අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගෝඨාගේ ජනපති මෙහෙයුම බදුල්ලෙන් ඇරඹෙයි..!

ගෝඨාගේ ජනපති මෙහෙයුම බදුල්ලෙන් ඇරඹෙයි..!

චීන උපාධියක් එක්ක යළි දිවයිනට..! “shangri la”හෝටලයෙන් වැඩ අරඹයි..! මහින්ද දෙලොවක් අතර-බැසිලුත් පසු නොබසී..? විමල්-උදය සටන අතට ගනී..! (සුජිත් මංගල ද සිල්වා) සියලු විරුද්ධවාදී බලවේග පරාජයට පත් කරමින්,…

චීන උපාධියක් එක්ක යළි දිවයිනට..!

“shangri la”හෝටලයෙන් වැඩ අරඹයි..!

මහින්ද දෙලොවක් අතර-බැසිලුත් පසු නොබසී..?

විමල්-උදය සටන අතට ගනී..!

ගෝඨාගේ ජනපති මෙහෙයුම බදුල්ලෙන් ඇරඹෙයි..!

 (සුජිත් මංගල ද සිල්වා)

 සියලු විරුද්ධවාදී බලවේග පරාජයට පත් කරමින්, ඒකාබද්ධ විපක්ෂය ප්‍රධාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යුතු බවට බල කෙරෙන  ජාතික ව්‍යාපාරයක් රට පුරා ක්‍රියාත්මක කිරීමට රට ගොඩනැගීමේ ජාතික එකමුතුව කටයුතු යොදා තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා නායකත්වය ලබා දෙන “වියත් මඟ” සංවිධානය,විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණ සහ උදය ප්‍රභාත් ගම්මන්පිල මහතාගේ නායකත්වයෙන් යුතු පිවිතුරු හෙළ උරුමය ඇතුළු සංවිධාන රැසකක් එකට ඒකාබද්ධව ගොඩනගා ඇති මෙම  රට ගොඩනැගීමේ ජාතික එකමුතුව මගින් ක්‍රියාත්මක කෙරෙන එම  ජාතික ව්‍යාපාරයේ පළමු රැස්වීම මේ මස 20 වැනිදා බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වටා මෙසේ රට පුරා ජනතාව එකට ඒකරාශී කිරීමට රට ගොඩනැගීමේ ජාතික එකමුතුව තීරණය කර තිබෙන්නේ, 2020 ජනාධිපත් අපේක්ෂකයා සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අභ්‍යන්තරයේ මේ වන විට උද්ගත වී තිබෙන උග්‍ර අර්බුදකාරී තත්ත්වය මතය.

මේ අර්බුදකාරී තත්ත්වය ඇතිවී තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස  ඉදිරිපත් කරනවාට බැසිල් රාජපක්ෂ පාර්ශවයේ පවතින විරෝධය සහ බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කරනවාට ගෝඨාභය රාජපක්ෂ පාර්ශවයේ පවතින විරෝධය වගේම  2020 ජනාධිපතිවරණය සඳහා ව්‍යවස්ථානුකුලව  මහින්ද රාජපක්ෂ මහතාට තරඟ කළ නොහැකි තත්ත්වයක් තිබීම නිසාය.

යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් නොකළ හොත් සහ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එසේම තිබියදී විධායක ජනාධිපති ක්‍රමය පමණක් අහෝසි කිරීමේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඒකාබද්ධ විපක්ෂය සහය දුන්නොත් ඊට එරෙහිව දැඩි දේශපාලන තීරණයක් ගැනීමට ජාතික නිදහස් පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය ඇතුළු ගෝඨාභය රාජපක්ෂ පාර්ශවය තීරණය කර තිබේ.

මේ අතර බැසිල් රාජපක්ෂ පාර්ශවයේ ස්ථාවරය වී තිබෙන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයකට යළි ඉදිරිපත්වීමට නොහැකි නිසා  20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මතවීමට ඉඩ හැර අගමැති ධූරය සඳහා තරග කිරීමේ අවස්ථාව ඔහුට උදාකර දිය යුතු බවය.

ඒකාබද්ධ විපක්ෂය ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ උද්ගත වී තිබෙන මේ අර්බුදකාරී තත්ත්වය හමුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැඩි අසීරුතාවයකට පත්ව සිටින අතර මේ ප්‍රශ්නය “රාජපක්ෂ පවුලේ” අභ්‍යන්තර අර්බුදයක් දක්වා උඩු දුවා ඇතැයි දේශපාලන බුද්ධි තොරතුරු පෙන්වා දෙයි.

මේ අතර වැඩි දුර අධ්‍යාපන කටයුතු සඳහා චීනයේ “Hunan International Economics University” විශ්ව විද්‍යාලයට ඇතුළුව රාජ්‍ය ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳව විශේෂ උපාධි පාඨමාලාවක් හදාරමින්  සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අධ්‍යන කටයුතු අවසන් කර මේ සතියේදී දිවයිනට යළි පැමිණීමට නියමිතය.

ඒ අනුව “වියත් මඟ” සංවිධානයේ වාර්ෂික මහ සමුළුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 13 වැනිදා කොළඹ “shangrila” හෝටලයේදී උත්සවාකාරයෙන් යුතුව පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඊට සමගාමීව ගෝඨාභය රාජපක්ෂ මහතා ද රට පුරා ගොස් ජනතාව හමුවී රට යළි ගොඩනැගිය හැක්කේ කෙසේ ද යන්න පිළිබඳව සහ වර්තමානයේ රටේ උද්ගත වී තිබෙන තත්ත්වය පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමට නියමිතය.

ගෝඨාගේ ජනපති මෙහෙයුම බදුල්ලෙන් ඇරඹෙයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
ගෝඨාගේ ජනපති මෙහෙයුම බදුල්ලෙන් ඇරඹෙයි..! | Lanka Newsweek