අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපතිගේ හිත රංජන් කෙරෙහි ද උණු වේවා -කරූ-

ජනපතිගේ හිත රංජන් කෙරෙහි ද උණු වේවා -කරූ-

උපාලි අබේරත්නගේ නිසා නීතිය කැලෑ වැදුණා අත්අඩංගුවට ගැනීම් නැහැ-පැහැර ගැනීම් විතරයි පාර්ලිමේන්තුව සිය වගකීම් ඉටු කරන්නේ නැහැ ජනතා නැඟිටීම සිකුරුයි (සුජිත් මංගල ද සිල්වා) බොහෝ සිරකරුවන්ට අදාළව උණු වන…

උපාලි අබේරත්නගේ නිසා නීතිය කැලෑ වැදුණා 

අත්අඩංගුවට ගැනීම් නැහැ-පැහැර ගැනීම් විතරයි 

පාර්ලිමේන්තුව සිය වගකීම් ඉටු කරන්නේ නැහැ 

ජනතා නැඟිටීම සිකුරුයි 

ජනපතිගේ හිත රංජන් කෙරෙහි ද උණු වේවා -කරූ-

(සුජිත් මංගල ද සිල්වා) 

බොහෝ සිරකරුවන්ට අදාළව උණු වන ජනාධිපතිවරයාගේ හිත රන්ජන් රාමනායකට අදාළවද උණු වේවා යැයි ප්‍රාර්ථනා කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති සහ හිටපු කතා නායක දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

තාමාට ගත හැකි නීත්‍යානුකූල ක්‍රමවේදයන් සහ සම්ප්‍රදායන් යොදා ගනිමින් රන්ජන් රාමනායක මහතා වෙත ද ජනාධිපති සමාව ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටින බව පෙන්වා දෙන කරු ජයසූරිය මහතා එම ඉල්ලීම ජනතාව අතරින් ඉදිරිපත් වන අභියාචනයක් ලෙස සලකන්න යැයි ද ඉල්ලා සිටියි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන් වේ. 

දැන්වීම

අද වන විට අපේ රට වේගයෙන් විනාශ වෙමින් පවතින බව සෑම පාර්ශවයකින්ම ලැබෙන වාර්තා මගින් පෙනෙන්නට තිබෙනවා.රටේ ආර්ථිකය බරපතළ ලෙස කඩා වැටෙමින් පවතින බව අප පසුගිය සතියේදීත් පෙන්වා දුන්නා. විදේශ විනිමය සංචිතය ශීඝ්‍ර ලෙස අවම වෙමින් තිබීම, විදේශ ණය වාරික ගෙවීම සදහා ඉදිරි මාස කිහිපයේ දී ඩොලර් මිලියන ගණනාවක් අත්‍යවශ්‍යව තිබීම, අවශ්‍යම ආනයන කටයුතු සදහා ණය වර ලිපි නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් මතුව තිබීම වැනි කරුණු  එහිදී අප සහේතුකව පෙන්වා දුන්නා. 

මෙම තත්ත්වය නිසා බලවත් අසීරුවට පතව සිටින තවත් පිරිසක් පිළිබදව ද මේ වන විට දැන ගන්නට ලැබී තිබෙනවා. ඒ තමයි විදේශ රටවල අධ්‍යාපනය ලබමින් සිටින ශ්‍රී ලාංකික දූ දරුවන්. එක පැත්තකින් රටේ ජීවත් වන අපේ දූ දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය අද අහිමි වී තිබෙනවා. රටේ පාසැල් පද්ධතිය වැහිලා. සියලුම විශ්ව විද්‍යාල වසා දමලා. ඔවුනට විකල්ප අධ්‍යාපන අවස්ථා ලබා දීමට වග කිවයුත්තන් අපොහොසත් වෙලා. ඒ අතර විදේශ රටවල අධ්‍යාපනය ලබමින් සිටින අපේ දූ දරුවන්ට අවශ්‍ය පාඨමාලා ගාස්තු එම රටවලට ගෙන්වා ගැනීමට නොහැකි තත්ත්වයක් මේ වන විට ඇති වෙලා. 

අපේ රටේ ආර්ථිකය ඒ තරමටම පිරිහිලා. නමුත් මේ රටේ පාලකයන් සුරංගනා කතා කියමින් වෙනත් ලෝකවල ජීවත් වන පිරිසක් වගේ බොළද කතා දොඩවමින් ජනතාව මුලා කරන්නට හදනවා. අඩුම වශයෙන් මේ තත්ත්වයෙන් රට ගොඩ ගැනීම සදහා නිසි දැක්මක් හෝ වැඩ පිළිවෙළක් පිළිබදව  ඔවුන් කල්පනා කරන ආකාරයක්  පෙනෙන්නට නැහැ.
 
මෙම තත්ත්වය පිළිබදව අපට ඇතේතේ බලවත් කම්පාවක්. වේදනාවක්. මෙම තත්ත්වය පිළිබදව ආණ්ඩුව රටේ ජනතාවට කරුණු පැහැදිලි කළ යුතුයි. ඔවුන්ගේ සැලසුම් සහ ඉදිරි ක්‍රියා මාර්ග පිළිබදව ජනතාවට කරුණු දැක් විය යුතුයි. ඒ වගේම මේ රටේ ජනතාවද මෙම අසීරු අවස්ථාව පිළිබදව නිසි අවබෝධයකින් යුතුව සිටිය යුතුයි. මෙම කරුණු පිළිබදව සියලුම පාර්ශවයන්හි අවධානය යොමු වේවා යයි ප්‍රාර්ථනා කරනවා.
 
අද අපේ රට බංකොලොත් වි තිබෙන්නේ ආර්ථික අතින් පමණක්ම නොවේ. දේශපාලන වශයෙන්ද මුළු රටම බංකොලොත් වෙලා. අද මේ රටේ පාලකයන් කටයුතු කරමින් සිටින ආකාරය දකින විට පෙනෙන්නේ එවැනි තත්ත්වයක්. ජනතාවගේ හැගීම් පිළිබදව ඔවුන් තඹ දොයිතුවක අවධානයක් හෝ යොමු කරවන බවක් පෙනෙන්නට නැහැ. අද මේ රටේ නීතිය එක් එක් අයට අදාළව එක් එක් ආකාරයට යොදා ගන්නා ආකාරයක් පෙනී යනවා. ආණ්ඩුවේ දේශපාලනඥයින්ට එක් නීතියක් සහ විපක්ෂයේ දේශපාලනඥයින්ට තවත් නීතියක් ක්‍රියාත්මක වන බවක් පෙනීයනවා.
 
රන්ජන් රාමනායක මැතිතුමා පිළිබදව අද අප විශේෂ අවධානයක් යොමු කරන්නේ ඒ නිසයි. රන්ජන් රාමනායක කියන්නේ දකුණු ආසියාවෙම ප්‍රසිද්ධියක් ලබා ඇති ජනප්‍රිය රංගන ශිල්පියෙක්. අප දන්නා තරමට ඔහු චිත්‍රපට සියයකට ආසන්න සංඛ්‍යාවක රඟපා තිබෙනවා. සරසවිය සහ OCIC යන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිනමා සම්මාන උලෙළවල හොදම නළුවා ලෙස ඔහු සම්මානයට පාත්‍රව තිබෙනවා. ඒ වගේම පසුගිය වසර ගණනාවකම ඔහු ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම නළුවා ලෙස සම්මාන දිනා ගෙන තිබෙනවා.ඒ වගේම චිත්‍රපට ගණාවක්ම ඔහු විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා. 

පුද්ගලයෙකු වශයෙන්ද ඔහු ඉතාමත් නිහතමානී අයෙක් වනවා. මේ රටේ නිතර අසන්නට ලැබෙන වංචා දූෂණ කිසිවකට හෝ ඔහු හවුල්වී ඇති බවක් අප අසා නෑ. ඒ වගේම ඔහු අපරාධකරුවෙකු ද නොවේ. ඒ අනුව ඔහු අද පත්ව සිටින ඉරණම පිළිබදව අපද අවධානය යොමු කරනවා. අධිකරණයට ඔහු විසින් සිදු කරන ලැබුවේ යැයි කියන අපහාසයට මේ වන විටත් ඔහු වන්දි ගෙවා තිබෙනවා. ඒ ගැන අප ප්‍රශ්න කරන්නට යන්නේ නෑ. නමුත් ඔහුට ලැබී තිබෙන දඩඬුවම මේ තරම් බරපතළ විය යුතුව තිබුණේද කියන ප්‍රශ්නය සමාජයේ තිබෙනවා. අධිකරණ ක්ෂේත්‍රයේත් ඒ පිළිබදව සංවාදයක් පවතිනවා. මෙවැනි වරදවලට අනෙකුත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල, විශේෂයෙන් ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මේ මෑතකදීත් ලබාදී තිබෙන දඩුවම් පිළිබදව සලකා බැලිමේදීත් මෙම කරුණට අදාළව සංවාදයක් අප රටේ ඇතිවීම යහපත් තත්ත්වයක් ලෙස අප සලකනවා.
 
ඒ කෙසේ නමුත් අප දන්නා අකාරයට මේ වන විට රන්ජන් රාමනායක මහතා බන්ධනාරයේ කල් ගෙවන්නේ යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් නොවේ. ඒ නිසා ඔහුට ලබාදී ඇති මෙම දඬුවම පිළිබදව මානුශිකත්වයෙන් යුතුව නැවත සලකා බලන්න යැයි අප සියලුම පාර්ශවයන්ගෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා. 

ගරු ජනාධිපතිතුමාගෙන් මෙහිදී අප ඉල්ලා සිටින්නේ ඒ ගැන අවධානය යොමු කරවන ලෙසයි. බොහෝ අයට අදාළව උණුවී ඇති එතුමාගේ හිත රන්ජන් රාමනායකට අදාළවද උණු වෙත්වා යැයි එහිදී අප ප්‍රාර්ථනා කරනවා. ජනාධිපති සමාව යටතේ එතුමාට ගත හැකි නීත්‍යානුකූල ක්‍රමවේදයන් සහ සම්ප්‍රදායන් යොදා ගනිමින් ඒ පිළිබදව සලකා බලන ලෙස  අප ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මෙම ඉල්ලීම රන්ජන් රාමනායක මැතිතුමා වෙනුවෙන් ජනතාව අතරින් එන අභියාචනයක් ලෙස සලකා බලන ලෙස ඉල්ලා සිටිනවා.
 
ඒ සමග අප ආණ්ඩුවේ අවධානය යොමු කරවන තවත් වැදගත් කරුණක් තිබෙනවා. එනම් උපාලි අබේරත්න කොමිසමේ නිර්දේශ මගින් සිදු විය හැකි අයුක්තියයි. දේශපාලන පළි ගැනීම්වලට සහන දෙන්නේය යන මුවාවෙන් ලබාදී තිබෙන එම නිර්දේශ මේ රටේ නීතිය කැලෑ වද්දවා තිබෙනවා. ඉතා පැහැදිළි  සාක්ෂි පදනම් කර ගනිමින් ගරු නීතිපතිතුමා විසින් අධිකරණය හමුවේ පවරා තිබෙන නඩු ගණනාවකම චූදිතයන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඒ මගින් නිර්දේශ කර තිබෙනවා. එමෙන්ම විපක්ෂය නියෝජනය කරන සක්‍රීය දේශපාලනඥයන් ගණනාවකට දැඩි දඩුවම් ලබා දිය යුතු යැයි එමගින් නිර්දේශකර තිබෙනවා. 

එවැනි තීන්දු ලබා දිය හැක්කේ කැලෑ උසාවියකට පමණයි. කිසිදු ශිෂ්ඨසම්පන්න රටක මෙවැනි සිද්ධීන් සිදු වෙන්නේ නෑ. එවැනි රටක කොමිසමකින් මෙවැනි  අනීතික නිර්දේශ ලබා දුන්න හොත් ඊට එරෙහිව පළමුවෙන්ම නැගී සිටින්නේ එම රටවල නීති ප්‍රජාව සහ ව්‍යවස්ථාදයකයයි. අප දන්නා ආකාරයට මෙම කැලෑ උසාවි නිර්දේශයන්ට එරෙහිව පාර්ශව කිහිපයක්ම අධිකරණය හමුවට ගොස් තිබෙනවා. නමුත් මේ රටේ පාර්ලිමේන්තුව එහිදී සිය වගකීම ඉටු කරන බවක් පෙනෙන්නට නැහැ. එහිදී වැඩිම වගකීමක් පැවැරෙන්නේ ගරු අග්‍රාමාත්‍ය තුමා වෙතටයි. අඩුම වශයෙන් එතුමා මුල් වී මෙම කැලෑ නිර්දේශ පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයෙන් බැහැර කළ යුතුයි.
 
මේ සියලු කාරණා අතරේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස පුන පුනා අවධාරණය කරන කරුණක් කෙරෙහි නැවත වතාවක් රජයේ අවධානය යොමු කිරීමට කැමතියි. එනම්, 20 වන සංශෝධනයෙන් පසු ස්වාධීන කොමිෂන් සභා සඳහා පත් කර ඇති ඇතැම් සාමාජිකයින් පිළිබඳවයි. ඔවුන් අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මෙහෙයුම් කාර්යාලයේ සේවය කරන ලද පිරිසක් ද සිටිනවා. දේශපාලන පක්ෂ ක්‍රියාකාරිකයන් ගණනාවක් ද ඒ අතර වනවා. මෙම තත්ත්වය ඉතාමත්ම අශෝභනයි. එමෙන්ම කිසිසේත්ම යුක්ති යුක්ත කළ නොහැකි බැරෑරුම් කාරණයක් ද වනවා. මේ ගැන අන්තර්ජාතික ප්‍රජාවේ අවධානයද දැනටමත් යොමු වී පවතිනවා. ඒ නිසා මෙම තත්ත්වය නොපමාවම නිවැරදි කරන ලෙස අප ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
 
ඒ වගේම අගය කළ යුතු තැනකදී ඒවා අගය කරන්නට අප කිසි විටෙක මැලි වන්නේ නැහැ. පසුගියදා ගරු ජනාධිපතිතුමා අධිකරණ සේවයට අදාළ පත් වීම්  කිහිපයක්ම සිදු කරනු ලැබුවා. එහිදී නීතිපතිවරයා සහ ඉහළ අධිකරණයේ විනිශ්චයකාරවරුන් දෙදෙනෙකුට නව පත් වීම් ලබා දී තිබෙනවා. එම පත් කිරීම් විනිවිධභාවයෙන් යුතුව නිසි ආකාරයට සිදු කර තිබෙනවා. එම ක්‍රියාව අප අගය කරනවා.
 
ඒ වගේම රටක් වශයෙන් අප රටේ පුරවැසියා සතු අයිතීන්ට අත නොතැබිය යුතුයි. කතා කිරීමේ අයිතිය ද ඇතුළු මූලික අයිතිවාසිකම් කෙරෙහි වඩා ගරුත්වයකින් යුතුව කටයුතු කළ යුතුයි. පුද්ගලයන් අත්ඩංගුවට ගැනීමකදී වුවද එම ක්‍රියාව සිදු විය යුත්තේ රටේ පවතින නීතියට අනුගතවයි. පුද්ගලයන් පැහැර ගෙන යන ආකාරයට ඒවා සිදු නොවිය යුතුයි. 

අපට මේ ගැන මේ ආකාරයට කතා කරන්නට සිදුව තිබෙන්නේ අසේල සම්පත් නැමැති සමාජ ක්‍රියා ධරයා පසුගියදා රහස් පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති ආකාරය කිසිසේත්ම අනුමත කළ නොහැකි නිසයි. එමෙන්ම මහ ජන උද්ඝෝෂණ අවස්ථාවන්හිදී පොලිසිය වගේම දේශපාලක්නයන්ද වගකීමකින් යුතුව කටයුතු කළ යුතුයි. පසුගියදා රිදීමාලියද්ද නගරයේ පැවැති එවැනි ජනතා උද්ඝෝෂණයක දී එක්තරා ප්‍රාදේශීය දේශපලකයෙකු මැර හමුදාවක්ද සමග එතැන්ට කඩා වැදී සිදු කළ නිර්ලජ්ජිත පහරදීම අප තරයේම හෙළා දකිනවා. එමෙන්ම එම පහර කෑමට ලක්වූ සියලුම දෙනාට යුක්තිය ඉටු විය යුතුයි. ඔවුන්ට යුක්තිය ඉටු කරන්නට නම් සියල්ලටම ප්‍රථමයෙන් එම ප්‍රහාරයට සම්බන්ධ සියලුම දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු වෙනවා. 

දේශපාලකයන්ට අදාළව එක නීතියකුත් රටේ සාමාන්‍ය පුද්ගලයන්ට අදාළව තවත් නීතියකුත් තිබෙන්නට බැහැ. රටේ තව දුරටත් කටයුතු සිදු වන්නේ මේ ආකාරයට නම් එමගින් ඇති කරවිය හැකි ප්‍රතිවිපාක මේ රටේ වග කිව යුත්තන්ට දැක බලා ගත හැකි වන දිනය වැඩි ඈතක නොවනු ඇත. කොවිඩ් වසංගතය නිසා මේ රටේ ජනතාවගෙන් අති බහුතරය මේ වන විට නිහඩව බලා ගෙන සිටියත් තව දුරටත් එවැනි තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න එපා. මහ ජන බලය කිසි විටක අවතක්සේරු කරන්න එපා. මේ රටේ පාලක තන්ත්‍රය මෙම යථාර්ථය නිවැරදිව අවබෝධ කර ගනු ඇතයි අප අපේක්ෂා කරනවා.

ජනපතිගේ හිත රංජන් කෙරෙහි ද උණු වේවා -කරූ-

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 6
බෙදාගන්න
ජනපතිගේ හිත රංජන් කෙරෙහි ද උණු වේවා -කරූ- | Lanka Newsweek