ගිනි අවි සමග දකුණේ පාතාලයින් 3ක් මාට්ටු

( ජයකාන්ත ලියනගේ) මෙරට හා විදේශීය රටක නිශ්පාදිත ගිනිඅවි 03 ක් හා ජීව අත් බෝම්බ 02 ක් සන්තකයේ තබා ගෙන සිටියදී පොලිස් මූලස්ථානයේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නොවිසදුන අපරාධ විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට…
( ජයකාන්ත ලියනගේ)
මෙරට හා විදේශීය රටක නිශ්පාදිත ගිනිඅවි 03 ක් හා ජීව අත් බෝම්බ 02 ක් සන්තකයේ තබා ගෙන සිටියදී පොලිස් මූලස්ථානයේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නොවිසදුන අපරාධ විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් තිදෙනාගෙන් පළමු හා දෙවන සැකකරුවන් මේ මස 26 වන දින දක්වාත් තෙවන සැකකරු අද (22) දින දක්වාත් පොලීසිය භාරයේ තබා ගෙන විමර්ශන කටයුතු සිදුකිරීමට බළපිටිය මහේස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙනවිය රැදවුම් නියෝග ලබා දුන්නාය.
මෙයින් පළමු හා දෙවන සැකකරුවන් අහුන්ගල්ල පොලීසිය භාරයේත් තෙවන සැකකරු මීටියාගොඩ පොලීසිය භාරයේත් තබාගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරන බව මීටියාගොඩ පොලීසියේ ප‍්‍රකාශකයෙක් සදහන් කළේය.
දැන්වීම
මෙසේ 26 වන දින දක්වා රැදවුම් නියෝග ලබාදෙන ලද්දේ කහව, වේරගොඩ, වෙද නිවසේ පදිංචි විජයමුණි දසුන් ප‍්‍රබෝධ ද සොයිසා රාජකරුණා (25) සහ හරන්නාගල පාර, මීටියාගොඩ ලිපිනයේ පදිංචි විජයමුණි ප‍්‍රමිල් රසාන් ද සොයිසා රාජකරුණා (30) යන අයිය මලෝ දෙදෙනාට සහ කජුගහවත්ත, මීටියාගොඩ ලිපිනයේ පදිංචි වතුදුර සමන් පද්මලාල් (39) යන අයටය.
මෙයින් පළමු සැකකරු සන්තකයේ තිබී මිලිමීටර් 38 වර්ගයේ උණ්ඩ දැමිය හැකි ගිනි අවියක් හා ජීව අත් බෝම්බයක් සොයා ගෙන තිබේ. මෙම ගිනි අවිය එකවර උණ්ඩ 06 ක් දැමිය හැකි මට්ටමේ එකක් බවත් එය සැකකරුගේ ඉනේ සගවා ගෙන සිටියදී අත් අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.
ජීව අත් බෝම්බය සොයාගෙන ඇත්තේ සැකකරුගේ නිවසේ නිදන කාමරයේ මෙට්ටය යට තිබියදීය. දෙවන සැකකරු සන්තකයේ තිබී ටී කටස් වර්ගයේ ගිනි අවියක් සහ ජීව අත් බෝම්බයක් සොයා ගෙන තිබේ. ටී - 56 ගිනි අවිවල උණ්ඩ දැමිය හැකි පරිද්දෙන් මෙරටදී නිශ්පාදනය කරන ගිනිඅවි, ටී කටස් වර්ගයේ ගිනිඅවි වශයෙන් හදුන්වන බවද මීටියාගොඩ පොලීසියේ ප‍්‍රකාශකයෙක් සදහන් කළේය. තෙවන සැකකරු සන්තකයේ තිබී විදේශ රටක නිශිපාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සොයා ගෙන තිබේ.
මෙම සැකකරුවන් තිදෙනාම අත් අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන්ගේ නිවෙස්වල සිටියදීය. පොලිස් මූලස්ථානයේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නොවිසදුන අපරාධ විමර්ශණ ඒකකයට ලැබුණ තොරතුරක් මත එම ඒකකය මගින් සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සදහා සැකකරුවන් මීටියාගොඩ පොලීසියට බාරදී තිබේ.
අත් අඩංගුවට ගන්නා මෙයින් පළමු හා දෙවන සැකකරුවන් දකුණේ පාතාල නායක පොඩි ලැසී නැමැති අයගේ කණ්ඩායමේ සාමාජිකයින් බවත් ඔවුන් 2015 මාර්තු 23 වන දින හික්කඩුවේ පිහිටි හෝටලයක් තුලදී වෙඩි තබා ඝාතනය කරන ලද රත්ගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් (35) ඝාතනයේ සැකකරුවන්ද බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබෙන බව මීටියාගොඩ පොලීසියේ ප‍්‍රකාශකයෙක් සදහන් කළේය.
එයට අමතරව පළමු සැකකරු අම්බලන්ගොඩ ධීවර වරාය ජැටියේදී 2016 මාර්තු 18 දින ටී - 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කරන ලද අම්බලන්ගොඩ, හිරේවත්තේ පදිංචි, කේ. ඩබ්ලිව්. සුසන්ත (40) නැමැති අයගේ ඝාතනයේ ප‍්‍රධානතම සැකකරුවා බවත් ඔහු ඒ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබූ බවත් අම්බලන්ගොඩ පොලීසිය කියයි. සැකකරු මේ වන විට ඇපපිට නිදහස්ව සිටී.
පොලිස් මූලස්ථානයේ විශේෂ කාර්ය බලකායේ නොවිසදුන අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ගේ මෙහෙයවීම මත මීටියාගොඩ පොලීසියේ උප පොලිස් පරීක්ෂක සනත් මෙන්ඩිස් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් නඩුකටයුතු මෙහෙයවීය.