අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

චෝදනා එල්ල වූ පමණින් සැකකරුවකු වරදකරුවකු නොවේ

චෝදනා එල්ල වූ පමණින් සැකකරුවකු වරදකරුවකු නොවේ

රවී කරුණානායක සිද්ධියෙන් මතු වන නීතියේ මූලික සිද්ධාන්තය-දේශපාලන වගවීම සහ මාධ්‍යයේ වගකීම (සුජිත් මංගල ද සිල්වා) රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන පසුව…

රවී කරුණානායක සිද්ධියෙන් මතු වන නීතියේ මූලික සිද්ධාන්තය-දේශපාලන වගවීම සහ මාධ්‍යයේ වගකීම

(සුජිත් මංගල ද සිල්වා)

රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන පසුව අධිකරණය මගින් ඇප මත මුදා හැරීම මේ වන විට දේශපාලන සහ සමාජ අවධානයට ලක්ව ඇති සිදුවීමකි. එහෙත් මෙම සිද්ධිය දෙස බැලිය යුත්තේ දේශපාලන පක්ෂපාතීත්වයෙන් හෝ පුද්ගලයකුට එරෙහිව ඇති කැමැත්ත–අකමැත්ත මත නොව, නීතිය, සාක්ෂි, වගවීම සහ සාධාරණ නඩු විභාගයක මූල ධර්ම මතය.

මෙහිදී මූලික කරුණක් කිසිසේත් අමතක කළ නොහැකිය. එනම්  චෝදනාවක් එල්ල වීම සහ වරදක් ඔප්පු වීම එකම දෙයක් නොවේ. රවී කරුණානායක මහතාට එරෙහිව එල්ල වී ඇත්තේ ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවා ගත් පුද්ගලයන් තිදෙනෙකු දේශපාලන කටයුතු සඳහා යොදවා, එම මණ්ඩලයේ අරමුදල්වලින් ඔවුන්ට වැටුප් සහ දීමනා ගෙවීම හරහා රජයට පාඩුවක් සිදු කළ බවට වන චෝදනාය.

අල්ලස් කොමිසම අධිකරණයට ඉදිරිපත් කර ඇති කරුණු අනුව, අදාළ පුද්ගලයන් තිදෙනා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගෙන තිබූ අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු සම්බන්ධීකරණ නිලධාරීන් ලෙසත් අනෙක් පුද්ගලයා කළමනාකරණ සහකාරවරයකු ලෙසත් කටයුතු කර තිබේ. ඔවුන් ලොතරැයි මණ්ඩලයට සේවය නොකර එම මණ්ඩලයෙන් වැටුප් හා දීමනා ලබාගෙන ඇති බවට ද කොමිසම චෝදනා කර ඇත.

දැන්වීම

එහෙත් මේ කිසිවක් අධිකරණය විසින් අවසන් වශයෙන් තීරණය කළ කරුණක් නොවේ. ඒ නිසා මාධ්‍යයටත්, දේශපාලනඥයන්ටත්, සමාජ මාධ්‍ය පරිශීලකයන්ටත් තිබෙන වගකීම වන්නේ චෝදනාව සහ තීන්දුව අතර ඇති වෙනස පැහැදිලිව හඳුනා ගැනීමය.

ඇප ලබා දීම වරද නිදොස් කිරීමක් නොවේ

රවී කරුණානායක මහතාට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කරමින් සහ විදෙස් ගමන් තහනමක් පනවමින් අධිකරණය ඔහු ඇප මත මුදා හැර තිබේ. මෙහිදී තවත් වැදගත් නීතිමය කරුණක් තිබේ. ඇප ලබාදීම යනු සැකකරු නිදොස් බවට අධිකරණය විසින් තීන්දු කිරීමක් නොවේ.

එසේම අත්අඩංගුවට ගැනීමද පුද්ගලයකු වරදකරු බවට පත්වීමක් නොවේ. අත්අඩංගුවට ගැනීම, විමර්ශනය, චෝදනා ඉදිරිපත් කිරීම, ඇප ලබාදීම සහ අවසානයේ වරද ඔප්පු කිරීම යන සියල්ල වෙනස් නීතිමය අදියරයන්ය. ඒ නිසා රවී කරුණානායක මහතා සම්බන්ධයෙන්ද අවසාන තීරණය ලබාදිය යුත්තේ සාක්ෂි සහ නීතිය මත ක්‍රියාත්මක වන අධිකරණ ක්‍රියාවලියයි.

ප්‍රශ්නය ඇත්තේ සේවකයන් බඳවා ගැනීමේ අරමුණ කුමක්ද යන්නයි. කෙසේ වෙතත්, ඇප ලබාදීමෙන් මෙම සිද්ධිය නොසලකා හැරිය යුතු යැයි අදහස් නොවේ. මෙම විමර්ශනය මතු කරන මූලික ප්‍රශ්නය වන්නේ රාජ්‍ය ආයතනයක මුදල් භාවිත කරමින් සේවකයන් බඳවා ගැනීමේදී එම බඳවා ගැනීම් සිදු කළේ කුමන නීතිමය සහ පරිපාලන ක්‍රමවේදයක් යටතේද යන්නයි.

එම සේවකයන් ඇත්ත වශයෙන්ම ලොතරැයි මණ්ඩලයට අදාළ රාජකාරි ඉටු කළේද..? ඔවුන් වෙනත් ආයතන හෝ දේශපාලන කටයුතු සඳහා යොදවා තිබුණේ නම්, ඊට නිල අවසරයක් තිබුණේද..? ඔවුන්ගේ වැටුප් සහ දීමනා ගෙවීමට නීත්‍යනුකූල පදනමක් තිබුණේද..? රජයේ මුදල් භාවිත කිරීමේදී අදාළ මූල්‍ය නීති සහ පරිපාලන ක්‍රමවේද අනුගමනය කර තිබුණේද..?මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරු ලැබිය යුත්තේ දේශපාලන ප්‍රකාශවලින් නොව ලේඛන, සාක්ෂි සහ විධිමත් විමර්ශනයකිනි.

විත්ති පාර්ශ්වයටද සිය කරුණු ඉදිරිපත් කිරීමට අයිතිය තිබේ

අදාළ චෝදනා සම්බන්ධයෙන් රවී කරුණානායක මහතාගේ පාර්ශ්වය වෙනස් පැහැදිලි කිරීමක් ඉදිරිපත් කර තිබේ. ඔවුන්ගේ ස්ථාවරය වන්නේ අදාළ පුද්ගලයන් විශේෂ ව්‍යාපෘති සම්බන්ධීකරණය සඳහා නීත්‍යනුකූල රාමුවක් මත බඳවා ගෙන තිබූ බවත්, ජාතික ලොතරැයි මණ්ඩලය, මුදල් අමාත්‍යාංශය සහ ජනාධිපති ලේකම් කාර්යාලය සමඟ ක්‍රියාත්මක වූ CSR ව්‍යාපෘති සඳහා ඔවුන් යොදවා තිබූ බවත්ය.

එම කරුණු සත්‍යද නැද්ද යන්න තීරණය කිරීමේ වගකීම මාධ්‍යයට හෝ දේශපාලන පක්ෂයකට නොව අදාළ නීතිමය ක්‍රියාවලියට අයත්ය. එබැවින් චෝදනා කරන පාර්ශ්වයේ කරුණු සේම විත්ති පාර්ශ්වයේ කරුණුද ජනතාවට දැන ගැනීමට අවස්ථාව ලබාදීම සාධාරණ මාධ්‍යකරණයේ මූලික අවශ්‍යතාවයකි.

දේශපාලන පළිගැනීමක්ද..? දූෂණ විරෝධී ක්‍රියාවක්ද..?

මෙම සිද්ධිය සමඟ තවත් දේශපාලන ප්‍රශ්නයක්ද මතු වෙයි. මේ පරීක්ෂණය සැබෑ දූෂණ විමර්ශනයක්ද..? නැත හොත් දේශපාලන අරමුණක් සහිත ක්‍රියා මාර්ගයක්ද..? මෙවැනි චෝදනා දේශපාලන පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත් වීම අසාමාන්‍ය දෙයක් නොවේ. එහෙත් කිසියම් විමර්ශනයක් දේශපාලන පළි ගැනීමක් බවට තීරණය කිරීමටත්, එම විමර්ශන දූෂණ විරෝධී අවංක ක්‍රියා මාර්ගයක් බවට තීරණය කිරීමටත් ප්‍රමාණවත් සාක්ෂි අවශ්‍යය.

ඒ නිසා මෙම සිද්ධියේ සැබෑ පරීක්ෂණය වන්නේ රවී කරුණානායක මහතා පමණක් නොවේ. විමර්ශනය සිදු කරන ආයතනවල ස්වාධීනත්වයද පරීක්ෂාවට ලක් වේ. නීතිය සියලු දෙනාට එකසේ ක්‍රියාත්මක වන්නේ නම් එම තත්ත්වය දේශපාලන බලයට වඩා ඉහළින් පවතින ආයතනික පද්ධතියක් පිළිබඳ විශ්වාසය ශක්තිමත් කරනු ඇත.

අද රවී නම්, හෙට වෙනත් දේශපාලනඥයෙකු විය හැකිය

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ අත්අඩංගුවට ගැනීම්, විමර්ශන, චෝදනා සහ නඩු දේශපාලන ගැටුම්වල කොටසක් බවට පත්වූ අවස්ථා බොහෝය. එම ඉතිහාසයෙන් අපට ඉගෙන ගත හැකි වැදගත්ම පාඩමක් වන්නේ නීතිය දේශපාලන ආයුධයක් බවට පත් නොකළ යුතු බවයි.

අද විමර්ශනයට ලක්වන පුද්ගලයා කවුරුන් වුවත්, හෙට එම ක්‍රියාවලියට මුහුණ දීමට සිදු වන්නේ වෙනත් පක්ෂයක නායකයකු විය හැකිය. එබැවින් සාධාරණ නීතිමය ක්‍රියාවලියක් ආරක්ෂා කිරීම යනු කිසියම් පුද්ගලයකු ආරක්ෂා කිරීමක් නොවේ. සියලු පුරවැසියන්ගේ අයිතිය ආරක්ෂා කිරීමකි.

මාධ්‍යයේ කාර්යය වරදකරුවකු තීරණය කිරීම නොවේ

මෙවැනි සිදුවීම් වාර්තා කිරීමේදී මාධ්‍යයට විශේෂ වගකීමක් තිබේ. අත්අඩංගුවට ගැනීමක් සිදුවූ විට එම සිද්ධිය “වරදකරු අත්අඩංගුවට” ලෙස ඉදිරිපත් කිරීමත්, චෝදනාවක් ඉදිරිපත් වූ විට එම සිදු වීම “වරද ඔප්පු විය” යන ආකාරයෙන් වාර්තා කිරීමත් නීතියේ මූලික මූල ධර්මයට පටහැනි විය හැකිය.

විශේෂයෙන් දේශපාලනඥයකු සම්බන්ධ නඩුවකදී මාධ්‍ය වාර්තාවක් ජන මතය කෙරෙහි විශාල බලපෑමක් ඇති කළ හැකිය. එබැවින් නිවැරදි මාධ්‍ය ප්‍රවේශය විය යුත්තේ, චෝදනාව කුමක්ද..? විමර්ශකයන් ඉදිරිපත් කරන සාක්ෂි මොනවාද..? විත්ති පාර්ශ්වයේ ස්ථාවරය කුමක්ද.? අධිකරණය මෙතෙක් තීන්දු කර ඇත්තේ කුමක්ද..? තවමත් තීරණය නොවූ කරුණු මොනවාද..? යන්න ජනතාවට පැහැදිලි කිරීමය.

අවසානයේ තීරණය කළ යුත්තේ සාක්ෂියයි

රවී කරුණානායක මහතාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය ඉදිරියට යනු ඇත. අදාළ චෝදනා සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි තිබේ නම්, නීතිය අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතුය. එසේ නොමැති නම් සැකකරුට සිය නිර්දෝෂීභාවය තහවුරු කර ගැනීමට අවශ්‍ය සාධාරණ අවකාශය ලබාදිය යුතුය.

මෙහිදී වැදගත් වන්නේ පුද්ගලයකු දේශපාලන වශයෙන් අප කැමතිද නැද්ද යන්න නොවේ. වැදගත් වන්නේ නීතියට අප කැමති පුද්ගලයාටත්, අප අකමැති පුද්ගලයාටත් එකම ආකාරයෙන් ක්‍රියාත්මක වීමය. රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් අවසාන තීන්දුව ලබාදිය යුත්තේ සමාජ මාධ්‍යය නොවේ. දේශපාලන වේදිකාවද නොවේ. මාධ්‍යයද නොවේ.

එම තීරණය ගත යුත්තේ, යුත්තේ සාක්ෂි සහ නීතිය මත පදනම් වූ අධිකරණ ක්‍රියාවලියයි. ඒ නිසා මේ මොහොතේ ශ්‍රී ලංකා සමාජය මතක තබා ගත යුතු සරල නමුත් අතිශය වැදගත් මූල ධර්මය වන්නේ, “චෝදනා එල්ල වූ පමණින් සැකකරුවකු වරදකරුවකු නොවේ.” යන්නය.

නමුත් ඒ සමඟම, චෝදනා එල්ල වූ පමණින් ඒවා නොසලකා හැරිය යුතු යැයිද අදහස් නොවේ. විමර්ශනය ස්වාධීනව සිදු කළ යුතුය. සාක්ෂි පරීක්ෂා කළ යුතුය. නීතිය ක්‍රියාත්මක කළ යුතුය. අවසානයේ සත්‍යය තීරණය කළ යුතුය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 5
බෙදාගන්න