ජනතාවට අනවශ්‍ය බදු නොගසා අදායම් උපයන හැටි රවී කියයි

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රායෝගික සහ අපේක්ෂිත ඉලක්ක සපුරා ගත හැකි නව සාධාරණ බදු ක්‍රමයක් ඇති කළ යුතු යැයි හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.…
ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රායෝගික සහ අපේක්ෂිත ඉලක්ක සපුරා ගත හැකි නව සාධාරණ බදු ක්‍රමයක් ඇති කළ යුතු යැයි හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.
රාජ්‍ය මූල්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක වන දැඩි බදු ක්‍රියා මාර්ග පිළිබඳ දැනට පැවැත්වෙන සාකච්ඡා සහ වාද විවාද ප්‍රායෝගික සේම තිරසාර නොවන බව තමාට නිරික්ෂණය වී ඇති බව ද ඔහු පවසයි.
වත්මන් බදු ක්‍රමය සම්බන්ධයෙන් "lankanewsweek" වෙත අදහස් දක්වමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක තව දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, විවිධ බදු නියම කිරීම සහ ගෙවීමට ජනතාවට ගෙවීමට නොහැකි බදු අය කරනවාට වඩා මුල්‍ය ඉලක්ක සපුරා ගනිම සදහා කොපමණ මුදල් ප්‍රමාණයක් එකතු කළ යුතු ද යන්න සොයා බැලිය යුතු බවය.
දැන්වීම
ගෙවුණු වකවානුවේ දී රට කරවන අය ක්‍රියාත්මක කළ වැරදි ආර්ථික ප්‍රතිපත්ති සහ ඒ මත ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් වාර්තාගත උද්ධමනයක් ඇති වී තිබෙන අතර අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සැපයුම්වල ඇති වී තිබෙන උග්‍ර හිඟය වලක්වා ගැනීම සනහා ප්‍රබල උත්සාහයක් ගැනීමට ආණ්ඩුවට සිදුව ඇතැයි ද රවී කරුණානායක මහතා පෙන්වා දුන්නේය.
තමා මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේදී ගෙවුම් ශේෂ අර්බුදය මඟ හරවා ගැනීමට සහ නිල විදේශ සංචිත නැවත වර්ධනය කර ගෙන ජාත්‍යන්තර ආයෝජකයන් අතර විශ්වාසය ගොඩනගා ගැනීම සනහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇප කර ගත් ආකාරය සිහිපත් කළ රවී කරුණානායක මහතා, එහි දී රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.4% සිට 15% දක්වා මාස 33කට අඩු කාලයකදී වර්ධනය කර ගනු ලැබුවේ බදු ආදායම් ඉලක්ක මගින් විනා බදු ගෙවන්නන්ගේ බදු ප්‍රතිශතය මත නොවන බව ද සඳහන් කළේය.
රජයේ ආදායමේ හිඟය පියවා ගැනීමේදී වඩාත් ප්‍රායෝගික අත්දැකීම් සහ වෘත්තීයමය වශයෙන් පුහුණුවක් සහිත ප්‍රවේශයක් අවශ්‍ය බව පෙන්වා දෙන හිටපු මුදල් අමාත්‍යවරයා, එහිදී ඇති බරපතළම අභියෝගය වන්නේ තමා බදු ගෙවීම සාධාරණ නොවන බවත් උපයන ආදායම් රාජ්‍ය සේවකයන් සහ දේශපාලනඥයින් විසින් නාස්තියට සහ සූරාකෑමට ලක් කරන බවට ජනතාව අතර ඇති මතය බව ද පවසයි.
එබැවින් ආණ්ඩුව උපයන සෑම රුපියලක්ම ඥානාන්විතව වියදම් කරන බවට ජනතාවගේ සිත්වලට කාවැද්දීම අවශ්‍ය වන අතර රටක් ලෙස ශ්‍රී ලංකාව නිදහස ලබා වසර 75ක් ගෙවී අවසන් නමුත් ආර්ථික නිදහස ලබා ගෙන තිබේද යන්න විමසා බැලීමට සිදුව ඇති බව ද ඔහු අවධාරණය කර සිටියි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය මුළුමනින්ම පාහේ අඩාල වී ඇති අවස්ථාවක, එම ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම කෙරෙහි ධනාත්මකව බැලිය යුතු බවත් සෑම ශ්‍රී ලාංකිකයෙක්ම රට නැවත නගා සිටුවීමට සහ රටට ආදායමක් ගෙන ඒමට දැඩි අධිෂ්ඨානයෙන් ක්‍රියා කළ යුතු බවත් රවී කරුණානායක මහතා වැඩි දුරටත් කියා සිටියේය.