ගාල්ල,කරන්දෙණිය ප්‍රාදේශීය උප සභාපතිගේ ඉරණම විසඳුන හැටි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4

දකුණු පාතාලයේ ගිනි අවි සහ ගිනි කෙළි..! (ජයකාන්ත ලියනගේ) ගාල්ල,කරන්දෙණිය ප්‍රදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් රණවීර (48) මහතා සිකුරාදා (08) රාත්‍රී වෙඩි තබා ඝාතනය කර තිබේ. උප සභාපතිවරයා ගාල්ල,…
දකුණු පාතාලයේ ගිනි අවි සහ ගිනි කෙළි..!
(ජයකාන්ත ලියනගේ)
ගාල්ල,කරන්දෙණිය ප්‍රදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් රණවීර (48) මහතා සිකුරාදා (08) රාත්‍රී වෙඩි තබා ඝාතනය කර තිබේ.
උප සභාපතිවරයා ගාල්ල, ඌරගස්මන්හන්දිය, කොරකීන ප්‍රදේශයේ පැවති මංගල සාදයකට සහභාගී වී ආපසු නිවස බලා යමින් සිටියදී කොරකීන හන්දියේදී මෙම වෙඩි තැබීම සිදුව තිබෙන බව ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි.
2018 පෙබරවාරි 10 දින පැවති පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ කරන්දෙණිය ප්‍රාදේශිය සභාවට තරග කළ ඩොනල්ඩි සම්පත් රණවීර (48) මහතා එම මැතිවරණයෙන් ජයග්‍රහණය කර කරන්දෙණිය ප්‍රදේශීය සභාවේ උප සභාපතිවරයා ලෙස තේරී පත් වූ අතර ඝාතනයට ලක් වන විට ඔහු එම තනතුරේ කටයුතු කරමින් සිටියේය.
උප සභාපතිවරයා තමාට අයත් කළු පාට හයිලූප් වර්ගයේ කැබ් රථයෙන් ගමන් කරමින් සිටියදී රියදුරු අසුන පැත්තෙන් වෙඩි තැබීම සිදු කර තිබෙන බවත් ඒ වන විට කැබ්රථයේ රියදුරු සහ පිටු පස අසුනේ තවත් දෙදෙනකු සිට ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
උප සභාපතිවරයා සිට ඇත්තේ රියදුරු අසුනට යාබද අසුනේ බව පැවසූ ඌරගස්මන්හන්දිය පොලීසියේ ප්‍රකාශකයෙක් වැඩි දුරටත් සදහන් කළේය මෙම වෙඩි තැබීම ටී - 56 ගිනි අවියකින් සිදු කර තිබෙන බවය.
යතුරු පැදියකින් පැමිණ ඇති ඝාතකයින් දෙදෙනා මග හරස් කොට උප සභාපතිවරයාගේ කැබ්රථය නවතා කැබ්රථයේ රියදුරු අසුන පැත්තෙන් වෙඩි කීපයක් තබා ඇත.
එවිට රියදුරු හිස පහත් කොට ගෙන ඇති බවත් පසු ගිනි අවිය රියදුරු අසුන පැත්තේ ජනේලයෙන් කැබ්රථය ඇතුළට එල්ල කර උප සභාපතිවරයාට තවත් වෙඩි කීපයක්ම තබා ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
වෙඩි තැබීමෙන් පසු ඝාතකයන් දෙදෙනා ඔවුන් පැමිණි යතුරු පැදියෙන්ම පලා යෑමට උත්සාහ කර ඇති බවත් හදිසිය හේතුවෙන් වෙඩි තැබීම සිදු කරන ලද අයට යතුරු පැදියට ගොඩ වීමට නොහැකි වි ඇති බවත් ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි.
පසුව ඔහු අදුරේම ගිනි අවියත් සමග පලා ගොස් තිබේ. ඊට පසු වෙඩි වැදුණ උප සභාපතිවරයා කැබ්රථයේ සිටියදීම එහි රියදුරු කැබ්රථය වේගයෙන් ධාවනය කර පලා යන ඝාතනයට පැමිණි අනිත් සැකකරුගේ යතුරු පැදියේ හප්පා ඔහු අනතුරට ලක් කර තිබේ.
ඝාතනය සිදු කරන ලද ස්ථානයේ සිට මීටර් 50 -100 අතර දුරකින් සිදු කර ඇති මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ සැකකරුට කැබ් රථයේ පිටු පස අසුනේ සිටි දෙදෙනා සහ රියදුරු විසින් පහර දී තිබෙන බවත් පසුව කිසියම් අයෙකු විසින් තුවාලකරු ඌරගස්මන්හන්දිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙන බවත් දැන ගන්නට තිබේ.
සැකකරු මේ වන විට ඇල්පිටිය මූලික රෝහලට මාරු කර යවා පොලිස් අත් අඩංගුව යටතේ එහි ප්‍රතිකාර ලබමින් සිටී. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුවලගොඩ, උතුරු මාගල, ඌරගස්මන්හන්දිය ලිපිනයේ පදිංචි අසේල රණසිංහ (22) නැමැති අයයි.
සිද්ධිය වූ ස්ථානයේ තිබී සැකකරුවන්ගේ ජංගම දුරකතනයක් හා ටී -56 පතුරම් සහිත මැගසිනයක්ද පොලීසිය විසින් සොයා ගෙන තිබේ. එම මැගසිනයේ ටි - 56 පතුරම් 05 ක් තිබූ බවද පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. කැබ් රථයට වෙඩි ප්‍රහාර 15 ක් පමණ එල්ල වී තිබූ බවද පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇත.
පසුව කැබ් රථය එහි රියදුරු විසින් වෙඩි වැදුණ උප සභාපතිවරයාද සමග කරන්දෙණිය, බොරකන්ද රෝහල වෙත ධාවනය කර උප සභාපතිවරයා රෝහලට බාරදී රියදුරුද ප්‍රතිකාර සදහා එම රෝහලටම ඇතුළත් වී තිබේ.
රියදුරුගේ අතක පමණක් සුළු සීරීම් තුවාලයක් පමණක් තිබූ බවත් උප සභාපතිවරයා රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බවත් රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
මංගල සාදයේදී උප සභාපතිවරයා මත්පැන් පානය කර නොමැති බවත් කැබ් රථයේ ගමන් ගත් අනෙක් තිදෙනාම රියදුරුද ඇතුළුව මත්පැන් පානය කර සිට ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇත. උප සභාපතිවරයා මගුල් ගෙදරින් පානය කර ඇත්තේ උණු වතුර වීදුරුවක් පමණක් බවද පොලිස් පරීක්ෂණවලදී තහවුරු වූයේ යැයි පොලීසිය කියයි.
සිදුවීමෙන් පැය 04 කට පමණ පසු එනම් 09 දා අලුයම 2.30 ට පමණ ඇල්පිටිය වැඩ බලන මහේස්ත්‍රාත් වජිරා පොන්නම්පෙරුම මහත්මිය විසින් සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත් වන ලද අතර දේහය ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙසටද නියෝග කළාය.
ඝාතනයට ලක් වූ ඩොනල්ඩ් සම්පත් රණවීර (48) නැමැති අයගේ සහෝදරයාද මීට මාස කීපයකට පෙර පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණ තොරතුරකට අනුව කරන්දෙණිය ප්‍රදේශයේ නිවසක සගවා තිබියදී ගිනිඅවි 03 ක් සමග අත් අඩංගුවට ගෙන තිබේ. ඔහු සන්තකයේ තිබී බෝර - 12 ගිනිඅවි 02ක් සහ විදේශිය රටක නිශ්පාදිත පෑනක ප්‍රමාණයේ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සොයා ගෙන තිබුණි. ගාල්ල, කරන්දෙණිය, කැටවල පදිංචි ඩොනල්ඩ් කුමාර රණවීර (36) නැමැති මොහුද මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටී.
මෙම අයිය මලෝ දෙදෙනා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම එල්ටීටීඊ සංවිධානයේ නැගෙනහිර සන්නද්ධ නායකයාව සිටි විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගේ සමීපතමයන් බවද ඇල්පිටියේ උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය. ඒ හරහා මොවුන්ට ගිනිඅවි ලැබී තිබෙන බවටද පොලීසිය විශ්වාස කරයි.
මෙම ඝාතනයට දැනට ඩුබායිහි සැගවි සිටින දකුණේ පාතාල කල්ලි නායකයෙකු වන කොස්ගොඩ සුජී නැමැති අයගේ සම්බන්ධයක් තිබෙන බවද පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබෙන අතර දැනට පොලිස් අත්අඩංගුවේ සිටින අය කොස්ගොඩ සුජීගේ ගෝලයකු බවද ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි.
ඝාතනයට ලක් වූ උප සභාපතිවරයා කරන්දෙණියේ ඉඩම් මිල දී ගෙන කට්ටිකර විකිණීමේ ව්‍යාපාරයක්ද පවත්වා ගෙන ගොස් ඇත. මුලදී මේ සදහා කොස්ගොඩ සුජීගේ සහ ඔහුගේ ගෝලයන්ගේද සහය ලැබී ඇත.
පසුව කුමන හෝ හේතුවක් මත උප සභාපතිවරයා කොස්ගොඩ සුජී නැමැති අය සමග විරසක වී ඇත.2017 වසරේ ඔක්තෝම්බර් 29 දින ඌරගස්මන්හන්දිය, යුධපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කරන ලද පියා හා පුතුන් දෙදෙනා සහ අනෙක් අයගේ ඝාතකයින් ඇසුරු කළේ යැයිද කොස්ගොඩ සුජී උප සභාපතිවරයා කෙරෙහි වෛරයක් ගොඩ නගා ගෙන තිබූ බවද පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
එසේ ඝාතනයට ලක් වූ පියා හා පුතුන් දෙදෙනා ඥාතීත්වයෙන් කොස්ගොඩ සුජීට බාප්පා හා සහෝදරයින්ය. උප සභාපති ඝාතනයට මෙම සිද්ධියත් බලපෑවේද යන්න සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ බවත් වන බවද ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි.
ඌරගස්මන්හන්දිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජිත් ප්‍රියන්ත, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජිත් ජයන්ත, ඇල්පිටිය පොලිස් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දිමාල් ද සිල්වා යන නිලධාරීන් ඇතුළු පිරිසක් පරීක්ෂණ පවත්වති.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4

