අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කොරෝනාවෙන් වගේම ආණ්ඩුවෙන් ද ආරක්ෂා වෙන්න ජනතාවට සිද්ධ වෙලා

කොරෝනාවෙන් වගේම ආණ්ඩුවෙන් ද ආරක්ෂා වෙන්න ජනතාවට සිද්ධ වෙලා

මාරාන්තික Covid-19 වසංගතයෙන් වාගේම ජනතා විරෝධී ආණ්ඩුවෙන් ආරක්ෂා වීමට ද ජනතාවට සිදුව තිබෙන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදා ස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි . විපක්ෂ නායක සජිත්…

මාරාන්තික Covid-19 වසංගතයෙන් වාගේම ජනතා විරෝධී ආණ්ඩුවෙන් ආරක්ෂා වීමට ද ජනතාවට සිදුව තිබෙන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදා ස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි . 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදා ස මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන් වේ .

ජනතාවට කොරෝනාවෙන් මෙන්ම ආණ්ඩුවෙන්ද ආරක්ෂා වීමට සිදුවී තිබේ.මේ වන විට කිසිදු පාලනයකින් තොරව භාණ්ඩ මිල ඉහළ ගොස් තිබේ. කොරෝනා පාලනය මෙන්ම බඩුමිල පාලනය ද ආණ්ඩුව අතින් ගිලිහී ගොස් ඇති අතර ජනතාවගේ ගෙල මිරිකන කොල්ලකාරී ස්වරූපයකට තත්ත්වය වර්ධනය වී තිබේ.

දැන්වීම

සහල්, තිරිඟුපිටි, සීනි, කිරි, කෝපි, සෝයා බෝංචි හා මස් වර්ගවල මිල සියයට දහසයක සිට තිස් දෙක දක්වා ප්‍රමාණයකින් තොග මිල ගණන් ඉහළ ගොස් ඇති අතර ධාන්‍ය හා පලතුරු ඇසුරෙන් නිපදවන අතුරු නිෂ්පාදනවල මිල ඊටත් වඩා ඉහළ ගොස් ඇත. කිරිපිටි, බටර්, සෝයා තෙල් සහ විවිධ ආහාර ද්‍රව්‍ය එවැනි නිෂ්පාදන අතර වෙයි.බරපතල වෙළඳ මාෆියාවක් ක්‍රියාත්මක වන අතරේ ඊට ඉඩ දෙමින් ආණ්ඩුව හොරගල් අහුලමින් සිටී .

බඩු මිල පාලනය කිරීම සම්බන්ධයෙන් නිකුත් කරනු ලැබූ ඊනියා ගැසට් නිවේදන සහ චක්‍රලේඛ සියල්ල අමු අමුවේ උල්ලංඝනය වී ඇති අතර,ඒ සියල්ල පරයමින් මාෆියාව හිස ඔසවා ඇත. ආණ්ඩුවට ඊට මුහුණ දීමේ කිසිදු හැකියාවක් ඇත්තේ නැති බව මනාව ඔප්පු වී තිබේ.

ආණ්ඩුව සහල් මාෆියාවට මුහුණ දෙන බවට පුරසාරම් දෙඩූ නමුත් එය සහමුලින් ම අසාර්ථක කටයුත්තක් වී තිබේ.අද වෙන විට සහල් මිල හිතු මනාපයට ඉහළ යමින් තිබේ.ගජ මිතුරන්ට අධික ලෙස බදු සහන ලබාදෙමින් ගෙන්වනු ලැබූ සීනිවල මිල ද අද වන විට අධික ලෙස ඉහළ ගොස් තිබේ.සීනි වංචාව හරහා සිදුවූ පාඩුව සුළුපටු නොවේ.පොල්තෙල් වංචාව මෙන්ම විෂ පොල්තෙල් ආනයනය මගින් ද සිදුවූ විනාශය  අතිමහත් ය.අද වනවිට පොල්තෙල් මිලද ඉහළගොස් ඇත.

පෝෂණ ද්‍රව්‍යවල විශාල හිඟකමත් වෙළඳපොල තුළ දක්නට ලැබෙන අතර විශේෂයෙන්ම  කුඩා දරුවන්, ගැබිණි මව්වරුන් මේ තුළින් බරපතළ පෝෂණ ඌනතාවයකට මුහුණ දී සිටී.එදා වේල හෝ පිරිමසා ගන්නට මාර්ගයක් නොමැතිව අන්ත අසරණව සිටින ජනතාවට මේ  අධික භාණ්ඩ සහ ආහාර මිල ඉහළයාම කිසිසේත් දරාගත නොහැකි තත්ත්වයක් වන නමුත්, ආණ්ඩුවට ඒ පිළිබඳව කිසිදු තැකීමක් නැත.

ආණ්ඩුවේ ජීවන වියදම් කමිටුව හිස් පුස්සක් බවට පත්ව ඇති අතර එයින් ගනු ලබන කිසිදු ජනතාවාදී තීන්දුවක් මහපොළොව තුළ ක්‍රියාත්මක වෙන තත්ත්වයක් දක්නට නැත.කෙසේ වෙතත් ආණ්ඩුව මේ මොහොතේ සිදු කරමින් සිටින්නේ පවත්නා තත්ත්වය අවබෝධ කර නොගෙන අනවශ්‍ය මහා පරිමාණ ව්‍යාපෘති සඳහා අවධානය යොමු කිරීමය.

මේ මොහොතේ අත්‍යාවශ්‍ය නොවන නගර අලංකරණය, අධිවේගී මාර්ග ඉදිකිරීම් වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අතරේ බංග්ලාදේශයෙන් ණය ලබා ගන්නා තැනට ආණ්ඩුව පත්ව සිටී. පොදුජනතාව ජීවත් කරනවාට වඩා ආණ්ඩුව ප්‍රමුඛතාව දී ඇත්තේ කොමිස් ව්‍යාපෘති කඩිනම් කිරීමට ය.

මේ බිහිසුණු ලෝක ව්‍යසනය අභියස ලෝකයේ සියලුම ආණ්ඩු තමන්ගේ ජනතාවගේ ජීවිත නගා සිටුවීම වෙනුවෙන් ප්‍රමුඛතාව ලබාදී සිටින තත්වයක් තුළ මෙරට ආණ්ඩුව සිදු කරමින් සිටින්නේ ඊට සහමුලින්ම වෙනස් කටයුත්තකි.ශ්‍රී ලංකාව මේ වන විටත් ඉතාමත්ම තීරණාත්මක අඩියකට මුහුණ දෙමින් සිටින අතර *ජනතාවට දැන් සිදුව ඇත්තේ කොරෝනා වලින් ආරක්ෂා වනවාට වඩා ආණ්ඩුවෙන් ආරක්ෂා වන්නේ කෙසේදැයි කියා කල්පනා කිරීමට ය.

ඒ තරමටම ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත අමානුෂික වී ඇත. ජනතා විරෝධීවී ඇත. මේ මොහොතේ ආණ්ඩුව වහාම කළ යුතු වන්නේ පුරවැසි ජීවිත සමඟ කරනු ලබන සෙල්ලම පසෙකින් තබා, පවත්නා තත්ත්වයේ බරපතළකම වටහාගෙන ජනතාවාදී ක්‍රියා පිළිවෙතකට වහාම මාරුවීම බව අවධාරණය කරමු.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
කොරෝනාවෙන් වගේම ආණ්ඩුවෙන් ද ආරක්ෂා වෙන්න ජනතාවට සිද්ධ වෙලා | Lanka Newsweek