ගුවන් හමුදාවට තුති පිදූ ධීවරයින් තිදෙනා..!

(ජයකාන්ත ලියනගේ - බළපිටිය) බළපිටිය, හරස්පල ධීවර වරායෙන් රස්සාවේ ගිය ධීවර යාත්‍රාවක ධීවර කටයුතු වල යෙදී සිටියදි ආපදාවට පත් ධීවරයින් තිදෙනෙක් ශ්‍රි ලංකා ගුවන් හමුදාව නිරුපද්‍රිතව බේරා ගෙන බළපිටිය මූලික…
(ජයකාන්ත ලියනගේ - බළපිටිය)
බළපිටිය, හරස්පල ධීවර වරායෙන් රස්සාවේ ගිය ධීවර යාත්‍රාවක ධීවර කටයුතු වල යෙදී සිටියදි ආපදාවට පත් ධීවරයින් තිදෙනෙක් ශ්‍රි ලංකා ගුවන් හමුදාව නිරුපද්‍රිතව බේරා ගෙන බළපිටිය මූලික රෝහලට ඇතුලත් කළේ සිකුරාදා (30) සවසය.
නො 9/සී, අඹගහපිටිය පංසල පාර, පාතේගම, බලපිටිය ලිපිනයේ පදිංචි මැදදුවගේ ජානක (47) හරස්පල, බලපිටිය පදිංචි අප්පුවාදුර සුමිත් රංගන (50) සහ හරස්පල, බලපිටිය පදිංචි ලහිරු සම්පත් මෙන්ඩිස් (34) යන ධිවරයින් තිදෙනා මෙසේ බේරාගෙන රෝහල් ගතකර තිබුණි.
අපි, බ්‍රහස්පතින්දා (29) සවස ගිහින් දැල් දැම්මා. දියඹේ ගල් වටකරල දැල් දාල, ගල්මාළු, පරව් අල්ලන්න පුළුවන්. සිකුරාදා (30) උදේ ගියේ දැල් එකතු කරල, දැලට අහුවෙලා ඉන්න මාළු ටික අරන් එන්නයි. ආපදාවට පත් බෝට්ටුවේ ස්පීකර් (බෝට්ටුව පදවන්නා) එසේ ප්‍රකාශ කරමින් කතාව ආරම්භ කළේය. ආපදාවට පත් මෙම බෝට්ටුවේ ස්පීකර ලෙස කටයුතු කළේ අඹගහපිටිය පන්සල පාර, බළපිටිය ලිපිනයේ පදිංචිව සිටින මැදදුවගේ ජානක (47) මහතාය.
දැන්වීම
දැල බෝට්ටුවට අරන්, එන්න හදන විට බෝට්ටුවේ එන්ජිම නතර වුණා. අපි දැල බෝට්ටුවට ගත්තේ එන්ජිම ස්ටාර්ට් කර ගෙනයි. එවිට බෝට්ටුව කෙලින් තියා ගන්න පුළුවන්. නැතිනම් සුලං වැඩි වෙලාවට බෝට්ටුව පෙරලිලා ඇතුලට වතුර දාන්න ගන්නවා. එන්න හදන විට එන්ජිම නැවතුනා. කොපමණ උත්සාහ කලත් එන්ජිම ස්ටාර්ට් වුණේ නැහැ. පස්සේ බෝට්ටුවේ තිබෙන ගල මුහුදට දාල බෝට්ටුව ගැටගහගෙන හිටියා. අපි ගලක් අරන් යන්නේ එන්ජිම ස්ටාර්ට් නැති වුණාම, බෝට්ටුව සුලගට පා වෙලා යන එක වලක්ව ගන්න ගැටලහල තියන්නයි.
එන්ජිම නතර වුණාම ගෙදර මතක් වුණා. අපි හිටියෝ කිලෝ මීටර් දෙකක් විතර දියඹට වෙන්න. මගේ දරුවෝ දෙන්නෙක් විවාහ වෙලා, අනික් දෙන්නා ස්කෝලේ යනවා. ජීවත් වෙන්න පුළුවන් වෙයිද? කියල හිතුණා. තවත් එක එක දේවල් හිතුණා. නෝනා දරුවෝ බලා ගන්න විදියත් හිතුණා. නමුත් අපි නොහිතපු විදියට ගුවන් හමුදාව අපි බේරා ගත්තා. ‘වෙන රස්සාවක් කරගෙන ඉදිමු, කියල මම මහත්තයට කියල තිබෙනවා, යනුවෙන් ජානකගේ බිරිද වන විජේමුණි රෝහිණී ද සිල්වා (45) ප්‍රකාශ කළේය’ දැන් වසර 20 ක් මෙයා, මෙයා මේ රස්සාව කරනවා යැයිද විජේමුණි මහත්මිය ප්‍රකාශ කළාය.
බලපිටිය පදිංචි අප්පුවාදුර සුමිත් රංගන (50) සහ ලහිරු සම්පත් මෙන්ඩිස් (34) මේ බෝට්ටුවේ ගිය අනික් ධිවරයින් දෙදෙනාය. මුලින්ම මා ගියේ සුමිත් රංගනගේ නිවසටය. එහි යන විටත් ඔහු සිය බිරිද සමග සිද්ධිය මම්බන්ධයෙන් කතා කරමින් සිටියේය. ඔහුගේ නිවසට පැමිණි යහළුවන් කිහිප දෙනෙක්ද සතුටු සාමීචියේ යෙදී සිටියේය. ‘මරණ බිය දැනුණා මහත්තයෝ’ රංගන, කතාව ආරම්භ කළේ එසේ කියමිණි. බ්‍රහස්පතන්දා (29) දැල් දාන්න ගියෙත් අපි තුන් දෙනාමයි. එදා හොදට වලාලේ තිබුණා. (මුහුද සැර නැතුව තිබීම හදුන්වන්නේ වලාලේ යනුවෙනි) නැත්නම් අපි දැල් දාන්න යන්නේ නැහැ. සිකුරාදා (30) උදේ මුහුද ටිකක් සැරට තිබුණා. ටික වේලාවක් බලලයි, අපි මුහුදු ගියේ. අපි දැල් බෝට්ටුවට අරන් එන්න ලෑස්ති වෙන විටයි, එන්ජිම නැවතුණේ. මම වසර 25 ක් විතර ධීවර රස්සාවේ යනවා.
සවස 1.00 ට විතර අපි බේරා ගන්නා විට අපිට සතුටු කදුළු ආවා. ගුවන් හමුදාවේ මහත්වරු අපිට මොකුත්ම කිව්වේ නැහැ. ඉතා හොදින් කතා කරල අපිව ගත්තා. රෝහලට ඇතුල් කරන විට 2 විතර වුණා. අපි පැය 02 ක් පමණ එන්ජිම නැවතිලා මුහුදේ හිටියා. අපි ඉස්පිරිතාලේට ගේන විට අපිට සියළු පහසුකම් සකස් කරල තිබුණා. කාර්යය මණ්ඩලය ඉතා හොදින් ඒ සදහා සූදානම් වෙලා හිටියා. අම්බලන්ගොඩ පොලිස් ක්‍රීඩාංගණයට හෙලිකොප්ටරය බස්සන විටත් ඇම්බියුලන්ස්, ප්‍රථමාධාර සියල්ල සූදානම් කර තිබුණා. අපේ සහෝදර ජනතාව, ආරක්ෂක හමුදා, පොලීසිය, රෝහල් කාර්යය මණ්ඩලය ගැන ඒ වෙලාවේ ඇතිවුණ සතුට කියා නිම කරන්න බැහැ. අපිත් අපේ ජිවිත කාලයේ අනුන්ට උදව් කරන්න ඕනෑ කියන අදහස හොදින්ම ඇති වුණා. මට ඉන්නේ දුවලම තුන් දෙනෙක්. එක් අයෙක් රස්සාවක් කරනවා. දෙවැනි දුව පාඨමාලාවක් හදාරණවා. තුන්වැනි දුව තවම ඉස්කෝලේ යනවා. බිරිදටත් රැකියාවක් නැහැ. මට මොනවා හරි වුණානම්, මේ අය අනාතයි, නේද? රංගන හැගුම්බරව ප්‍රකාශ කළේය.
ලහිරු සම්පත් මෙන්ඩිස් (34) හමුවන විට ඔහු සිටියේ සිය මිතුරෙකු සමග කතා බහ කරමින්ය. ඔහුගේ බිරිද සහ දෙහැවිරිදි දරුවා සිය මව බලන්නට ගාල්ල, කරාපිටිය රෝහලට ගොස්ය. තමා රස්සාවේ ගිය බෝට්ටුව ආපදාවට ලක් වීම හේතුවෙන් සිය මව සිත්තැවුලට පත්ව සිට ඇති බවත් ඒ හේතුවෙන් ඇයට හෘදයාබාදයක් ඇති වී කරාපිටිය රෝහලට ඇතුලත් කල බවත් ලහිරු ඉතා දුක්මුසුව කීවේය. සිය මව මේ වන විට කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද කීවේය.
‘මට මුහුදු රස්සාවේ යන්න එපා කියල හැමදාම අම්මා, පවුලේ අය කියනවා’ මම බළපිටිය රේවත ජාතික පාසැලේ අපොස උසස් පෙළ හදාරල ඒ සාමාර්ථ දෙකක් සහ බී සාමාර්ථයක් ලබාගෙන තිබෙනවා. කලා විෂය ධාරාවෙන් නිසා විශ්ව විද්‍යාලයට යන්න ලැබුණේ නැහැ. පස්සේ පෞද්ගලික ආයතන දෙකක රස්සාව කළා. මුහුදු යන්න පටන් අරන් වසර 03 ක් පමණ වෙනවා. අපි දැල් පීස් 11 ක් ගැටගහල දැම්මා. දැල ගනිද්දි දැල ගලක පැටළුණා. පස්සේ අපි බෝට්ටුවේ එන්ජිම ස්ටාර්ට් එකේම තියාගෙන දැල කපල බෝට්ටුවට ගත්තා. ආපසු එන්න හදන විටයි, එන්ජිම නැවතුනේ යැයිද ඔහු ප්‍රකාශ කළේය.
සිකුරාදා (30) රස්සාවේ ගිය බෝට්ටුවේ අයිතිකරු වන්නේ හරස්පල, බළපිටිය ලිපිනයේ පදිංචි මහදුර ලාලනීය (53). ඇය සිය අසනීප තත්ත්වයෙන් පෙලෙන දුව රැකබලා ගන්නේ මෙම බෝට්ටුවෙවන් ලැබෙන ආදායමෙන් බව කියයි.
බෝට්ටුව රුපියල් ලක්ෂ දෙකක් පමණ වෙනවා. එන්ජිම ලක්ෂ 1 ½ යි. දැල් ටික එක් ලක්ෂ අසූ දාහක් වෙනවා. මේවා ගන්න ලැබුණේ නැහැ. බෝට්ටුව ගිලිලා කියල ආරංචියි. දැන් අපිට ජීවත් වෙන්න විදියක් නැතුව යනවා යනුවෙන් ඇය ප්‍රකාශ කළාය. කොහොම වුණත් ධීවරයින් තුන් දෙනාට කරදරයක් නොවී බේරා ගන්න ලැබුණ එක කොච්චර දෙයක්ද යනුවෙන්ද? ඇය විමසා සිටියාය.
බළපිටිය, හරස්පල ධීවර වරායෙන් රස්සාවේ ගිය බෝට්ටු 04 කින් 03 ක් නැවත ගොඩබිමට පැමිණ තිබෙන බවත් අනික් ධීවර යාත්‍රාව ආපදා තත්ත්වයක් හෝ වෙනයම් හේතුවක් නිසාවෙන් ගොඩබිමට නොපැමිණ තිබෙන බවත් එම ධීවර යාත්‍රාවේ ධීවරයින්ගේ ඥාතීන් 30 දින පෙරවරුවේ අහුන්ගල්ල පොලීසියට පැමිණිලි කර තිබේ. මේ සම්බන්ධයෙන් අහුන්ගල්ල පොලීසිය නාවික හමුදාව දැනුවත්කර ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයින් මුදාගැනීමට උත්සාහ කලද සිකුරාදා (30) දිනයේ මුහුදේ පැවති දැඩි රළු ස්වභාවය හේතුවෙන් නාවික හුමුදාවට යාත්‍රා මගින් මෙම ස්ථානයට ලගාවීමට අපහසු බවට දැනුම්දී ඇත.
ආපදාවට පත් ධීවර යාත්‍රාව කාර්මික දෝශයකට හෝ වෙනත් අපදාවකට ලක්ව අම්බලන්ගොඩ පොලිස් වසමේ රන්දොඹේ ප්‍රදේශයෙන් කිලෝ මීටර් 02 පමණ දුරින් තිබෙන බවටද නාවික හමුදාව නිරීක්ෂනය කර ගෙන තිබේ.
පසුව මේ සම්බන්ධයෙන් ගුවන් හමුදාව දැනුවත් කිරීමෙන් පසු ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයක් යොදා ගනිමින් මෙම ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයින් තිදෙනා බේරාගෙන අම්බලන්ගොඩ පොලිස් ක්‍රීඩාංගනය වෙත රැගෙනවිත් 1990 ගිලන්රථය මගින් එම ධීවරයින් තිදෙනා ප්‍රථිකාර සදහා බලපිටිය රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර තිබුණි.
ආරක්ෂක ලේකම්වරයාගේ මැදිහත්වීම මත රත්මලාන හමුදා කඳවුරේ හතරවෙනි බලඝනයේ ගුවන් හමුදා නිලධාරීන් වන ෆ්ලයි ලුතිනන් එරංග ඒකනායක, කෝප්‍රල් ප්‍රභාත් කුමාර, ස්කොඩ්‍රන් ලීඩර් ඉෂාන් සිල්වා, කෝප්‍රල් ලසන්ත කුමාර, ස්කොඩ්‍රන් ලීඩර් සම්පත් රත්නායක, සාජන් කුමාර ද සිල්වා යන නිලධාරීන් බෙල් 412 හෙලිකොප්ටරය යොදාගෙන මෙම මෙහෙයුම දියත් කර තිබේ.