චීනයෙන් උගත යුත්තේ කුමක්ද?
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 7

(මහාචාර්ය රොහාන් සමරජීව) ශ්‍රී ලංකාවේ ප්‍රබුද්ධ යැයි හැඳින්වෙන බොහෝ කතා බහවලින් සිදු වනුයේ පුද්ගලයිනට ලේබල් ඇලවීමකි. කිසියම් සාකච්ඡාවක දී හරය කතා කරනු වෙනුවට කරනු ලබන්නේ කෙනෙක් නව ලිබරල්වාදියකු හෝ…
(මහාචාර්ය රොහාන් සමරජීව)
ශ්‍රී ලංකාවේ ප්‍රබුද්ධ යැයි හැඳින්වෙන බොහෝ කතා බහවලින් සිදු වනුයේ පුද්ගලයිනට ලේබල් ඇලවීමකි. කිසියම් සාකච්ඡාවක දී හරය කතා කරනු වෙනුවට කරනු ලබන්නේ කෙනෙක් නව ලිබරල්වාදියකු හෝ මාක්ස්වාදියකු යයි ලේබල ඇලවීමය.
ලේබල් ගැසීම වූ කලී අන් කිසිවක් කරන්නට ඇති අලස බව නිසා සිදු කරන්නක් වන අතර යම් කරුණක් පිළිබඳව හොඳ වටහා ගැනීමක් ලබා ගන්නට එයින් සිදු වන සෙතක් නැත; ප්‍රතිපත්ති සම්බන්ධව හොඳ විසඳුමක් ලබා ගැනීමට පමණක් නොව තමන්ගේ මතයට සාකච්ඡා කරු එකඟ කරවා ගැනීමේ මාර්ගයට අවතීර්ණ වීමට පවා එමගින් වන සේවයක් නැත.
මා සමග සංවාද විවාදවලට සහභාගී වන අය සමහර විට ලිබරල්වාදියකු ලෙස සහ නව ලිබරල්වාදියකු ලෙස මට ද ලේබල් ගැසීමට පෙළඹෙන බවක් මට පෙනේ. මෙවැනි ව්‍යවහාරයක් හරහා සාකච්ඡාවට ලැබෙන අගය තවමත් මට ප්‍රහේළිකාවකි.අනුන්ට ලේබල් අලවනුයේ, සමහර විට, සාකච්ඡාවට එකතු කරන්නට වැදගත් යමක් නැති වීමේ අඩුපාඩුව වසා ගන්නට විය හැක.
අර්ථ ශූන්‍ය ලේබල් ඇලවීම
වරාය ක්ෂේත්‍රයේ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වයන් ඇති කර ගැනීම පිළිබඳව විරෝධය දක්වන්නට, රටේ යහපත පතන අපේ සමහර විද්වත් කණ්ඩායම් මේ දිනවල අවි අතට ගෙන ඇති බවක් පෙනේ. සිය විරෝධතාවයට ඔවුන් දක්වා සිටින පදනම නම්, ඒ ආකාර වූ ප්‍රතිපත්ති නව ලිබරල්වාදී ප්‍රතිපත්ති බවයි.
මේ ලේබල් ඇලවීමේ ක්‍රියා මාර්ගය ඉතා පහසු එකකි. “චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග්ස්” සමාගම සමග ගිවිසුමකට එළඹෙන බව රජය ප්‍රකාශ කරයි. මෙවැනි ක්‍රියාවන් නව ලිබරල්වාදී වන හෙයින් ඒවා සදොස් වන අතර විරුද්ධ විය යුතුම ය.
ආපසු ගෙවිය යුතු ණය ලබා ගනිමින් ඉදි කරන කරන ඌන-භාවිතයක් ඇති වරාය සම්බන්ධයෙන් ගත හැකි විකල්ප ක්‍රියා මාර්ගයක් ගැන කිසිදු ආකාරයේ පිළිගත හැකි විසඳුමක් මේ විරෝධ-වාදීන් විසින් ඉදිරිපත් කරනු නොලැබේ.
තවදුරටත්, ඉහළ පොළී අනුපාතයන් ගෙවිය යුතු ණය ලබා ගැනීමෙන් තොරව හම්බන්තොට ලාභදායී වරායක් බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය අතිරේක ප්‍රාග්ධනය සොයා ගන්නේ කෙසේ ද යන්නට ද විකල්පයක් ගෙන හැර පෑමක් ද නැත.
ඉහත කී කරුණු සම්බන්ධයෙන් විකල්ප ඉදිරිපත් කරන ලෙස බල කර සිටිය හොත් ලේබල් අලවන්නන් පවසනු ඇත්තේ වරාය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කළමනාකරනය කළ යුතු බවයි. අවශ්‍ය නම් කෙටි කාලීන බද්දක් යටතේ පර්යන්තයක් පෞද්ගලික සමාගමකට බදු දිය හැකිව තිබුණු බවයි.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය පිහිටු වනු ලැබූ 1979 සමයේ දී එය සැලකිය යුතු නව නිර්මාණක් විය. දකුණු ආසියානු කලාපයේ වඩාත්ම කාර්යක්ෂම වරාය බවට කොළඹ වරාය පත් කිරීම සඳහා අධිකාරිය දායකත්වයක් ලබා දුන් බව ද සත්‍යයකි.
එහෙත්, 1980 දශකයේ දී සාර්ථක වූ පමණින්, කිසියම් දෙයක්, වර්තමානයේදී ද ඒ අයුරින්ම සාර්ථක වනු ඇතැයි සිතීම ඥානවන්ත නොවේ. අප වටා ලෝකය බොහෝ සෙයින් පරිණාමය වී ඇති හෙයින් ඊට අනුකූල වන සේ අපේ ප්‍රතිපත්තිමය විසඳුම් ද වෙනස් විය යුතුය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ නායකත්වය සහ තිලාන් විජේසිංහ වැනි පුද්ගලයින් විසින් දරන ලද ප්‍රයත්නයන් නොවන්නට, අනුවර්තනය වීමේ හැකියාවෙන් තොරව තිබූ ශ්‍රී ලංකා වරාය අධිකාරිය, කොළඹ වරාය එවකට හිමි කර ගෙන තිබූ වරාය කේන්ද්‍ර තත්ත්වය අහිමි වන තැනට වැඩ සිද්ධ කරන්නට ඉඩ තිබිණි.
“සවුත් ඒසියා ගේට්වේ ටර්මිනල්” (SAGT) සහ “කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල්” (CICT) ආයතනවලින් ලැබෙන ආදායම් අද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජීවනාලිය වී තිබේ.
2010 වර්ෂයේ සිටම හම්බන්තොට වරාය භාරව කටයුතු කළ ද එය ලාභදායී බවට පෙරළන්නට ශ්‍රී ලංකා වරාය අධිකාරිය අසමත් වූ බව අලුතින් කිය යුතු නැත. එහෙත්, ගැඹුරු දිය දකුණු වරාය ඉදිකිරීම සහ බහලුම් මෙහෙයුම්කරුවන් තිදෙනා අතර තරඟකාරිත්වය හේතුවෙන් කොළඹ වරාය සමෘද්ධිමත්ව පවතී.
2014 වර්ෂයේ දී මිලියන 4.907 ක් වූ කොළඹ වරායෙන් මෙහෙයවන ලද අඩි 20 බහාලුම්වලට සමාන ඒකක (TEU) සංඛ්‍යාව 2015 වන විට මිලියන 5.18 ක් දක්වා ඉහළ නැංවිණි. මේ වර්ෂ දෙක අතර වරාය අධිකාරියේ පර්යන්තවලින් මෙහෙයවූ ඒකක සංඛ්‍යාව මිලියන 2.25 දක්වා ද “ඒෂියන් ගේට්වේ” පර්යන්තයෙන් මෙහෙය වූ සංඛ්‍යාව මිලියන 1.37 දක්වා ද පහත වැටුණු නමුත් සමස්ත සංඛ්‍යාව ඉහළ නැංවුණේ “කලම්බු ඉන්ටර්නැෂනල්” පර්යන්තය, ඒකක මිලියන 1.56 ක් හැසිර වූ හෙයිනි.
ඉන්දියාවේ අපනයන වෙළඳාම, 2015 වසරේ දැඩි පසුබෑමක් වාර්තා කළ ද පසුගිය වසරවල එවන් අවස්ථාවල දී සිදු වූ අයුරින් කොළඹින් මෙහෙයවනු ලැබූ ඒකක සංඛ්‍යාවෙහි අඩුවීමක් වාර්තා නොවිණි.
හම්බන්තොට වරායේ අත්‍යවශ්‍ය දියුණු කිරීම් සඳහා අවශ්‍ය වන මුදල පිළිබඳ ප්‍රශ්නය අමතක කර බැලුව ද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පසුගිය කාර්ය සාධනය සහ ලෝක නැව් ගත කිරීම් වෙළඳ පොළේ සිදුවී ඇති පරිවර්තනයන් යන දෙක සලකා බලන විට, හම්බන්තොට සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කිරීමට අධිකාරිය සමත්වේ යැයි කිසිසේත් නිගමනය කළ නොහැක.
මේ කටයුත්ත වරාය අධිකාරියට කළ නොහැකි නම් විකල්පය, “ඒෂියන් ගේට්වේ” වැනි දේශීය ආයතනයක් වෙත හෝ “කලම්බු ඉන්ටර්නැෂනල්” වැනි විදේශීය පෞද්ගලික ආයතනයක් වෙත පැවරීමයි. මෙවැනි නිගමනයක් නව ලිබරල්වාදී යැයි ලේබල් ගසා ප්‍රතික්ෂේප කළ යුතු ද?
අප ඉදිරියේ ඇති ගැටලු නිරාකරණය කර ගැනීමේදී, “කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල්” සමාගම සමග 2013 දී එක් දේශපාලන තන්ත්‍රයක් විසින් ද “චයිනා මර්චන්ට්” සමාගම සමග තවත් දේශපාලන තන්ත්‍රයක් විසින් ද එළඹුණු විසඳුමට සමාන තීරණයකට එළැඹීම පිණිස සාක්ෂි පදනම් කර ගත් තර්කානුකූල ක්‍රමවේදයක් අනුගමනය කිරීම වඩා හොඳ නොවන්නේ ද ?
මේ අවස්ථාවේ දී ලේබල් ඇලවීමෙන් ලබා ගත හැකි දෙයක් නැත. ඇසිය යුතු එකම ප්‍රශ්නය වන්නේ එම අවස්ථාවේ දී පවතින අනෙකුත් විකල්පයන් සමග සැසඳීමේ දී දිය හැකි වඩාත්ම යෝග්‍ය විසඳුම කුමක් ද යන්න ය. වෙනත් වචනවලින් කිව හොත් අප අනුගමනය කළ යුත්තේ “ඩෙන්ග් ෂියාඕ පින්ග්” ගේ භාෂිතයයි. එනම්, මීයන් අල්ලන්නට හැකි නම් බළලා සුදු වුවත් කළු වුවත් ගැටලුවක් නැත යන්නය.
ලේබල් ඇලවීමේ කුසීත මාර්ගයෙන් වැළකී සිටින්නට නම්, පවතින විකල්පයන්ගේ සාපේක්ෂ වාසි සැබවින්ම තක්සේරු කර බැලීම වැනි කටයුතු රැසක් කිරීමට අප පෙළඹිය යුතු ය. කිසියම් විසඳුමක් තෝරා ගැනීමෙන් පසුව ඊටත් වඩා වැඩි කටයුතු ප්‍රමාණයක් කළ යුතු වනු ඇත.
ආණ්ඩුවේ සහ පෞද්ගලික සමාගමේ කාර්යභාරයන් අර්ථකතනය කරමින් නීතිමය ලියැවිලි නිවැරදිව කෙටුම්පත් කර ගැනීම සහ අවශ්‍ය නියාමන සහ බලාත්මක කිරීමේ යාන්ත්‍රණයන් සකස් කිරීම වැනි දේ මේ කටයුතු අතර වේ.
මෙම කටයුතුවල දී ද ජාතිකවාදී ස්ථාවරයක හේතුවෙන් විදේශ උපදේශකයින්ගේ සහාය ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම, අප බලාපොරොත්තු වන ප්‍රතිඵලයට හාත්පසින්ම වෙනස් ප්‍රතිඵල ලබා දීමට හේතු වනු ඇත.
සිදු කිරීමට ඇති කටයුත්තට අනුව, අධික යයි පෙනෙන ගාස්තුවක් ගෙවා හෝ විශේෂඥයින්ගේ සේවය ලබා ගැනීමෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට මුදල් ඉතිරි කර ගත හැකි වේ. සලකා බැලිය යුත්තේ තාක්ෂණික විශේෂඥ දැනුම ලබා ගැනීම පිණිස ගෙවන මුදල නොව එවැනි ගනුදෙනුවකින් අප ලබා ගන්නා වටිනාකම පිළිබඳව ය.
මත්තල ගුවන් තොටුපොළ පිළිබඳව ශක්‍යතා අධ්‍යයනයක් කිරීම සඳහා පසුගිය ආණ්ඩුව ගෙවූ මුදල රුපියල් මිලියනයකි. වැදගැම්මකට ඇති ශක්‍යතා අධ්‍යයනයක් වෙනුවෙන් විදේශීය විශේෂඥයකු එම මුදල මෙන් සිය ගුණයක් පමණ අය කරනු ඇති බව සත්‍යයකි. එහෙත්, හරිහැටි සැලසුම් නොකළ ගුවන් තොටුපොළ විසින් ලබන පාඩු සහ අනාගතයේදී ද දිගින් දිගටම ලැබීමට ඉඩ ඇති පාඩු සමග සසඳන විට ශක්‍යතා අධ්‍යයනයෙන් ඉතිරි කර ගත් මිලියන ගණනක මුදල නොතකා හැරිය යුතු තරම් සුළු බවට පත් වේ.
ඩෙන් ෂියාඕ පින්ග් සිතූ දේ නිවැරදි ද?
වෙළඳාම නිදහස්කරණය කිරීම නව ලිබරල්වාදී නිසා එය මේ රටට අනුචිත බව බොහෝ ශ්‍රී ලාංකික විද්වතුන්ගේ අදහසයි. ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් නගරයේදී චීන නායක ඩෙන් ෂියාඕ ජින්පින්ග් වෙළෙඳාම නිදහස්කරණය ගැන පසුගියදා පැවසූ කරුණු මඳක් විමසා බලමු.
“ආර්ථික ගෝලීයකරණය පිළිබඳව සැක කළ සහ ලෝක වෙළඳ සංවිධානය සමග එක් විය යුතු ද නැද්ද යන්න ගැන අවිශ්වාසයෙන් පසු වූ කාලයක් චීනයට ද තිබිනි. නමුත්, ගෝලීය ආර්ථිකය සමග ඒකාබද්ධවීම ඓතිහාසිකවම සිදු වන්නක් ය යන නිගමනවලට එළඹෙන්නට අපට හැකි විය. සිය ආර්ථිකය වර්ධනය කර ගැනීම පිණිස ගෝලීය වෙළඳපොළ නමැති මහා සාගරයේ පිහිනීම සඳහා අවශ්‍ය ධෛර්යය චීනයට තිබිය යුතු ය. කුණාටුවලට මුහුණ දෙමින් නව ලෝකය සොයා යාමේ කාර්යයේ දී සෑම විටම බිය සුළු කෙනෙකු වේ නම් ඔහු කොයි අවස්ථාවක හෝ සාගරයේ ගිලී යනු ඇත. එහෙයින්, චීනය, ගෝලීය වෙළඳපොළ වැළඳ ගැනීමේ පියවර නොබියව ඉදිරියට තැබීය. අප දියේ ගිලෙන්නට ගිය අවස්ථා මෙන්ම දිය සුළිවලට සහ රළු රළවලට අසුවූ අවස්ථාව ද තිබුනි. නමුත්, ඒ ක්‍රියාවලිය තුළ අපි පිහිනන්නට උගත්තෙමු. එය, නිවැරදි උපායමාර්ගික තෝරා ගැනීම බව දැන් ඔප්පු වී තිබේ.”
මේ නව ලිබරල්වාදී යැයි ලේබල් අලවන්නන් හඳුන්වන ප්‍රතිපත්ති යොදා ගනිමින් සිය රට අත්පත් කර ගත් ජයග්‍රහණ පිළිබඳව ඔහු විස්තර කරන්නේ මෙලෙසය.
“ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමෙන් සහ වෙළඳපොළ විවෘත කිරීමෙන් පසු අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.7 ක ට වැඩි විදේශ ආයෝජනයන් ආකර්ෂණය කර ගන්නට චීනයට හැකි වූ අතර අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.3 ක් වෙනත් රටවල ඍජුව ආයෝජනය කරමින් ගෝලීය ආර්ථික සංවර්ධනයට සුවිශාල දායකත්වයක් ලබා දෙන්නට ද හැකි විය. ගෝලීය ආර්ථික අර්බුදයෙන් අනතුරුව වසර ගණනාවත් තිස්සේ ගෝලීය ආර්ථික වර්ධනයට චීනය ලබා දුන් දායකත්වය දළ වශයෙන් සියයට 30 කි...
චීනයේ සංවර්ධනය සෙසු ලෝකයට අවස්ථාවක් සපයා දෙයි; ආර්ථික ගෝලීයකරණයෙන් චීනය ප්‍රතිලාභ ලැබුවා පමණක් නොව එයට දායකත්වයක් ද ලබා දීමට සමත් විය. චීනයේ සීඝ්‍ර ආර්ථික වර්ධනය, සෙසු ලෝකය ආර්ථික ස්ථාවරත්වය සහ පුළුල්වීම කරා ගෙන යන තිරසාර වූත් බලවත් වූත් ධාවකයකි. චීනයේ සහ තවත් රටවල් රැසක එකිනෙක හා බැඳී සිදු වන ආර්ථික වර්ධනය, ලෝක ආර්ථිකය තුලනාත්මක තත්ත්වයක් කරා ගෙන එන්නට සමත් වී ඇත.
දරිද්‍රතාවය අඩු කිරීම අතින් චීනය ලබා ඇති ජයග්‍රහණ, සියලු දෙනාම ඇතුළත් වන ගෝලීය සංවර්ධනයකට දායක වී තිබේ. දිගින් දිගටම ආර්ථික ප්‍රතිසංස්කරණයන් හඳුන්වා දීමට සහ ආර්ථිකය විවෘත කිරීමට චීනය කරන කටයුතු, ගෝලීය විවෘත ආර්ථිකයක් සඳහා නව ගැම්මක් සපයා ඇත.”
මෙයින් පෙනී යනුයේ ඩෙන්ග් ෂියාඕ පින්ග් ගේ ආර්ථික ප්‍රතිපත්ති සැබවින්ම ප්‍රතිඵල ලබා දී ඇති බවයි. බළලා විසින් මීයා අල්ලා තිබේ. ලේබල් අලවමින් කාලය ගත කරන්නන් විසින් ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරන රාජ්‍ය-කේන්ද්‍රීය ප්‍රතිපත්තිවලට වඩා චීනය අනුගමනය කරන සහ අපද අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති ඉඳුරාම වෙනස් බව වටහා ගැනීම වටී.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 7

