අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

චීනුන්ගේ කැළිකසළින් රට ගොඩ ගසයි

චීනුන්ගේ කැළිකසළින් රට ගොඩ ගසයි

කාබනික පොහොර කියා චීන නාගරික කැළිකසළ ගෙන්වයි රටත්-ගොවියාත්-කෘෂිකර්මයත් විනාශයි කාබනික පොහොර ආනයනයට මුවා වී චීනයේ නාගරික කැළිකසළ ගෙන්වා ගොවි ජනයා අතර බෙදා හරිමින් එමගින් මුදල් ගරා ගැනීමේ අවස්ථාව සිය…

කාබනික පොහොර කියා චීන නාගරික  කැළිකසළ ගෙන්වයි

රටත්-ගොවියාත්-කෘෂිකර්මයත් විනාශයි 

චීනුන්ගේ කැළිකසළින් රට ගොඩ ගසයි

කාබනික පොහොර ආනයනයට මුවා වී චීනයේ නාගරික කැළිකසළ ගෙන්වා ගොවි ජනයා අතර බෙදා හරිමින් එමගින් මුදල් ගරා ගැනීමේ අවස්ථාව සිය චෞර වළල්ලේ ජාවාරම්කාර මාෆියාකරුවන්ට ලබා දීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටින්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කර සිටියි.

යූරියා ගසා රටට ගෙන්වන මෙම චීන කැළිකසළ හේතුවෙන් රටත්, ගොවි ජනයාත්, ජාතික කෘෂිකර්මයත් විනාශ වනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අනතුරු අඟවා සිටියි.

දැන්වීම

ජනතා විමුක්ති පෙරමුණු පක්ෂ මූලස්ථානයේ දී ඉරිදා (30) පැවැති මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මේ බව හෙළි කර සිටී විජිත හේරත් මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ ද කීය.     
 
කාබනික පොහොර යෙදීම සම්බන්ධයෙන් කිසිදු විවාදයක් නැහැ. නමුත් කාබනික පොහොර ගොවියාට ලබා දීමේ වැඩ පිළිවෙළක් ඇතිව තමයි රසායනික පොහොර ආනයනය නවත්වන්න ඕනෑ. නමුත් එහෙම වැඩ පිළිවෙළක් නැහැ. අද තේ වගාවත් ලොකු අර්බුදයකට පත් වෙලා. මාලදිවයින වගේ රටවලට එළවළු අපනයන කළ අයගේ නිෂ්පාදන බිඳ වැටීම නිසා ඒ වෙළඳ පොළත් අපිට අහිමි වෙලා. එම වෙළෙඳ පොළ ඉන්දියාව ආක්‍රමණය කරලා තියෙනවා. 

රජය පිළි ගත් කිසිදු ආයතනයක් කාබනික පොහොර පිළිබඳව කිසිදු පරීක්‍ෂණයක් සිදු කර නැහැ. ගොවියා ඔහුට අවශ්‍ය කාබනික පොහොර ගන්නේ කොහෙන්ද..? ජනාධිපතිවරයා කියනවා, කාබනික පොහොර අපේ රටේ නැති නම් ආනයනය කරන්න කියලා. සාමාජිකයන් හතළිස් හය දෙනෙකුගෙන් යුක්තව කාබනික පොහොර කාර්ය සාධන බලකායක් පිහිටුවලා තියෙනවා. විවිධ ක්‍ෂේත්‍රවල ආචාර්ය මහාචාර්යවරුන් සහ විවිධ ක්‍ෂේත්‍රවල වෘත්තිකයන් පවා එම කමිටුවේ ඉන්නවා. ව්‍යාපාරවලට සම්බන්ධ අයත් ඉන්නවා. ඒ අයට අමතරව දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මැතිතුමාත් ඉන්නවා. 

පිට රටින් කාබනික පොහොර ආනයනය කරනවා කියා මේ පොහොර ගෙන එන්න යන්නේ කොහෙන්ද..? චීනයෙන්..! ඒ කියන්නේ මේ සූදානම් වන්නේ චීනයේ නාගරික කසළ අපේ රටට ගෙන්වීමටයි. ඒවා කාබනික පොහොර නෙවෙයි. බැහැර කරන නාගරික කසළවලට යූරියා ගහලා කාබනික පොහොර හැටියට ලෝකයේ බොහෝ රටවලට යවනවා. කාබනික පොහොර ලබා දෙනවා කියා ඊට මුවා වෙලා කොරෝනා අස්සේ තවත් හොර ජාවාරමක් ඇරඹීමට ගන්න යනවා. 

අපේ පරිසරයට සහ පසට උචිත නැති කාබනික පොහොර කියලා වෙනත් රටකින් බැහැර කරන නාගරික කසළවලට යූරියා ගහලා ගෙන්වන මේ දේවල් කොහෙත්ම අනුමත කරන්න බැහැ. ඒ අපරාදය මේ රටේ ගොවි ජනතාවට කරන්න එපා කියලා අපි ආණ්ඩුවට බල කරනවා. රසායනික පොහොරවලින් වන විනාශයට නොදෙවැනි විනාශයක් මේ හේතුවෙන් සිද්ධ වෙනවා. 

තමන්ගේ චෞර වළල්ලේ කට්ටිය දාලා අලුත් බිස්නස් එකක් හදල දෙන්න මාෆියාවකුත් කොරෝනා අස්සේ ක්‍රියාත්මක වෙනවා. කඩිමුඩියේ ඒවාට තීන්දු තීරණ ගන්නවා. කාබනික පොහොර ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන්න. ඒ සඳහා අවශ්‍ය ප්‍රමිතීන් හදන්න. අපේ රටේ ඒ සඳහා මැදිහත්වීමක් ජපානයේ කාබනික පොහොර භාවිතාව ආශ්‍රයෙන් සිදු කර තිබෙනවා. පොහොර ප්‍රශ්නය දඩමීමා කර ගෙන තවත් මාෆියාවකට පාර කපන්න එපා කියලා අපි අවධාරණය කරනවා. පරිසරයට සිදු කර තිබෙන හානිය හොඳටම ඇති. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
චීනුන්ගේ කැළිකසළින් රට ගොඩ ගසයි | Lanka Newsweek