අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ජනපතිගෙන් අගමැතිට විධායක බලපෑම්..!

ජනපතිගෙන් අගමැතිට විධායක බලපෑම්..!

විශ්වාස භංගයට පක්ෂ වූ ශ්‍රීලනිප කණ්ඩායමට විධායක රැකවරණය..? (සුමුදු පෙරේරා) ජනාධිපතිවරයා ලෙස සිය වැඩ කටයුතු සහ තීන්දු තීරණ අභියෝගයට ලක් කළොත් හෝ ඊට බාධා එල්ල කළොත් ඒ සම්බන්ධයෙන් දැඩි පියවර ඉදිරියේදී…

 විශ්වාස භංගයට පක්ෂ වූ ශ්‍රීලනිප කණ්ඩායමට විධායක රැකවරණය..?

(සුමුදු පෙරේරා)

ජනාධිපතිවරයා ලෙස සිය වැඩ කටයුතු සහ තීන්දු තීරණ අභියෝගයට ලක් කළොත් හෝ ඊට බාධා එල්ල කළොත් ඒ සම්බන්ධයෙන් දැඩි පියවර ඉදිරියේදී ගැනීමට තමාට සිදු වන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන්ට අනතුරු අඟවා තිබේ.

2020  ජනාධිපතිවරණයට තරඟ කිරීමට තමාට අදහසක් නොමැති නිසා සිය ඉතිරි ධූර කාලයෙදී රටෙත්,ආණ්ඩුවේත් වැඩ කටයුතු බාධාවකින් සහ ප්‍රශ්නයකින්  තොරව නිවැරදිව  ඉදිරියට ගෙන යාමට තමාට ඉඩ තිබිය යුතු යැයි ද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ අනතුරු අඟවා තිබෙන්නේ අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් සමග ජනාධිපති නිල නිවසේදී ඊයේ (05) රාත්‍රියේ පැවැත් වූ සාකච්ඡාවේදී, විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට්,රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව කරුණු  සාකච්ඡා කෙරුණු අවස්ථාවේදීය.

විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළ ශ්‍රී ලංකා  නිදහස් පක්ෂයේ කණ්ඩායම සමග ආණ්ඩුව ඉදිරියට ගෙන යා නොහැකි නිසා ඒ අය අදාළ තනතුරුවලින් පහ කළ යුතු යැයි එහිදී පෙන්වා දී ඇති එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන්, අග්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩුව පිළිබඳව විශ්වාසයක් නොමැති පිරිසක් සමග මේ ගමන ඉදිරියට යන්නේ කෙසේදැයි ද ප්‍රශ්න කර ඇත.

එහිදී ඊට විරුද්ධව අදහස් දක්වා ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දී ඇත්තේ මේ කණ්ඩායම ඒ අයගේ තනතුරුවලින් පහ කළොත් ඒ අය ඒකාබද්ධ විපක්ෂයට එකතු වනු ඇති අතර එවිට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන එම  කණ්ඩායම දේශපාලන වශයෙන් ශක්තිමත් වන බවය.එමනිසා විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළා කියා එම මැති ඇමතිවරුන් ඒ අයගේ ධූරවලින් පහ කිරීමට ඉඩ දිය නොහැකි බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තරයේ කියා ඇත.

ජනාධිපතිවරයාගේ මතයට විරුද්ධව අදහස් දක්වා ඇති එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් පෙන්වා දී ඇත්තේ විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළ මේ කණ්ඩායමට මහින්ද රාජපක්ෂ වෙත අමුතුවෙන් යන්න අවශ්‍යතාවක් නොමැති අතර ඒ අය මේ වන විටත් සිටින්නේ මහින්ද රාජපක්ෂ ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂය සමග බවය.

මේ කරුණු කාරණා සම්බන්ධයෙන් උද්ගත වූ මත ගැටුම් හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මේ සාකච්ඡාව අවසන් තීන්දුවකින් තොරව අවසන් වී ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
ජනපතිගෙන් අගමැතිට විධායක බලපෑම්..! | Lanka Newsweek