ෂයේ සිට සාකච්ඡා මාර්ගයෙන් සහ සමගියෙන් යුතුව ඉදිරියට ගෙන යාමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්  අතර පොදු එකඟතාවයක් ඇති වී තිබේ.

දෙපාර්ශවය අතර මේ සංහිඳියාව ඇති වී තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බදාදා (02) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති නව වර්ෂයේ ප්‍රථම කැබිනට් මණ්ඩල රැස්වීමේදීය.

කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භ වීමටත් පෙර එදින උදෑසනින්ම ජනාධිපති කාර්යාලයට ගොස් ඇති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, 2018 පරණ අවුරුද්දේ සිදු වූ දේශපාලන වශයෙන් අමිහිරි සියලුම කටුක අත්දැකීම් ද,ගැටුම් සහ  ප්‍රශ්න ද අමතක කර ජනාධිපතිවරයා වෙත සමයේ දෑත් දිගු කරමින් ඔහුට සුභ නව වසරක් වේවා යැයි ප්‍රාර්ථනා කර අතට අත දී ආචාර කර තිබේ.

එහිදී වහාම නැගී සිට ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දෑත සිය දෑතින්ම අල්ලා ගෙන ඔහුගේ සුභ පැතුම් උණුසුම් ලෙස පිළි ගනිමින්  “ආයුබෝවන්” කියා අගමැතිවරයාට ද නව වසර වෙනුවෙන් සිය හදවතින්ම උණුසුම් ලෙස සුභ පැතුම් එක්කර ඇත.

අනතුරුව කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භ වී ඇති අතර එහිදී කැබිනට් ඇමතිවරුන්ගේ විෂයන් සහ කාර්යභාරයන්ට අදාළව නිකුත් කෙරුණු අති විශේෂ ගැසට් පත්‍රය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවමින් මැති ඇමතිවරුන් විවිධ කරුණු සාවදානව සහ සාමකාමී ලෙස මතු කර තිබේ.

ඒ කරුණු කාරණා අනුමත කර ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් ඇමතිවරුන්ට අදාළ විෂයන් සහ කාර්යභාරයන් බෙදීමේදී නිලධාරීන් අතින් විවිධ අඩුපාඩු සහ වැරදි සිදුව ඇති බව පිළි ගෙන ඇති අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කර ඒ සියල්ල නිවැරදි කර ගත හැකි බව ද ප්‍රකාශ කර ඇත.

ඒ අනුව අදාළ අති විශේෂ ගැසට් පත්‍රය මගින් ඇමතිවරුන්ට විෂයන්,කාර්යභාරයන් සහ ආයතන බෙදීමේදී සිදුව ඇති අඩුපාඩු සහ වැරදි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එක්ව සාකච්ඡා මාර්ගයෙන් ඉතා ඉක්මනින්ම නිවැරදි කිරීමට නියමිතය.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2018 දෙසැම්බර් 31 වැනිදා රාත්‍රියේ පෞද්ගලිකව තමාට අතිශය සමීප පිරිසක් සමග පොළොන්නරුව සිය නිවසේදී කළ විශේෂ සාකච්ඡාවකදී අඟවා තිබෙන්නේ ජනාධිපතිවරණයකට යළි තරඟ කිරීමේ අවශ්‍යතාවයක් තමාට නොමැති බවය.

රටත් ජනතාවත් වෙනුවෙන් කිරීමට ඉතිරිව ඇති සියලු කටයුතු මේ වර්ෂය නිම වන විට සිදු කර අවසන් කිරීම තමාගේ එකම බලාපොරොත්තුව බව එහිදී පෙන්වා දී ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ පාර්ශවය සමග එක්ව වැඩ කිරීමේ සහ ඒ අය සමග ඉදිරියටත් දිගටම වැඩ කිරීමේ හැකියාවක් නොමැති බව ද අඟවා තිබේ.

මේ අතර රටේ ඉහළම තනතුරුවලට පුද්ගලයින් පත් කිරීමේදී ඒ පිළිබඳව සියලු කරුණු කාරණා සොයා බලා තීන්දු තීරණ ගැනීම සඳහා කමිටුවක් පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් කරන්න යන්නේ ඒ ඒ තනතුරුවලට ඔහුට අවශ්‍ය අය පත් කර ගනිමින් එක්සත් ජාතික පෙරමුණට කොකා පෙන්වීමට දැයි එම පෙරමුණේ මැති ඇමතිවරුන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග අරලිය ගහ මන්දිරයේ බ්‍රහස්පතින්දා (03) පැවැත්වූ සාකච්ඡාවකදී ප්‍රශ්න කර තිබේ.

එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති එම ක්‍රියා මාර්ගය අනුමත කර ඇති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාත් තමාත් අතර ඇති වී තිබෙන සංහිඳියාව ගැන ඉඟි පළ කරමින් මැති ඇමතිවරුන් හමුවේ  මෙසේ කියා ඇත.

“නැහැ...නැහැ...ජනාධිපතිතුමාගේ එවැනි සුදානමක් නැහැ. ඒ කමිටුව හොදයි.ඒක හොඳ තීරණයක්...ඒ කමිටුවට එතුමාගෙයි මගේයි නියෝජිතයින් දෙදෙනා බැගිනුයි මුදල් අමාත්‍යංශයේ නියෝජිතයෙකුයි ඇතුලත් වෙනවා.ඒ අය හරියට තීන්දු ගනීවි”

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
ජනපති-අගමැති “නයි-මුගටි”ගැටුම අවසන්..! | Lanka Newsweek