ජනතාවගේ ආර්ථික සහ මානසික පීඩා දුරු වන නව වසරක් වේවා..!

ජාතික සහ ආගමික සමඟිය ගොඩනංවා ගනිමින් අනෙකා ගැන සමානව සිතන, සාධාරණ සමාජයක අපේක්ෂාවන් මල්ඵල ගැන්වෙන, ශ්‍රී ලාංකික දේශය පියවරෙන් පියවර ගොඩනැගෙමින් ජනතාව පිට පැට වුණු ආර්ථික සහ මානසික පීඩාවන් දුරු වන නව…
ජාතික සහ ආගමික සමඟිය ගොඩනංවා ගනිමින් අනෙකා ගැන සමානව සිතන, සාධාරණ සමාජයක අපේක්ෂාවන් මල්ඵල ගැන්වෙන, ශ්‍රී ලාංකික දේශය පියවරෙන් පියවර ගොඩනැගෙමින් ජනතාව පිට පැට වුණු ආර්ථික සහ මානසික පීඩාවන් දුරු වන නව වසරක් වේවා යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා උදා වූ නව වසර වෙනුවෙන් සුභපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටින අතර එම පණිවුඩයේ මෙසේ ද සඳහන් වේ.
ශ්‍රී ලාංකික ජාතියක් ලෙස අපට වැදගත් හා බැරෑරුම් අභියෝග ජයගත යුතු වසරක් උදා වී තිබේ. එම අභියෝග ජය ගැනීමටනම්, අතීතයේ සිදු වූ වැරදි නිවැරදි කරගනිමින් ප්‍රශ්ණ ගැටළු හමුවේ හැඟීම් වලට ඉඩ නොදී ඉතා බුද්ධිමත්ව කටයුතු කිරීමට අප සියළුදෙනා අදිටන් කරගත යුතුය.
2024 වර්ෂය මැතිවරණ වසරක් බැවින් මහජන නියෝජිතයින් තෝරාගැනීමේ දී ගරු කටයුතු පුද්ගලයින් දේශපාලන බේදයකින් තොරව තෝරාගැනීමට ජනතාව බුද්ධිමත් විය යුතුය. හුදෙකලාව අභියෝග ජය ගත නොහැකි බව ගෙවුණු වසර ගණනාවක් තුළ අපට තේරුම් කර දී තිබේ. මේ සමාජය තුළ ජීවත් වන්නේ ඔබය, මමය අප සියළු දෙනාගේම කැඩපත්ය. එකිනෙකාට ගරු කරමින්, අනෙකාගේ සිතිවිලි තේරුම් ගනිමින් කටයුතු කිරීම තුළ වඩාත් සමෘධිමත් රාජ්‍යයක් නිර්මාණය කරගත හැකි බව අපගේ හැඟීමයි.
දැන්වීම
මේ මොහොතේ සමාජයේ බොහෝ පුද්ගලයින් සිටින්නේ කම්පනයෙනි, එබැවින් අප කිසි විටෙකත් තවකෙකුට පීඩාවක් සිදුවන අයුරින් කටයුතු නොකළ යුතුය. දූෂණ වංචාවන්ට එරෙහිව නැගී සිටිය යුතුය. නිවැරදි අරමුණු වෙනුවෙන් හා සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් සියළු දෙනා කැප වී කටයුතු කළ යුතුය.
පසුගිය වසරේ ගමනාගමන සහ සෞඛ්‍ය අංශ වල සිදු වූ වැඩවර්ජන හේතුවෙන් අසරණ ජනතාව පීඩාවට පත්වූ අයුරු අප දුටුවෙමු. එබැවින් හදිසි අසාධාරණ වැඩවර්ජන වැනි ජනතාව පීඩනයට පත්කරන වැඩසටහන් පිළිබඳව මධ්‍යස්ථව සිතා බලමින් උදාවන නව වසරේ නිවැරදි චින්තනයෙන් යුතුව කටයුතු කරන ලෙස අප ඉල්ලා සිටිමු.
ජාතික, ආගමික සමඟිය ගොඩනංවාගනිමින් අනෙකා ගැන සමානව සිතන, සාධාරණ සමාජයක අපේක්ෂාවන් මල්ඵල ගැන්වෙන, ශ්‍රී ලාංකික දේශය පියවරෙන් පියවර ගොඩනැගෙමින් ජනතාව පිට පැටවුණු ආර්ථික සහ මානසික පීඩාවන් දුරු වන නව වසරකට ආසිරි පතන අතර ලක්වැසි සැමටත්, ලෝවැසි සැමටත් සුබවාදී පැතුම් ඉටුවන නව වසරක් උදා වේවායි ප්‍රාර්තනය කරමි..!