අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ගමනාන්ත 49ක් සංචාරක කලාප ලෙස නම් කර ගැසට් කරනවා

ගමනාන්ත 49ක් සංචාරක කලාප ලෙස නම් කර ගැසට් කරනවා

ස්ථාවර රටක් ගොඩනැගීම සඳහා සැවොම එක මඟකට ආ යුතුයි -සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ- සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට්…

ස්ථාවර රටක් ගොඩනැගීම සඳහා සැවොම එක මඟකට ආ යුතුයි 

-සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ-

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

සංචාරක කර්මාන්තයේ සිදු වන වංචා, දූෂණ සහ අක්‍රමිකතා වැළැක්වීමට සහ අධීක්ෂණයට වෙනම කමිටුවක් පත් කිරීමට සැළසුම් කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මේ බව සඳහන් කර සිටියේ, "ස්ථාවර රටකට සැවොම එක මඟකට" යන තේමාව යටතේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහත්මිය මෙසේ ද පැවසුවාය.

දැන්වීම

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට සිදු වන හිරිහැර සම්බන්ධයෙන් විවිධ පැමිණිලි ලැබෙනවා. මම පසුගිය කාලයේ මේ ගැන හඬ නැගුවා. සංචාරකයින්ට වැඩි මිලට ආහාර ද්‍රව්‍ය විකිණීම, සංචාරක ගමනාන්ත වෙත අධික මිලට දුම්රිය ප්‍රවේශ පත්‍ර විකිණීම සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කරන ප්‍රචාරක වීඩියෝ පට විකාශය කරමින් සිටි සංචාරකයකුට ලිංගික අතවර කිරීම වැනි විවිධ පැමිණිලි ලැබී තිබෙනවා. මෙම කටයුතු වැළැක්වීමට අප පියවර ගන්නවා. වැරදි කරන කිහිප දෙනෙකු නිසා අප රටේ කීර්ති නාමයට හානියක් වීමට ඉඩ නොදිය යුතුයි.

දුම්රිය ප්‍රවේශපත්‍ර වැඩි මිලට අලෙවි කිරීමේදී බොහෝ විට ඒවාට අනුබල දී ඇත්තේ දූෂිත නිලධාරීන් කිහිප දෙනෙකු බව පැවසිය යුතුයි. මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා අප මාර්ග ගත ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම ක්‍රමවත් කරමින් සිටිනවා. මෙම ක්‍රමය තව දුරටත් වැඩි දියුණු කිරීමට අප පියවර ගන්නවා. මෙවැනි උපක්‍රම හරහා දූෂණ, වංචා සහ අක්‍රමිකතා පාලනය කළ හැකියි.

ඒ වගේම නීති විරෝධී මත්පැන් අලෙවිය නිසා අපේ රටට කෝටි ගණනක බදු ආදායමක් අහිමි වෙනවා. අපේ රට බෞද්ධ රටක් නිසා බුදු දහමට ගෞරවයක් ලෙස පොහොය දිනට සුරාසැල් වසා දැමිය යුතුයි. නමුත් ඒ දිනවලත් අපේ රටේ අය නීති විරෝධීව මත්පැන් විකුණනවා. ඒවා වළක්වන්න සිටින ඇතැම් නිලධාරීන් අල්ලස් ගන්න තැනට පත් වී සිටිනවා. කිහිප දෙනෙකුගේ දූෂිත ක්‍රියා නිසා මේ රටේ නීතිය සහ සාමය ක්‍රියාත්මක කරන්න බැහැ. එවැනි වංචා, දූෂණ සහ අක්‍රමිකතා වැළැක්වීමට සහ අධීක්ෂණයට වෙනම කමිටුවක් පත් කරන ලෙස මා යෝජනා කර තිබෙනවා.

එමෙන්ම සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා අප තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන තිබෙනවා. ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට අප කටයුතු කරනවා. මේ හරහා අපේ රටට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය තවත් වැඩි කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

මෙරට ක්‍රියාත්මක වන SPA සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවිධ විවේචන එල්ල වුණා. එවැනි ස්ථාන වෙනත් රටවල සුවතා මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක වනවා. එහිදී රටේ ජනතාවගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව ගැන අවධානය යොමු කළ යුතුයි. ඒවා විධිමත් කිරීමට සහ අධීක්ෂණ යාන්ත්‍රණ සංවර්ධනය කිරීමට අප සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටිනවා.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
ගමනාන්ත 49ක් සංචාරක කලාප ලෙස නම් කර ගැසට් කරනවා | Lanka Newsweek